සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (26) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය. මේ වන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් කරා යා හැකි ආකාරයේ පසුබිමක් නිර්මාණය වී ඇති මෙම තරගයේ තීරණාත්මක අවසන් දිනය හෙටයි.

සදීර සමරවික්‍රම තම ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කරයි

සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමට සමත් වූ එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ප්‍රබල සටනක් ලබා දීමට අද (25) ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය…

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 3ක් දැවී ලකුණු 333ක් ලෙසයි. ඒ වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දකුණත් කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රම ලකුණු 177ක් ලබා සිටි අතර වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 140ක් ලබා සිටියේය. අද ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 12ක් එක් වන විට ඉතාමත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි සදීර සමරවික්‍රමගේ ඉනිම නිමා කිරීමට එංගලන්ත පිළේ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක රෝලන්ඩ් ජෝන්ස් සමත් විය. ඔහුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පිටිය හැර යන විට සදීර හතරේ පහර 26ක් සමඟින් ලකුණු 185ක් රැස් කර තිබුණි. පෞද්ගලිකව තම කුළුඳුල් ද්විත්ව ශතකය කරා යාමට නොහැකි වූවත් ශ්‍රී ලංකා පිළේ මුල්පෙළ කඩුලු 3ක් ලකුණු 30ක් තුළ බිඳ වැටී අසරණ වූ අවස්ථාවක පිටියට පැමිණ ඔහු ක්‍රීඩා කළ ඉනිම ඉතාමත් ප්‍රශංසනීය විය.

ඔහුගේ දැවී යාමත් සමග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ලකුණු 315ක දැවැන්ත සබඳතාවය නිමාව දුටු අතර එය ශ්‍රී ලංකා A පිළ වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් තරගයක දී පිතිකරුවන් දෙදෙනෙකු ‍රැස් කල තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය. පසුගිය කාලයේ පැවැත්වුනු ජාත්‍යන්තර තරග වලදී ලකුණු අතරට පිවිසීමට නොහැකි වූවත් පළමු පෙළ තරග වලදී හොඳින් දක්ෂතා දක්වන දිමුත් කරුණාරත්න අද ද්විත්ව ශතකයක් කරා යාමට සමත් විය. ඒ හතරේ පහර 23ක් සමගින් ලකුණු 212ක් රැස්කර ගනිමිනි. එය ඔහුගේ පළමු පෙළ ක්‍රීඩා දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත්විය.

සදීරගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සමග එක්වුනු දිමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් 131ක සබඳතාවයක් පැවැත්වීය. ප්‍රථම ටෙස්ට් තරගයේ දී ලකුණු අතරට පිවිසීමට අපොහොසත් වූ ධනංජය සිල්වා අද හතරේ පහර 13ක් සමගින් ලකුණු 74ක් රැස් කළේය. කෙසේ වෙතත් නුදුරේදීම ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ ස්ථානයක් දිනා ගැනීමට ඇති හොඳම අවස්ථාවක් වන මෙම තරගයේ දී ලකුණු අතරට පිවිසීමට දකුණත් පිතිකරු රොෂේන් සිල්වාට නොහැකි විය.

දේශීය තරග වලදී බොහෝ දක්ෂතා ප්‍රකට කර තිබුනත් ජාත්‍යන්තර තරග දිවිය ආරම්භ කිරීමට මේ වන තෙක් වාසනාව නොලද රොෂේන් අද ලකුණු 2කට දැවී ගියේය. කෙසේ වෙතත් ජෙෆ්රි වැන්ඩර්සේ (26) සහ මලින්ද පුෂ්පකුමාර (20) ඉනිමේ අවසන් භාගයේ දී ඉනිමට ලබා දුන් අමතර සවිය හේතුවෙන් ශ්‍රී ලංකා පිළ සිය ප්‍රථම ඉනිම නිමා කළේ ලකුණු 548ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි. ඒ අනුව ප්‍රතිවාදී එංගලන්ත ලයන්ස් පිළට වඩා ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමේ ලකුණු 195ක ඉදිරියක් ලබා ගැනීමට සමත් විය.

අද සන්ධ්‍යා කාලයේ දී තම දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත පිතිකරුවන් සුපරීක්ෂාකාරී පිතිකරණ රටාවක් පෙන්නුම් කරමින් කෙසේ හෝ කඩුලු ඉතිරි කරගෙන දිනය නිමා කිරීමට උත්සාහ දැරූහ. නමුත් 8 වැනි පන්දු වාරය ක්‍රියාත්මක කළ මලින්ද පුෂ්පකුමාරගේ දඟ කැවුණු පන්දුව හසීබ් හමීඩ්ගේ පිත්තේ ගැටී කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රමගේ දෑතේ රැඳීම නිසා එංගලන්තයට තම ප්‍රථම කඩුල්ල අහිමි විය. මීට අමතරව දිනයේ ක්‍රියාත්මක වූ අවසන් පන්දු වාරයේ දී ධනංජය සිල්වා ලකුණු 4ක් ලබා සිටි ටොම් අස්ලොප්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීම ශ්‍රී ලංකා පිළට අමතර වාසියක් බවට පත්විය.

මේ වන විට කඩුලු 2ක් දැවී ලකුණු 32ක් ලබා සිටින එංගලන්ත ලයන්ස් පිළ තවමත් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 163ක් පසුපසින් සිටීම නිසා හෙට දිනයේ දී තරගය ජයග්‍රහණයකින් කෙළවර කර ගැනීමට ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් උදාවී ඇත. නමුත් එංගලන්තය මෙවන් අසීරු මොහොතකට මුහුණ දුන් සෑම අවස්ථාවකදීම පාහේ තම කණ්ඩායම එයින් ගලවා ගත් ටොම් වෙස්ට්ලි සහ ලියාම් ලිවින්ග්ස්ටන් යන පිතිකරුවන් දෙදෙනා ඉක්මනින් දවා ගැනීම ශ්‍රී ලංකාව හමුවේ ඇති ප්‍රබලතම අභියෝගයයි.

මේ වන විටත් නොදැවී ලකුණු 11ක් රැස් කරගෙන සිටින එංගලන්ත නායක කීතන් ජෙනින්ග්ස් ද කොයි මොහොතේ වුවද ක්‍රියාත්මක විය හැකි පළපුරුදු පිතිකරුවෙකි. කෙසේ වුවත් කුමන ආකාරයේ තණතිල්ලක දී වුවද පන්දුව දඟ කැවිය හැකි දක්ෂ වමත් පිට දඟ පන්දු යවන්නෙකු වන මලින්ද පුෂ්පකුමාරට අනෙක් පන්දු යවන්නන්ගෙන් ද හොඳ සහයක් හිමි වුවහොත් හෙට දිනයේ දී ලයන්ස් පිළ පරදවා ජයග්‍රහණය අත්කර ගැනීම එතරම් අපහසු වන්නේ නැත.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 353 (පන්දුවාර 97.5): ලියාම් ලිවින්ග්ස්ටන් 105, ටොම් වෙස්ට්ලි 68, කීතන් ජෙනින්ග්ස් 44, බෙන් ෆෝක්ස් 30, මැතිව් ලීච් 22*, ඔලී රේනර් 19, මලින්ද පුෂ්පකුමාර 8/127, අසිත ප්‍රනාන්දු 1/41, ධනංජය ද සිල්වා 1/44.

ශ්‍රී ලංකා A කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 548 (පන්දුවාර 135.2): දිමුත් කරුණාරත්න 212, සදීර සමරවික්‍රම 185, ධනංජය ද සිල්වා 74, ජෙෆ්රි වැන්ඩර්සේ 26, මලින්ද පුෂ්පකුමාර 20, ඔලී රේනර් 4/164, රෝලන්ඩ් ජෝන්ස් 3/67, ටොම් කුරාන් 2/74.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 32 (පන්දුවාර 11): හසීබ් හමීඩ් 14, කීතන් ජෙනින්ග්ස් 11*, ධනංජය ද සිල්වා 1/4, මලින්ද පුෂ්පකුමාර 1/12.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට