2017 වසරේ දී එංගලන්ත ලයන්ස් කණ්ඩායම, ශ්‍රී ලංකා සංචාරයක නිරත වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව තරග කළේය. නිපුන් කරුණාරත්න, ඒ සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩකයා විය. දැනට බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ ද නායකත්වය හොබවන නිපුන්, මේ වන විට ශ්‍රී ලංකාව තුළ නැගී එන පිතිකරුවෙකි.

ආදී නාලන්දියෙකු වන ඔහු, මෙවර ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී තරග 9ක් තුළ ලකුණු 926ක් රැස් කිරීමට සමත් වූ අතර, පා දඟ පන්දු යවන්නෙකු ද වශයෙන් දස්කම් දක්වන්නෙකි.

මාර්තුවේ ක්‍රිකට් උන්මාදය වැඩි කරන “සුලෝහිත සංග්‍රාමයට” පෙරාතුව ඔහු හා “මහා ක්‍රිකට් තරගයේ මතකය” ගැන කතා බහ කිරීමට ThePapare.com අපට අවස්ථාව උදා විය.

පාසල් මහා ක්‍රිකට් තරගය ගැන ඔබ දකින්නේ කොහොමද?

“ඕනෑම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිහිනය තමයි මහා ක්‍රිකට් තරගය කියන්නේ. ඒක පාසලේ හැමෝම බලන් ඉද්දී දස්කම් දක්වන්න ලැබෙන අවස්ථාවක්. ලොකු පීඩනයක් තිබුනත් ඒකට අනුගත වෙන්න අවස්ථාවක් ක්‍රීඩකයන්ට මෙහි දී ලැබෙනවා.”

[rev_slider dfcc728]

.

“සුලෝහිත සංග්‍රාමය” ආනන්දයේ සහ නාලන්දයේ සෑම දරුවෙකුම ආදරය කරන ඉසව්වක්. කුඩා ශිෂ්‍යයෙකු ලෙස ගත කල ඒ කාලයේ දී, ඒ ගැන ඔබට තිබුණු මතකය මොන වගේද?

“ශිෂ්‍යයන් හැටියට මහා ක්‍රිකට් තරගයේ දී තමයි අපට විනෝද වෙන්න ලැබෙන්නේ. විශේෂයෙන් ආනන්ද, නාලන්ද මහා ක්‍රිකට් තරගයේ දී අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුනා ගැනීමේ අවස්ථාවක් කුඩා කාලෙදිම අපට ලැබුණා. මොකද, ගොඩක්ම ජාතික ක්‍රීඩකයන් බිහිවෙලා තියෙන්නේ ඒ පාසල් දෙකෙන් නිසා. අපි ප්‍රේක්ෂක අට්ටාල ඇතුළේ ඉද්දී එයාලා අපේ ළඟට ඇවිත් කතා කරන කොට අපි ගොඩක් සතුටු වුනා. ඒ ක්‍රීඩකයන් දකින්න තිබුනු ආසාව නිසායි.”

ඔහු ‘ක්‍රීඩකයන්’ යැයි පවසන විට සිහියට නැගෙන්නේ එසේ මෙසේ ක්‍රීඩකයන් නොව, නාලන්ද විද්‍යාලයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පිරිනමන ලද මහේල ජයවර්ධන වැනි දැවැන්තයන්ය. ශ්‍රී ලංකාවට වැඩිම ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් නිෂ්පාදනය කර දුන් “මහා ක්‍රිකට් තරගය” “සුලෝහිත සංග්‍රාමය” යි.  

පසුව “සුලෝහිත සංග්‍රාමය” තුළ නාලන්ද විද්‍යාලයේ නායකත්වය දැරීමේ අවස්ථාවත් ඔබට උදා වුණා. ඒ ගැන කිව්වොත්?

“මං නාලන්දයේ නායකත්වය දරන කොට, ආනන්ද විද්‍යාලයේ නායකයා වුනේ දිනේෂ් චන්දිමාල්. ඉතින් ඒක ලේසි වුණේ නෑ. මහා ක්‍රිකට් තරගයේ දී මුලින්ම අපට ලංවෙන්නේ යාළුවෝ. පාසලේ හැමෝම අපට ආදරෙයි. සමහර වෙලාවට පොඩි මල්ලිලා ඇවිත් අපිව දිරිමත් කරනවා හරියට අපි පොඩි කාලේ කළා වගේම. පීඩනයක් තිබුනත් ඒක පාසල්වල ලොකු ජනකායක් මැද ක්‍රීඩා කරන්න ලැබෙන අවස්ථාවක්.”

අවසානයේ දී අපහසු අභියෝගයක් මැද අර්ධ ශතකයක් පවා වාර්තා කරන්නට නිපුන් සමත් විය.

“සුලෝහිත සංග්‍රාමයේ දී” ඔබට ලැබුණු අමතක නොවෙන අත්දැකීම මොකක්ද?

“ආනන්දේ නායක දිනේෂ් චන්දිමාල්, රුවින්ද ෂාමේන් කියන වේගපන්දු යවන්නාව යොදා ගෙන මට දිගින් දිගටම කෙටි පන්දු යවන්න ගත්තා. යවලා මාව ලකුණු 50කට විතර දවා ගත්තා. මට ඒ උපක්‍රමය අමතක වෙන්නේ නෑ. එදා මට තරහ ගිය නිසා මං දැවී ගියා. ඉතින් එතන දී චන්දිමාල් දිනුවා, මං පැරදුණා.”

ඔහු ඒ මතකය අවධි කළේ සිනා මුසු මුහුණෙනි.

ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු නිපදවීම සඳහා “මහා ක්‍රිකට් තරග” කොහොම බලපානවා කියල ද ඔබ හිතන්නේ?

“ආනන්ද – නාලන්ද මහා ක්‍රිකට් තරගය ගැන කිව්වොත්, ඒකට නම් ගොඩක් ජ්‍යේෂ්ඨ ජාතික ක්‍රීඩකයන් පැමිණෙනවා. මට මතකයි මං ක්‍රීඩා කරපු අවුරුද්දෙත් මහේල ජයවර්ධන පවා ඇවිත් හිටියා. බන්දුල වර්ණපුර, අසංක ගුරුසිංහ වගේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෝ නාලන්දය පැත්තෙන් එද්දී ආනන්දයෙන් අර්ජුන රණතුංග, නිශාන්ත රණතුංග වගේ අය ඇවිත් හිටියා. ඉතින් ඒ වගේ ජ්‍යේෂ්ඨ මට්ටමේ ක්‍රීඩකයන් ඉදිරියේ දස්කම් දක්වන්න ලැබෙන නිසා දස්කම් වල මට්ටම ඉහල යනවා. අපි පිට දී කොච්චර දස්කම් දැක්වුවත්, එතන තමයි හොඳම තැන.”

ඉහත නම් සඳහන් දැවැන්තයන් ඉදිරියේ දස්කම් දැක්වීම ඕනෑම පාසල් ක්‍රීඩකයෙකුගේ සිහිනයක් විය හැකිය. ”සුලෝහිත සංග්‍රාමය” තුළ ක්‍රීඩා කරන්නන්ට එය නිතැතින්ම උරුම වන්නකි.

“මහා ක්‍රිකට් තරග” කියන්නේ පැරණි උරුමයක් වගේ දෙයක්. ඔබ ඉන් උගත් දේවල් මොනවද?

“එකක් තමයි පීඩනය දරා ගැනීම. මොකද, පාසල් දෙකේ හොඳම විසි දෙදෙනා තමයි මේ තරගය ක්‍රීඩා කරන්නේ. ඉතින් ප්‍රතිවාදීන්ගේ හොඳම එකොළොස් දෙනා ඉස්සරහ දස්කම් දක්වනවා කියන්නේ ඒක ලොකු සාර්ථකත්වයක්.”

“ඒ වගේම සුලෝහිත සංග්‍රාමය බොහෝ දුරට ක්‍රීඩා කෙරෙන්නේ SSC ක්‍රීඩා පිටියේදීයි. ඒ වගේ ජාත්‍යන්තර මට්ටමේ තණතීරුවක සෙල්ලම් කරන එක අනාගතයට ලොකු පන්නරයක්.”

මේ වසරේ “සුලෝහිත සංග්‍රාමය” ගැන ඔබේ බලාපොරොත්තු?

“නාලන්ද කණ්ඩායම ගැන කිව්වොත්, මේ පාර ඔවුන්ට හොඳ පුහුණුකරුවෙක් (කීර්ති ගුණවර්ධන) ලැබිලා තියෙනවා. මේ අවුරුද්දේ සම්පුර්ණ තරග ජයග්‍රහණයන් 5ක් ලබා ගන්න නාලන්ද කණ්ඩායම සමත් වෙලා තියෙනවා. ඉතින් මේ වසරේ ඔවුන් ආනන්ද කණ්ඩායමට ලොකු අභියෝගයක් වේවි.”

එතැනින් නොනැවතුණු ඔහු නාලන්දාවේ ක්‍රිකට් කණ්ඩායම වෙත මෙම පණිවුඩය ද ලබා දීමට අමතක නොකළේය.

“ක්‍රීඩකයන් වුනාම ජයග්‍රහණය කරන එක වැදගත්. මේක දවස් දෙකක තරගයක් නිසා ක්‍රීඩකයන් හොඳින් දස්කම් දක්වන්න ඕනේ. ආනන්ද විද්‍යාලයේ කණ්ඩායම කිසිසේත්ම අවතක්සේරුවට ලක්කරන්න එපා. හොඳ තරගයක් දෙන්න.” 

ThePapare.com කියන්නේ තරුණ ක්‍රීඩකයන්ට ගොඩක් උදව් කරන මාධ්‍යයක්. ශ්‍රී ලංකාව නොදැකපු දක්ෂ ක්‍රීඩකයන් රටටම පෙන්වන්න කියලා මම ඔවුන්ට සුබ පතනවා.”

ඔහු අප හට ලබා දුන් නිහතමානී සුභාශිංශනය ද සමඟින් එළඹෙන “සුලෝහිත සංග්‍රාමය” පිළිබඳ සියලු තතුවිත්ති ThePapare.com හා සම්බන්ධ වී අත්විඳින්නැයි සියලු සුලෝහිත ප්‍රේක්ෂකයන්ට ආරාධනය කරන්නෙමු.

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න