ඉතිහාසයෙන් බිඳක්

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රිකට් ඉතිහාසය 19 වන සියවසේ අගභාගය දක්වා දිව යයි. 1887 වසරේ දී පළමු වරට මහත්වරුන්ගේ ක්‍රීඩාව ආරම්භ කළ දා සිටම රිච්මන්ඩ් විද්‍යාලය ඉතිහාස ගතව සිටින්නේ මෙරට පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉහල දස්කම් අතර ස්ථාවරව රැඳී සිටින කණ්ඩායමක් ලෙසිනුයි. මාටින් ද සිල්වා, චමිල ගමගේ, සුරංග ලක්මාල් සහ ධනංජය ද සිල්වා රිච්මන්ඩ් මව් තුරුලෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අඹරට පෑයූ තරු වන අතර හිටපු ජාතික ක්‍රීඩක සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන චම්පක රාමනායක ද රිච්මන්ඩ් විද්‍යාලයේ ප්‍රෞඩ නිපැයුමකි.

මහා ක්‍රිකට් කරළියේ තිරය අරින්නට ‘සහෝදරයන්’ සූදානම්

2017 පාසල් මහා ක්‍රිකට් තරග සඳහා වේදිකාව විවර කරමින් මේ සති අන්තයේ දී කොළඹ තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාල තරග බිමට පිවිසීමට නියමිතයි.

දකුණු ලක අගනගරයේ ක්‍රිකට් ආධිපත්‍ය පැවැත්වෙන සටන වන ආදරවන්තයන්ගේ සටන හෙවත් රිච්මන්ඩ් – මහින්ද මහා ක්‍රිකට් තරගයේ ආරම්භය 1905 වසරේ සිදු වී ඇති අතර එම තරයේ විනිසුරුවන් ලෙස කටයුතු කර ඇත්තේ දෙවිදුහල් වල එවක විදුහල්පතිවරුන් වූ ගරු J. H. ඩැරල් සහ F. L. වුඩ්වර්ඩ් යන අයයි. එහිදී මංගල මහා ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමේ ගෞරවය රිච්මන්ඩ් විදුහලට හිමිව ඇති අතර ඉන් අනතුරුව තවත් වසර දෙකක් නොකඩවා ආදරවන්තයන්ගේ සටන ජය ගන්නට ඔවුන් සමත්ව තිබේ.

අවධානය යොමු වන ක්‍රීඩකයන්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායමේ නායකත්වය පවා දරමින් තම හැකියාවන් ලොවට පෙන්වූ කමිඳු මෙන්ඩිස් මෙවර මහා ක්‍රිකට් තරගය සඳහා රිච්මන්ඩ් විද්‍යාලය  සමගින් එක්ව සිටියි. කමිඳු මෙරට මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩාලෝලීන් අතර ද වැඩි අවධානයක් දිනා ගත්තේ ඔහුට දෙඅතින්ම පන්දු යැවීමට ඇති සුවිශේෂී හැකියාව හේතුවෙනුයි.

කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයකු වන ධනංජය ලක්ෂාන් තම තුන් ඉරියව් දස්කම් ප්‍රකට කරමින් මෙවර තරග වාරයේ තරග 14ක් තුල ලකුණු 600 සීමාව ඉක්මවා රැස් කරගෙන ඇත්තේ පන්දුවෙන් කඩුලු 44ක අයිතිය ද තමන් සතු කර ගනිමිනුයි.

Photo Album: Richmond College Cricket Team Preview 2016/17

කමිඳු මෙන්ඩිස්ගේ සොහොයුරු සඳුන් මෙන්ඩිස් මෙවර රිච්මන්ඩ් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්ව සිටින්නේ තරග 14ක දී තම පිට දඟ පන්දුවෙන් කඩුලු 68ක් දවා ගනිමිනුයි. එමෙන්ම චාමිකර හේවගේ සහ තවීෂ අභිෂේක් රිච්මන්ඩ් කණ්ඩායමේ සිටින ලකුණු 500 සීමාව පසු කර ඇති ක්‍රීඩකයන් ය.

පුහුණු කාර්ය මණ්ඩලය

වසර ගණනාවක් රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකත්වය පසුපස සිටි යෝධ සෙවණැල්ල වූ හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක ධම්මික සුදර්ශන මෙවර ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම් භාර ආචාර්යවරයා වන්නේ දමිත් ප්‍රසන්නයි.

සාරාංශය

මෙවර තරග වාරයේ තරග 14 ක් තුල පූර්ණ ජයග්‍රහණ 4ක් ම වාර්තා කරන්නට සමත්ව ඇති රිච්මන්ඩ් විද්‍යාලය තම සවිය කෙතරම් ද යන්න පිළිබඳ ව උදාහරණ සහිතවම පෙන්වා දී තිබේ. එබැවින් මෙවරත් ‘ආදරවන්තයන්ගේ සටනේ’ හිමිකරුවන් වන්නට වැඩි අවස්ථාවක් ඔවුන් සතු බව රහසක් නොවේ.

තවත් විශේෂාංග පුවත් සඳහා පිවිසෙන්න