කණ්ඩායම් 46ක ක්‍රීඩකයින් 546 දෙනෙකු, කාණ්ඩ තුනක් යටතේ තරග වැදුණු 51 වන ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවයේ අවසන් අදියර අතිඋත්කර්ෂවත් අන්දමින් ඊයේ (23) නිමාවට පත්විය. තරගාවලියේ දෙවන කාණ්ඩයේ පිරිමි අවසන් මහා තරගය සහ පළමු තලයේ කාන්තා හා පිරිමි අවසන් මහා තරග කොළඹ පොලිස් පැසිපන්දු පිටියේ දී පැවැත්වුණු අතර තෙවන ස්ථානය සඳහා වූ කාන්තා හා පිරිමි අංශයේ තරග කොළඹ ඕටර්ස් පැසිපන්දු පිටියේ දී පැවැත්විය.

තරගාවලියේ කාගේත් අවධානය දිනා ගත් පළමු කාණ්ඩයේ පිරිමි අංශයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ගියවර අනුශූරයන් වූ ගුවන් හමුදා කණ්ඩායම හා 2012 වසරේ අනුශූරයන් මෙන්ම මෙවර සත්කාරකත්වය දරණ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.

ගුවන් හමුදා කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී තියුණු තරගයකින් අනතුරුව ලකුණු 74-73ක් ලෙස ගියවර ශූරයන් වූ වෙළඳසේවා කණ්ඩායම පරාජය කරන්නට සමත් වූ අතර මූලික වටයේ අවසන් තරගයේ දී හම්බන්තොට කණ්ඩායම හමුවේ ලද පරාජය, තරගාවලිය තුල ඔවුන් ලද එකම පරාජය විය. ගුවන් හමුදා කණ්ඩායමක් අවසන් වරට ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවයක් ජයගෙන ඇත්තේ 1987 වසරේ වීම විශේෂ සිදුවීමක් වේ.

සත්කාරක කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම අවසන් පූර්ව වටයේ දෙවන තරගයේ දී තවත් තියුණු සටනකින් අනතුරුව ලකුණු 52-49ක් ලෙස හම්බන්තොට කණ්ඩායම පරාජයට පත් කිරීමට සමත් වූ අතර මූලික වටයේ දී වෙළඳසේවා කණ්ඩායම හමුවේ පමණක් පරාජයට පත් විය. කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම 2009 වසරේ දී වෙළඳසේවා කණ්ඩායම හමුවේ ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවය දිනා ගැනීම ඔවුන් මෙම ශූරතාවය දිනා ගත් අවසන් අවස්ථාව ලෙස දැක්වේ.

තරගය නැරඹීම සදහා විශාල ජනකායක් රැස් වී සිටි අතර එයින් විශාල පිරිසක් ගුවන් හමුදාවට සහය දැක්වීය.

තරගයේ ආරම්භය කණ්ඩායම් දෙකටම සුබදායක වූ අතර වැඩිවෙලා තරගයේ බලාපොරොත්තු තබා ගැනීමට කොළඹ කණ්ඩායමට ඉඩ නොහැරු රවී දොඩන්ගොඩගේ නායකත්වයෙන් යුතු ගුවන් හමුදා පිල වග බලා ගන්නා ලදි. තම දක්ෂතා මානව ප්‍රදර්ශනය කල ගුවන් හමුදා කණ්ඩායමේ නායක රවී දොඩන්ගොඩ අවසන් මොහොතේ ලබා ගත් ලකුණු 3 බැගින් වූ අවස්ථා 3 හේතුවෙන් පළමු කාර්තුව අවසානයේ ලකුණු 25-16ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුන් සමත් විය.

දෙවන කාර්තුවේ දී ද තම සුපුරුදු වේගවත් ක්‍රීඩා රටාව දියත් කල ගුවන් හමුදා පිල දිගින් දිගටම ලකුණු රැස් කිරීමට සමත් වූ අතර කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම ගුවන් හමුදා ක්‍රීඩකයින්ගේ රිද්මයට ක්‍රීඩා කරනු දක්නට විය. මෙහි දී ගුවන් හමුදා පිලේ අංක 14 ක්‍රීඩක ඔසඳ උමයංගගේ ක්‍රීඩා විලාශය හේතුවෙන් කාර්තුව මැද භාගයේ ලකුණු 35-20ක් ලෙස පෙරමුණ ගැනීමට ගුවන් හමුදා පිල සමත් විය.

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 42-31ක් ලෙස ගුවන් හමුදාව ප්‍රබල තත්වයක පසුවෙමිනුයි.

තෙවන කාර්තුව ඇරඹූ නාවික හමුදා පිල තරගයේ අනසක පතුරවන්නට සමත් වූ අතර නායකත්වයේ වගකීම හරි හැටි හඳුනා ගත් රවී දොඩන්ගොඩ ලකුණු 3 බැගින් වූ අවස්ථා 3ක් නැවතත් වාර්තා කල අතර එම කණ්ඩායමේම අංක 7 ක්‍රීඩක ඇන්තනි වෙනිටෝ නැවතත් තෙවන කාර්තුවේ දී ලකුණු යන්ත්‍රය ක්‍රියාත්මක කල අතර කොළඹ කණ්ඩයමේ නැවත ලබා ගැනීම් වල අඩු වීම කැපී පෙනෙන්නට විය.

නමුත් නීති විරෝධී ක්‍රීඩා රටාව හේතුවෙන් කාර්තුවේ අඩක් නිමා වන විටම කණ්ඩායම තම නීතිවිරෝධි ක්‍රියා සීමාව (foul limit) ඉක්මවා යාම හේතුවෙන් නිදහස් විසි කිරීම් කිහිපයක්ම කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමට හිමි විය. එහෙත් තෙවන කාර්තුව අවසන් වූයේ 58-45ක් ලෙස නැවතත් ගුවන් හමුදා ක්‍රීඩකයින් ඉදිරියෙන් තබමිනි.

අවසන් කාර්තුවේදී මනා කණ්ඩායම් මානසිකත්වයකින්  පිටියට පිවිසි කොළඹ දිස්ත්‍රික් කණ්ඩයම ලකුණු 10ක් ලබා ගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 2ක් පමණක් ලබාදෙමිනි. මෙහි දී කොළඹ දිස්ත්‍රික් පිල වෙනුවෙන් අමිල රත්නායක ලකුණු 5ක් ම රැස් කිරීමට සමත් විය.

නමුත් එය නිමා කිරීමට නැවතත් දෙවන අර්ධයේ වීරයා වූ ඇන්තනි වෙනිටෝ සමත් වූයේ තම ක්‍රීඩා විලාශයෙන් ප්‍රේක්ෂකාගාරයම මවිතයට පත් කරමිනි. තම අනාරක්ෂිත ක්‍රීඩා විලාශය හේතුවෙන් රවී දොඩන්ගොඩ තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරුන් තීරණය කල නමුත් තරගයේ ජය තහවුරු කරගන්නට ගුවන් හමුදා පිල සමත් විය.

සුසිල් උඩුකුඹුරගේ පුහුණුකාරීත්වය යටතේ  දක්ෂ ලෙස ක්‍රීඩා කල ගුවන් හමුදා පිල වසර 30කට පසු ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවයට හිමිකම් කීම මෙහි දී සිදු වූ අතර තරගයේ අවසන් ලකුණු සටහන ලකුණු 80-54ක් ලෙස දැක්විය.

තරගයෙන් අනතුරුව කොළඹ කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක චමත් දනවංශ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් හා තරගාවලියෙන් සමු ගැනීම මෙහි දී සිදු විය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප්සතර හැදෑරු ඔහු, පළමු වරට ජාතික පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරන ලද්දේ 2001 දී පාසල් සිසුවෙකු ලෙසයි.

එතැන් පටන් වසර 15 කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කල ඔහු එම කාලය තුල කිසිදු තරගාවලියකදී ජාතික කණ්ඩායම නියෝජයනයේ වැලකි සිට නොමැති අතර 2010-2013 කාල වකවානුවේ දී ජාතික කණ්ඩායමේ නායකත්වය ද දරණ ලදි. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ජාතික පිල දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියේ දී රිදී පදක්කම දිනා ගැනීමට සමත් වීම විශේෂ සිදුවීමක් වේ.

කෙසේ වෙතත් තරගාවලියේ පළමු කාණ්ඩයේ ශූරතාවය ගුවන් හමුදා කණ්ඩායමටත්, අනුශූරතාවය කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමටත්, තෙවන ස්ථානය හම්බන්තොට දිස්ත්‍රික් පිල පරාජය කල වෙළඳසේවා පිලත් දිනා ගන්නා ලදි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තරගාවලිය පුරාම අගනා ක්‍රීඩා රටාවක් පෙන්නුම් කල ගුවන් හමුදා ක්‍රීඩක ඇන්තනි වෙනිටෝ හට හිමිවිය.