නාවික සෙබළියන් පොලිසියට පහර දෙයි

440

පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති, කාන්තා පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ තවත් තරගයක දී තරගයේ අවසන් භාගය සම්පූර්ණයෙන්ම තමා වෙතට හරවා ගෙන ගෝල 2-0 ක් ලෙස පොලිස් කාන්තා කණ්ඩායම පරාජය කරමින් නාවික හමුදා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

ධාරානිපාත වර්ෂාවෙන් යුධ හමුදා ජයග්‍රහණය කල් යයි

කාන්තා පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ තරගයක දී යුධ හමුදා ක්‍රීඩා සමාජය වාර්තා කළ ගෝල 3කින් පොලිස් කණ්ඩායමට කණගාටුදායී ලෙස…

යුධ හමුදාව හමුවේ පරාජයක් ලබමින් මේ තරගයට එක් වූ පොලිස් කණ්ඩායමට, නාවික හමුදා කණ්ඩායම පාලනය කර ගැනීම අපහසු කටයුත්තක් විය.

දිගින් දිගටම පොලිස් කණ්ඩායමේ වම් අන්තය ආක්‍රමණය කළ තුෂානි මධුෂිකා, පොලිස් කණ්ඩායමේ රධිකා කරුණාරත්නව ප්‍රශ්න කළාය. කෙසේ වෙතත් තුෂානි සහ නිලූකා අලුත්ගේ ලබා දුන් අභියෝගය වළකා ලන්නට සමත් වූයේ පොලිස් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩිකාවන් සිව්දෙනා දැක්වූ දස්කම් වලිනි.

නාවික අන්තයේ බොහෝ වේලාවක් රැඳී තිබූ පන්දුව අවසානයේ දී ගෝලය තුළට යැවුණේ තුෂානි එල්ල කළ පහරක් අතර මග දී මඟ වෙනස් වීමකට ලක්ව ගෝලය තුළට ඇදීයාමත් සමඟිනි.

පළමු අර්ධය: නාවික හමුදා කාන්තා කණ්ඩායම 1-0 පොලිස් කාන්තා කණ්ඩායම

දෙවන අර්ධය ආරම්භයේ දීම ආක්‍රමණකාරී ක්‍රීඩා රටාවකට එළඹීමට නාවික පෙරපෙළ උත්සාහ කළ ද, පොලීසිය රැක ගත්තේ මුරණ්ඩු පොලිස් පසුපෙළයි. රුෂානි ගුණවර්ධනට ගෝලයක් වාර්තා කිරීමේ අවස්ථාවක් එළඹුණ ද පොලිස් ගෝල රකින්නියගේ දක්ෂතාවයෙන් පන්දුව  නවතා ගැනීමට සමත් විය. නාවික ක්‍රීඩිකාවන් අවස්ථා කිහිපයක දීම ඉදිරියට පන්දුව ගෙන ගිය අතර පොලිස් ආරක්ෂිකාවන් ඉදිරියේ ඒ සියලු ප්‍රයත්නයන් අසාර්ථක විය.

පොලිස් ගෝල චතුරශ්‍රය ආසන්නයේ දී ලැබුණු නිදහස් අවස්ථාවක්, හර්ෂිනී ප්‍රනාන්දු විසින් පොලිස් ගෝල රකින්නිය අතට එල්ල වූ අතර එය සාර්ථකව රැක ගැනීමට ඇයට නොහැකි වීම නිසා පන්දුව නිදහසේ ඇදී ගිය පසු චිත්‍රානි සරුක්කලී විසින් නාවික කාන්තාවන්ට දෙවන ගෝලයත් එක් කරන ලදි.

එම ගෝලයත් සමඟින් පොලිස් කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට තිබූ සියලු අවස්ථාවන් අවහිර විය.

සම්පූර්ණ කාලය – නාවික හමුදා කාන්තා කණ්ඩායම 2-0 පොලිස් කාන්තා කණ්ඩායම

ThePapare.com තරගයේ වීරවරිය – තුෂානි මධුෂිකා (නාවික හමුදාව)

ගෝල වාර්තා කළ ක්‍රීඩිකාවන්

නාවික හමුදා කණ්ඩායම: තුෂානි මධුෂිකා 42′, චිත්‍රානි සරුක්කලී 80′.

කහ කාඩ්පත්

හර්ෂනී ප්‍රනාන්දු (නාවික හමුදාව) 45+2    

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට