මා බෞද්ධ ද ? නැතිනම් නිරාගාමික ද?

mahanela_guest_house_ruwanwelisaya_dagaba14

මගේ මිතුරෙකු මේ ළග දී මගෙන් ඇසුවේ ඔබ නිරාගමිකයෙකු ද කියා ය. ඒ ප්‍රශ්නය ඉදිරියේ මම නිරුත්තර වීමි. ඇත්තටම මම කවුද?

බුදු දහමේ තිබෙන ඇතැම් ඉගැන්වීම් මගේ ජීවිතයට මම යොදා ගෙන ඇත්තෙමි. වසර දෙදහස් හයසියයකට පොරොතුව නිදහස් චින්තනය ඉදිරියෙන් තැබූ ශාස්තෘන් වහන්සේ කෙනෙකු හැටියට මම බුදුන්ට ගෞරව කරමි. බුදුන් වදාළ ලෙසම ඇලීම හා ගැටීම යන දෙකම ඈත්කොට දිවියට සන්සුන් බව ගෙනෙන්නට මම උත්සහ කරමි.

පන්සලක ඇති සාම්‍යයට මම කැමැත්තෙමි. වැලි මළුවේ පය පෑගීම නිසා දැනෙන හැගීම ද සුළගට සැලෙන බෝපත් වල අසිරිය ද නිල් අහස පසුබිම් කොට දිලෙන සුදු  චෛත්‍යයක දසුන ද මා වසගයට පත් කරන කාරණා ය. පන්සල තුළ සන්සුන් ව සිය ආගමික කටයුතු වල නියැලෙන උවැසි උවැසියන්ගේ සංයමයට මම කැමැත්තෙමි. ඒ සියල්ල හිත නිවන දසුන් ය. හිත සනහන අත්දැකීම් ය.

ලෝකයට කරුණාව දයාව සහෝදරත්වය ඉගැන්වූ ක්‍රිස්තුත් වහන්සේට මම ගරු කරමි. ගස් ගල් වලට පමණක් නොව සිමෙන්ති කොන්ක්‍රීට් පිලි රූ වලට ද නොවඳින මුස්ලිම් ආගමේ ඇතැම් ඉගැන්වීම් වලට මම ගරු කරමි. (බුදුන් වහන්සේගේ රූපය තුළ මෙන්ම ක්‍රිස්තුත්වහන්සේගේ පිළිරුව තුළ ද දකින්නට ලැබෙන සාම්‍යය පිළිබිඹු කළ කලාකරුවන්ට මගේ ගෞරවය හිමි වීම වෙනම කරුණකි).

එහෙත් කිසිදු ආගමක් කිසිදු දර්ශනයක් මම නොඅදහමි. දැන් මා ඔබගෙන් අසන්නේ මා කවරෙක් ද යන්න ය. ඔබ කැමති මට කුමන ලේබලය ඇලවීමට ද යන්න ය.

සීමා මායිම් ඇති කොට ඒ සීමාව තුළ කෙනෙකු රැඳවීමට උත්සහ කරන මිනිසුන් ඉන් අපේක්ෂා කරන්නේ කුමක් ද? ලේබලයක් අලවා මා නිරාගමිකයෙකුගේ භූමි ප්‍රදේශය තුළ රැඳවීමට ඇතැම් අය තැත් කරන්නේ මන් ද? හැම දෙයකම යහපත පිළිගන්නා බොරුව ප්‍රතික්ෂේප කරන මට ලේබලයක් අලවන්නට හදන්නේ ඇයි ද?

මට නම් මේ ලේබල් යනු එකම විහිළුවකි. මා අපේක්ෂා කරන්නේ ලේබල් නැති ලෝකයකි. ඕනෑ ම දෙයකට අන්ධ ලෙස පක්ෂපාතී වන්නේ නැතිව හැම දෙයක් දෙසම විචාරශීලීව බලන්නට හැකි ලෝකයකි. හැම දෙයකම ඇති යහපත් දෙයින් ප්‍රයෝජනයක් ලබන්නට හැකි ලෝකයකි.

ඇලීම හෝ ගැටීම අහෝසි වන්නේ ඒ තුළ ය. සතර අගතියෙන් පමණක් නොව සියලු අගතීන්ගෙන් ඈත් වීම තුළ ය. නිවනට සැනසුමට මග එය ය.

දැන් නැවතත් මම ඔබෙන් ප්‍රශ්න කරමි. මා නිරාගමික ද? බෞද්ධ ද?

ඔබ බෞද්ධ ද අබෞද්ධ ද? නැතිනම් ක්‍රිස්තියානි ද? මුස්ලිම් ද?

මාත් ඔබත් අතර ඇති වැට ව්‍යාජයක් නොවන්නේ ද? ඒ නිසාම ඔය ලේබල් ද ප්‍රලාපයක් ම නොවන්නේ ද?

ලේබල් අමතක කොට බැලිය හැකි නම් ලෝකය කෙතරම් සොඳුරුව පෙනෙනු ඇත් ද?

ඇස් නොපෙනෙ කෙනෙකුට කනවැලක් අවශ්‍ය ය. ඇස් පෙනෙන කෙනකුත් එසේ කනවැල අල්ලන්නට වූ විට සිදු වන්නේ අභාග්‍යයක් ම ය. අප ලෝකය තුළ එකිනෙකාගේ බෙල්ල මිරිකාගෙන යටපත් කරන්නට හදන ආගමික ව්‍යාපාර තුළ දකින්නේ ඒ අභාග්‍ය ය. කුණුහරුප කියා ගෙන රෙදි උස්සාගෙන ආගම් ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන නොමිනිසුන් තුළ දකින්නේත් ඒ අභාග්‍ය ය.

ආගම් ශාස්තෘන්වරුන් ලෝකයට කීවේ ලෝකය සුන්දර කර ගැනීමට, දුකෙන් තොර කර ගැනීමට, කළ යුතු දේ තමන් දන්නා පමණට ය. ඒවා තෝරා බේරාගෙන අදට වඩාත් ගැලපෙන දේ ක්‍රියාත්මක නොකර ඒවා දේවභාෂිතයක් සේ සළකා වෙනස් කළ නොහැකි කිසියම් අපූර්ව වදන් වැලක් ලෙස සළකා වන්දනා මාන කිරීම ගැන දොස් නැගිය යුත්තේ ඒ ශාස්තෘන්වරුන් අන්ධව අදහන මෝඩ මිනිසුන්ට මිසක ඒ ශාස්තෘවරුන්ට නොවේ.

මම සියල්ල විචාරයට ලක් කරමි. ඒ නිසා මම ආගමික නොවෙමි. ඇතැම් ශාස්තෘ වහන්සේ කෙනෙකු කියන ලද දෙයක අරුත ද දකිමි. ඒ නිසා මම නිරාගාමික යැයි ද කිව නොහැකි ය. ඒ මම ය. මගේ හැටි ය. ඉතින් දැන් ඔබට අවශ්‍ය නම් මට ලේබලයක් ඇලවිය හැකි ය. අවසාන වශයෙන් එකක් පමණක් කියමි. ඔබේ එම ක්‍රියාව මට අදාළ නැති බව ය.

Leave a comment