කුරාන් සොහොයුරන් එංගලන්තයට ජයග්‍රාහී ඇරඹුමක් ගෙනෙයි

1005
Sri Lanka A v England Lions 1st 4 day Test match Day 3 report

ශ්‍රී ලංකා සංචාරය අරඹමින් පැවති පළමු සිව්දින ටෙස්ට් තරගයෙන්ම සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම අද (20) සමත් විය. මෙම තරගය පුරාවට ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය කැපී පෙනුනු අතර දේශීය පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට අසමත් විය.

එංගලන්ත ලයන්ස් පිළෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් ThePapare.com

එංගලන්ත ලයන්ස් පිළේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන ප්‍රථම සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (19) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය.

අද උදෑසන අවසන් දිනයට තරගය ආරම්භ කරන විට තරග ජයග්‍රහණය සඳහා ලකුණු 365ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 41ක් ලබා සිටියහ. නමුත් එංගලන්ත ලකුණු පුවරුව අසලකටවත් ලඟා වීමට නොහැකි වූ ඔවුන්ගේ දෙවැනි ඉනිමද ලකුණු 169කට සීමා විය. ඒ අනුව ප්‍රථම ටෙස්ට් තරගයේ ජයග්‍රහණය ලයන්ස් පිළට තීන්දු වූයේ ලකුණු 195කිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් සාර්ථක වුනු එකම පිතිකරු ලෙස උදාර ජයසුන්දර හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 64ක් රැස් කළේය. අසිත ප්‍රනාන්දු පිතිකරණ ලැයිස්තුවේ අවසන් පිතිකරු ලෙසින් පිටියට පිවිස රැස්කල ලකුණු 30 ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.

ශ්‍රී ලංකා ඉනිම වැනසූ කුරාන් සොහොයුරන් එංගලන්ත වේග පන්දුවේ ජවය විදහා දක්වමින් පිතිකරුවන් සය දෙනෙකු නැවතත් ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත් කළේය. මීට අමතරව දඟ පන්දු යවන ක්‍රීඩක ඔලී රේනර් කඩුලු 2ක් දවාලීය. පළමු පෙළ තරග වලදී ඉහළ සාමාන්‍යයක් රඳවාගෙන සිටින දිමුත් කරුණාරත්න, රොෂේන් සිල්වා, ධනංජය සිල්වා වැනි පිතිකරුවන් මෙම තරගයේ ඉනිම දෙකේදීම ඉතා අඩු ලකුණු සංඛ්‍යා වලට දැවී යාම ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් බරපතල අවාසියක් බවට පත්විය. මීට අමතරව අඩු වයසකින් වැඩි දක්ෂතා ප්‍රකට කල චරිත් අසලංකට ද බලාපොරොත්තු වූ ආකාරයේ දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය.

ටොම් වෙස්ට්ලිගේ සහ රෝලන්ඩ් ජෝන්ස්ගේ දක්ෂ පිතිකරණය නිසා ප්‍රථම ඉනිමේ ලකුණු 316ක් කරා ගිය එංගලන්තය, ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමේදී ලකුණු 167කට සීමා කළහ. දෙවැනි ඉනිමේ ලයන්ස් මුල්පෙළ කඩුලු 6ක් ලකුණු 85ක් තුල බිඳ වැටුනත් තරගයේ පාලනය තමන්ගෙන් ගිලිහෙන්නට ඉඩ නොදුන් ඔවුන්ගේ පසුපෙළ පිතිකරුවන් දෙවැනි ඉනිමේදී ලකුණු 215ක් රැස් කර ගනිමින් ශ්‍රී ලංකාවට ලකුණු 365ක දැවැන්ත ඉලක්කයක් හිමිකර දුන්හ.

තරගය පුරාවට දක්ෂ පන්දු යැවීමක නිරත වුනු වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර ලකුණු 174කට කඩුලු 8ක් බිඳ හෙලීය. ඒ ප්‍රථම ඉනිමේ කඩුලු 4ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 4ක් වශයෙනි. ඔහුගේ සහයට සිටි එකම පන්දු යවන්නා වූ දිල්රුවන් පෙරේරා දෙවැනි ඉනිමේ ලයන්ස් කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් විය. එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන්නන් පල්ලෙකැලේ තණතීරුවෙන් ලබාගත හැකි උපරිමය උකහා ගනිමින් දක්ෂ ලෙස කඩුලු දඩයම් කරද්දී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට දැනෙන්නට යමක් කල නොහැකි වීම ද ශ්‍රී ලංකා පිළ පසුපසට ඇද දැමීමට හේතු සාධක විය.

මේ සියල්ල මැද එංගලන්ත ලයන්ස් පිළ සමග දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එංගලන්ත ලයන්ස් පිළ මේ වනවිටත් සිංහ දේශයේ තණතිලි වලටත් කාලගුණයටත් ඉක්මනින් හුරු වී ඇති නිසා එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි වගකීමකින් ක්‍රීඩා නොකල හොත් ටෙස්ට් තරගාවලියේ සින්නක්කර අයිතිය එංගලන්තය සතුවනු ඇත.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 316 (පන්දුවාර 80.2): ටොම් වෙස්ට්ලි 97, රෝලන්ඩ් ජෝන්ස් 82, ලියාම් ලිවින්ග්ස්ටන් 59, කීතන් ජෙනින්ග්ස් 23, මලින්ද පුෂ්පකුමාර 4/97, අසිත ප්‍රනාන්දු 2/31, උදාර ජයසුන්දර 1/9, ලහිරු ගමගේ 1/32.

ශ්‍රී ලංකා A කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 47.4):  රෝලන්ඩ් ජෝන්ස් 4/51, ඔලී රේනර් 3/27, ටොම් හෙල්ම් 1/18, ටොම් කුරාන් 1/42.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 215 (පන්දුවාර 80.5): කීතන් ජෙනින්ග්ස් 37, සෑම් කුරාන් 36, ඔලී රේනර් 32*, ටොම් කුරාන් 29, ටොම් හෙල්ම් 26, මලින්ද පුෂ්පකුමාර 4/77, දිල්රුවන් පෙරේරා 5/73, ලහිරු ගමගේ 1/26.

ශ්‍රී ලංකා A කණ්ඩායම (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 169 (පන්දුවාර 58.1): උදාර ජයසුන්දර 64*, අසිත ප්‍රනාන්දු 30, ධනංජය සිල්වා 20, සඳුන් වීරක්කොඩි 16,  සෑම් කුරාන් 3/21, ටොම් කුරාන් 3/35, ඔලී රේනර් 2/53.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුව