එංගලන්ත ලයන්ස් පිළෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක්

879

එංගලන්ත ලයන්ස් පිළේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන ප්‍රථම සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (19) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය.

ලයන්ස් පිළේ දෙවැනි ඉනිම නොසිතූ අයුරින් බිඳ වැටෙයි ThePapare.com

ඊයේ දිනය නිමාවෙද්දී ජයග්‍රහණයක් පිලිබඳ සේයාවක්වත් නොතිබුණු ශ්‍රී ලංකා A – එංගලන්ත ලයන්ස් ටෙස්ට් ක්‍රිකට් සටනේ දෙවැනි දිනය ගතවන විට තත්වය යම් තරමක් දුරට සැනසිලිදායක බවට පත්ව තිබේ.

තරගයේ ප්‍රථම දිනයේදීම ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය නිසා තරගයේ පාලනය ලයන්ස් පිළ සතුවූ අතර ඒ හේතුවෙන්ම මේ වන විට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 365ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් හඹා යෑමට ශ්‍රී ලංකා A පිළට සිදුව තිබේ.

අද උදෑසන තරගය ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත ලයන්ස් පිතිකරුවන් කඩුලු 6ක් දැවී ලකුණු 112ක් රැස් කරගෙන සිටි අතර මුල් ඉනිමේ වාසිය නිසා ඔවුන් ඒ වනවිටත් සිටියේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 261ක් ඉදිරියෙනි. ඊයේ සන්ධ්‍යා කාලයේ එක් අවස්ථාවකදී එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 85ට කඩුලු 6ක් ලෙස සටහන්  වූවත් සත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක් එක් කිරීමට සෑම් කුරාන් (36) සහ ටොම් කුරාන් (29) සමත් වූයේ ශ්‍රී ලංකා පිළ මත නැවත පීඩනය පටවමිනි. මීට අමතරව ඔලී රේනර් (32*) සහ ටොම් හෙල්ම් (26) අවසන් කඩුල්ල වෙනුවෙන් එක්කල අර්ධ ශතක සබඳතාවය ශ්‍රී ලංකාවට අමතර හිසරදයක් බවට පත්විය. පන්දු යැවීමෙන් සාර්ථක ඵල නෙලාගත් දිල්රුවන් පෙරේරා ලකුණු 73කට කඩුලු 5ක් බිඳ හෙලද්දී මලින්ද පුෂ්පකුමාර කඩුලු 4ක් තම නම ඉදිරියෙන් සටහන් කර ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට තරග ජයග්‍රහණයක පහස විඳ ගැනීමට නම් ලකුණු 365ක් හඹා යා යුතු විය. ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ඉතිරිව තිබුනත් එංගලන්ත ක්‍රීඩකයින් හොඳින් පන්දු යැවීමත්, ශ්‍රී ලංකා පිළ ප්‍රථම ඉනිමේ පිත්තෙන් අසාර්ථක වීමත් සළකා බැලූවිට  තරගයේ වාසිය ඒ වනවිටත් පැවතියේ ලයන්ස් පිළ සතුවයි. එම වාසිය දෙගුණ තෙගුණ කරමින් ශ්‍රී ලංකා A කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඉනිමේ ප්‍රථම පන්දුවෙන්ම තම කඩුල්ල අහිමි කරගෙන නැවත ක්‍රීඩාගාරයට හැරී ගියේය. ජාත්‍යන්තර පිටියේ නිමාවූ තරග වලදී සාර්ථක වීමට නොහැකි වීම හේතුවෙන් A කණ්ඩායම සමග එකතු වී සිටින දිමුත් කරුණාරත්න ප්‍රථම ඉනිමේදී ද රැස්කලේ ලකුණු 6ක් පමණි.

මීට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරු වූ සඳුන් වීරක්කොඩි දෙවැනි ඉනිමේදී ලකුණු 16කට දැවී ගියේය. තෙවැනි දිනය නිමා වනවිට කඩුලු 2ක් දැවී ලකුණු 41ක් ලබාගෙන සිටින ශ්‍රී ලංකා A කණ්ඩායම එංගලන්තයට වඩා ලකුණු 324ක් පිටුපසින් පසුවේ. එබැවින් මෙම තරගයෙන් සුබවාදී තීරණයක් අපේක්ෂා කිරීමට නම් මේ වනවිට නොදැවී පන්දුවට පහර දෙන උදාර ජයසුන්දර (18*) සහ රොෂේන් සිල්වා (7*) හෙට දිනයේ දිගු ඉනිම් කරා යාම අනිවාර්ය වී තිබේ. මීට අමතරව ප්‍රථම ඉනිමේදී තනි ඉලක්කමේ ලකුණු ගණනකට දැවී යාම නිසා ශ්‍රී ලංකා A පිළට පරාජය දොරටු විවර කළ චරිත් අසලංක, ධනංජය සිල්වා වැනි පිතිකරුවන්ට ද දෙවැනි ඉනිමේ තමන් මත පැටවී ඇති දැවැන්ත වගකීමෙන් නිදහස් විය නොහැක.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 316 (පන්දුවාර 80.2): ටොම් වෙස්ට්ලි 97, රෝලන්ඩ් ජෝන්ස් 82, ලියාම් ලිවින්ග්ස්ටන් 59, කීතන් ජෙනින්ග්ස් 23, මලින්ද පුෂ්පකුමාර 4/97, අසිත ප්‍රනාන්දු 2/31, උදාර ජයසුන්දර 1/9, ලහිරු ගමගේ 1/32.

ශ්‍රී ලංකා A කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 47.4): සඳුන් වීරක්කොඩි 68, දිල්රුවන් පෙරේරා 37, මලින්ද පුෂ්පකුමාර 26, ලහිරු ගමගේ 8*, රෝලන්ඩ් ජෝන්ස් 4/51, ඔලී රේනර් 3/27, ටොම් හෙල්ම් 1/18, ටොම් කුරාන් 1/42.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 215 (පන්දුවාර 80.5): කීතන් ජෙනින්ග්ස් 37, සෑම් කුරාන් 36, ඔලී රේනර් 32*, ටොම් කුරාන් 29, ටොම් හෙල්ම් 26, මලින්ද පුෂ්පකුමාර 4/77, දිල්රුවන් පෙරේරා 5/73, ලහිරු ගමගේ 1/26.

ශ්‍රී ලංකා A කණ්ඩායම (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 41 (පන්දුවාර 15): උදාර ජයසුන්දර 18*, සඳුන් වීරක්කොඩි 16, රොෂේන් සිල්වා 7*, රෝලන්ඩ් ජෝන්ස් 1/9, ටොම් කුරාන් 1/10.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුව