ලයන්ස් පිළේ දෙවැනි ඉනිම නොසිතූ අයුරින් බිඳ වැටෙයි

1817
Sri Lanka A v England Lions 1st 4 day Test match Day 2 report

ඊයේ දිනය නිමාවෙද්දී ජයග්‍රහණයක් පිලිබඳ සේයාවක්වත් නොතිබුණු ශ්‍රී ලංකා A – එංගලන්ත ලයන්ස් ටෙස්ට් ක්‍රිකට් සටනේ දෙවැනි දිනය ගතවන විට තත්වය යම් තරමක් දුරට සැනසිලිදායක බවට පත්ව තිබේ. ඒ ශ්‍රී ලංකා දඟ පන්දු එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ දෙවැනි ඉනිම බිඳ හෙලීමත් සමගයි.

එංගලන්ත සිංහයින් ශ්‍රී ලංකා A කණ්ඩායම වටළයි

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලිය…

අද උදෑසන තරගය ආරම්භ කරන විට ලකුණු 316ක් ලෙස සටහන් වූ එංගලන්ත ප්‍රථම ඉනිම හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4කට රැස් කරගෙන සිටියේ ලකුණු 29ක් පමණි. ශ්‍රී ලංකා A කණ්ඩායමේ ගැලවුම්කරුවන් ලෙස සිටින පිටියේ දක්ෂ පිතිකරුවන් රැසක් ඒ වනවිටත් සිටියේ ක්‍රීඩක විවේකාගාරයේ නරඹන්නන් බවට පත්වී සිටියහ. නමුත් ඊයේ දිනයේ එංගලන්ත වේග පන්දු යවන්නන්ගෙන් තම කඩුල්ල ආරක්ෂා කරගත් සඳුන් වීරක්කොඩි අද එතැන් සිට තම ඉනිම ගොඩ නැගුවේ ලකුණු 100කටත් අඩුවෙන් නිමා වන්නට තිබූ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ලකුණු 167ක් දක්වා රැගෙන එමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා ලෙස ඔහු හතරේ පහර 10ක් සමගින් ලකුණු 68ක් රැස් කළේය. මීට අමතරව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 10 සීමාව ඉක්මවූ අනෙක් පිතිකරුවන් දෙදෙනා වූයේ ලකුණු 37ක් රැස්කල දිල්රුවන් පෙරේරා සහ ලකුණු 26ක් රැස්කල මලින්ද පුෂ්පකුමාරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමට සිටින උදාර ජයසුන්දර, චරිත් අසලංක, රොෂේන් සිල්වා, ධනංජය සිල්වා වැනි පිතිකරුවන් පළමු ඉනිමේදී තනි ඉලක්කමේ ලකුණු වලට දැවී යාම මෙම තරගයේදී සිදුවූ ඉතාමත් කණගාටුදායක සිදුවීම බවට පත්විය. මීට අමතරව පසුගිය කාලයේ ජාත්‍යන්තර පිටියේ දැක්වූ අඩු දක්ෂතා නිසා නැවත A කණ්ඩායම සමග එක්වී සිටින දිමුත් කරුණාරත්න ද ඊයේ ලකුණු 6කට දැවී ගියේය. පන්දු යැවීමේදී ලයන්ස් පිළ වෙනුවෙන් රෝලන්ඩ් ජෝන්ස් කඩුලු 4ක් ද, ඔලී රේනර් කඩුලු 3ක් ද බිඳ හෙලීය.

ශ්‍රී ලංකා පිළේ පිතිකරුවන් ප්‍රථම ඉනිමේ තම වගකීම පැහැර හැරි නිසා පිතිකරණයෙන් ද දැවැන්ත කාර්‍යභාරයක් ඉටු කිරීමට සිදුවූ මලින්දට සහ දිල්රුවන්ට ලයන්ස් දෙවැනි ඉනිමේදී ද භාරවූයේ සුළුපටු වගකීමක් නොවේ. ඒ වනවිටත් ලකුණු 149ක් ඉදිරියෙන් පසුවුනු එංගලන්ත පිතිකරුවන් යම් හෙයකින් දෙවැනි ඉනිමේදී ද සාර්ථක වුවහොත් ශ්‍රී ලංකාවට තරග ජයග්‍රහණය සිහිනයක්ම වන වාතාවරණයක් ඒ වනවිට නිර්මාණය වී තිබුණි. නමුත් තම දඟ පන්දුවේ ශක්තියෙන් ලයන්ස් කණ්ඩායමේ කොඳු නාරටිය බිඳ හෙලූ මලින්ද සහ දිල්රුවන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දිනය නිමාවන විට ඔවුන්ගේ කඩුලු 6ක් පැහැරගැනීමට සමත් වූහ. ඒ වනවිට ලයන්ස් පිතිකරුවන් රැස් කරගෙන සිටියේ ලකුණු 112ක් පමණි.

ඒ වෙනුවෙන් වමත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර ලකුණු 28ට කඩුලු 3ක් බිඳ හෙලද්දී දකුණත් පිට දඟ පන්දු යවන දිල්රුවන් පෙරේරාගේ දායකත්වය ලකුණු 42ට කඩුලු 2ක් වශයෙන් සටහන් විය. එංගලන්ත නායක කීතන් ජෙනින්ග්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 37ක් වාර්තා කළේය. මේ වනවිටත් එංගලන්ත ලයන්ස් පිළ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට වඩා ලකුණු 261ක් ඉදිරියෙන් සිටින නිසා තවමත් තරගයේ වාසිය එංගලන්තය සතු වුවත් හෙට උදෑසනින්ම ඉතිරි කඩුලු 4 බිඳ හෙලීමට හැකි වුවහොත්  ශ්‍රී ලංකාවට තරගයට නැවත අවතීර්ණ වීමට යම් අවස්ථාවක් ලැබෙනු ඇත. නමුත් තරග ජයග්‍රහණයක් ගැන සිතීමට නම් ප්‍රථම ඉනිමේ නාය යෑමට හසුවූ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි ඉනිමේදී සාර්ථක වීම අනිවාර්ය කරුණක් වන අතර ඔවුන්ගේ පළමුපෙළ දක්ෂතා සළකා බැලීමේදී එය කළ නොහැක්කක් ද නොවේ.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 316 (පන්දුවාර 80.2): ටොම් වෙස්ට්ලි 97, රෝලන්ඩ් ජෝන්ස් 82, ලියාම් ලිවින්ග්ස්ටන් 59, කීතන් ජෙනින්ග්ස් 23, මලින්ද පුෂ්පකුමාර 4/97, අසිත ප්‍රනාන්දු 2/31, උදාර ජයසුන්දර 1/9, ලහිරු ගමගේ 1/32.

ශ්‍රී ලංකා A කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 47.4): සඳුන් වීරක්කොඩි 68, දිල්රුවන් පෙරේරා 37, මලින්ද පුෂ්පකුමාර 26, ලහිරු ගමගේ 8*, රෝලන්ඩ් ජෝන්ස් 4/51, ඔලී රේනර් 3/27, ටොම් හෙල්ම් 1/18, ටොම් කුරාන් 1/42.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 112 (පන්දුවාර 40): කීතන් ජෙනින්ග්ස් 37, ලියාම් ලිවින්ග්ස්ටන් 16, ටොම් වෙස්ට්ලි 15, සෑම් කුරාන් 14*, මලින්ද පුෂ්පකුමාර 3/28, දිල්රුවන් පෙරේරා 2/42, ලහිරු ගමගේ 1/13.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට