පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, February 15, 2017

ශෂිකලාගේ පැණි වරකයට හෙණ ගැසීම


කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේයනුවෙන් ලෝවැඩ සඟරාවේ කවියක් තිබේ. මෙය නිතර ඇසෙන්නක් වුව ද එයින් කියැවෙන දේ තේරුම් යන්නට නම් පව් කළවුන්ට පව් පල දෙන අවස්ථාවක්ම උදා වී එය සියලු දෙනාට සියැසින් දැක, දෙසවනින් අසාගන්නට අවස්ථාවක් ලැබිය යුතුය. අද තමිල්නාඩුවේ සිදුවී ඇත්තේ එයයි. එහි හිටපු මහ ඇමතිනිය වන ජයලලිතාගේ මරණයෙන් පසුව එම තනතුර සඳහා ඉමහත් අපේක්ෂා සහගතව සිටි, ඇගේ දේශපාලන දෙවැනියා හා සමීපතම මිතුරිය සේම  ඇගෙන් පසුව පක්ෂයේ නායකත්වයට ද පත් වූ ශෂිකලා නට්රාජන්ට එරෙහිව තමිල්නාඩු අධිකරණය දී ඇති නඩු තීන්දුව නිසාය. මියගියවුන්ට අපහාස කිරීම හොඳ මදි වුව ද ජයලලිතා ද ජීවත්ව සිටි කාලය පුරාම සිදු කළේ දේපළ සහ ධනය අයථා ලෙස පරිහරණය කිරීමය.  ගුරා එවැනි වරදක් කරන විට ගෝලයන් එය බිම පෙරළි පෙරළි කරනා බවට ඇති කියමන සනාථ කරමින් ශෂිකලා ද එම අඩි පාරේම ගමන් කළාය. තමාටත් වඩා දූෂිත අයුරින් තම ගෝලයා මහජන දේපළ අයථා ලෙස පරිහරණය කරන බව දුටු ජයලලිතා වරක් නොව කිහිප වරක්ම ශෂිකලාව සිය ඇසුරෙන් නෙරපා දමන්නට කටයුතු කළ ද එය එතරම් සාර්ථක නොවූ බව පෙනුණේ ඒ සෑම අවස්ථාවකදීම ඇයට සමාව දී යළි තම සෙවනට ගැනීම නිසාය. එයට දෙදෙනාටම හේතු තිබේ. එකක් නම් ජයලලිතා ශෂිකලාව ඇසුරු කළේ මිතුරියකට එහා ගිය සමීපත්වයක් නිසා යැයි පවසනු ලැබීමය. අනෙක් අතට ශෂිකලා නිරන්තරයෙන්ම ජයලලිතාගේ සෙවනේ සිටීමට උත්සාහ ගත්තේ ඒ වන විටත් තමාට එරෙහිව ඇති දේපළ අයථා පරිහරණය කිරීම් සම්බන්ධ චෝදනාවලින් ගැලවෙන්නට නම් දේශපාලන ප්‍රබලයකුගේ සහය ලැබිය යුතු නිසාමය. කෙසේ මුත් ජයලලිතාගේ මරණයෙන් පසුව දේශපාලන බලයට ඇති අධික ඕනෑකමත් චෝදනාවලින් මුවා වී සිටීමට ඇති ඕනෑකමත් නිසා ශෂිකලා තමිල්නාඩු මහඇමති ධුරයට තරග කරන්නට ද සියලු කටයුතු සූදානම් කොට සිටියාය. කෙසේ නමුත් අවසානයේ පැණි වරකයට හෙන ගැසුවේය.

ජයලලිතා, ශෂිකලා සහ ඇගේ ඥාතියකු වන වී. එන්. සුධාකරන් විසින්  මහජන දේපළ අයථා ලෙස පරිහරණය කළ බවට ඇදී ගිය නඩුවට වසර 21කි. ජයලලිතා ප්‍රථම වරට සිය තමිල්නාඩු මහ ඇමතිනී ධුරය දැරූ 1991 - 1996 යන කාලය අතර සිදු කළේ යැයි පැවසෙන ඉන්දියානු කෝටි 66.65 දේපළ අයථා පරිහරණයට එරෙහිව මෙම නඩුව ගොනු කොට තිබිණි. මෙහිදී හිටපු මහ ඇමතිනී ජයලලිතාට එරෙහිව ද නඩු විභාගය සිදු වුණු නමුත්, ඇය මිය ගොස් සිටි බැවින් ඇය සම්බන්ධව සිදුවීම මෙහිදී ඉස්මතු නොකළ බැව් පෙනේ. මෙම නඩු තීන්දුවට අනුව එක් අයකුට ඉන්දියානු කෝටි දහය බැගින් දඩ වශයෙන් ගෙවන්නට අධිකරණය නියම කොට තිබේ. පිනාකි චන්ද්‍ර ඝෝෂ් සහ අමතිවා රෝයි යන විනිසුරුවන් දෙපළ වෙන වෙනම දුන් මෙම නඩු තීන්දුව හේතුවෙන් ශෂිකලාට තව වසර 6 ක් ගත වන තුරු දේශපාලනය කරන්නට ද ඉඩක් නැත. තමිල්නාඩු වැසියන් ශෂිකලාට එරෙහිව මෙවැනි නඩු තීන්දුවක් අපේක්ෂාවෙන් සිටි බැව් පෙනෙන්ට තිබුණේ අධිකරණය විසින් දෙසැම්බර් 14 වැනිදා ලබා දුන් මෙම තීන්දුව වැලන්ටයින් තිළිණයක්ලෙස අර්ථ ගන්වන්නට බහුතරයක් ඉදිරිපත්ව සිටීම නිසාය. කෙසේ නමුත් දේශපාලනඥයන්ගේ අපේක්ෂාවන්ගේ හැටියට මෙම වසර හය යනු එතරම් දිගු කාලයක් බලා සිටීමක් නොවේ. මෙම වසර හය අවසන් වෙද්දී ශෂිකලා තමිල්නාඩු වැසියන් අතර වීරවරියක් තත්වයට ඔසවා තබන්නට  බැරිකමක් ද නැත.

එරට අධිකරණය ලබා දී ඇති තීන්දුවට අනුව ශෂිකලාට වසර හතරක සිර දඬුවමක් නිසැක ලෙසම හිමි වනු ඇත. මෙතෙක් කල් තමිල්නාඩුවේ වැඩ බලන මහඇමති පදවිය දරන ලද ඕ. පනීර්සෙල්වම් එහි ස්ථිර මහ ඇමතිවරයා බවට පත්වීමට තිබූ බාධකය ශෂිකලා සිරගතවීමත් සමඟ ඉවත් වෙයි. කෙසේ නමුත් ලැබෙන ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ  බොහෝ විට ශෂිකලා මෙම තනතුර සඳහා තමාට පක්ෂපාතී අයෙක් නම් කිරීමට ඉඩ ඇති බවය. ශෂිකලා සිරගත වුව ද ඇයට තවමත් තමිල්නාඩු ප්‍රාන්තයේ බහුතර දේශපාලන බලයක් හිමි බව පෙනෙන්නට තිබේ. එබැවින් ඇය නම් කරන, ඇයට පක්ෂපාතී පුද්ගලයකුට ජයග්‍රහණය කිරීමේ අවස්ථාව පවතී. කෙසේ මුත් ඇය එවැනි නම් කිරීමක් නොකළ හොත් පනීර්සෙල්වම් නිසැක ලෙසම එහි මහ ඇමති වනු ඇත.

මෙම දේශපාලන අර්බුදයත් සමග ශෂිකලාට පක්ෂපාතී සියලු පක්ෂ කෙමෙන් අනෙක් පැත්ත, එනම් පනීර්සෙල්වම්ගේ පැත්තට හැරෙමින් පවතින බව ද පෙනෙන්නට තිබේ. මෙම නඩු තීන්දුව පනීර්සෙල්වම්ට පක්ෂපාතී පිරිස් අතර උත්සවශ්‍රීයෙන් සමරණුද දක්නට ලැබිණි.

නඩු තීන්දුවට හිස නවා තමා කැමැත්තෙන්ම පොලිසියට බාර වෙන්නැයි එරට අධිකරණය ශෂිකලාට දැනුම් දී තිබේ. ලෝක අපරාධකාරයන් සියලු දෙනාම පාහේ මෙවැනි අර්බුදයක දී පවසන දෙයම මෙම නඩු තීන්දුවත් සමග ශෂිකලා ද පැවසූවාය.


අතීතයේ අම්මා (ජයලලිතා) ද මෙවැනි අර්බුදවලට මුහුණ දුන්නා. අද මම ඒවාට මුහුණ දෙනවා. අවසානයේ සත්‍යය ජය ගන්නවා නිසැකයි.” 

සම්බන්ධිත ලිපි

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න