February 15, 2017

සඳ වියලිව ඉපදුනාද?

න්‍යෂ්ඨික පරීක්ෂණ සිදුවූ ස්ථානවල සැදී ඇති විදුරු වර්ග අනුව සඳ වියලිව ඉපදුනාදැයි විද්‍යාඥයෝ සැක පහල කරති. සඳුගේ නිර්මාණයට හේතුවූ ස්වභාවිකව සිදුවූ ඝට්ටනය ප්‍රායෝගිකව ඇති කිරීමට මිනිසාට හැකියාව නැති නමුත් මනුෂ්‍යා විසින් වෙනත් සුවිශාල පිපිරීම් සිදුකර තිබේ. කාලයකට පෙර සිදු කරන ලද න්‍යෂ්ඨික අවි පිපිරීම් වල අවශේෂ නිරීක්ෂණය කිරීම මගින් චන්ද්‍රයාගේ අතීතය අවබෝධ කර ගැනීමට පර්යේෂකයන් උනන්දු වී තිබේ.

1945 ජුලි 16 දින එක්සත් ජනපදයේ හමුදාව විසින් Trinity (ත්‍රිත්ව) යන අනවර්ථ නාමයකින් න්‍යෂ්ඨික අවියක් පුපුරුවා හරින ලදී. TNT කිලෝ ටොන් 20 ක බලශක්තියකින් න්‍යෂ්ඨික බෝම්බය පිපිරුණු අතර එමගින් පොලොව යට තිබු වැලි ද්‍රව බවට පත්විය. මෙම trinitite (ට්‍රිනිටයිට්) තුළ කොළ පැහැති විදුරු වලින් සමන්විත සිහින් ස්ථරයක් නිර්මාණය වී තිබේ.

න්‍යෂ්ඨික බෝම්බය පිපිරුණු අවට ප්‍රදේශයේ උෂ්ණත්වය 800 0C දක්වා ඉහළ ගොස් ඇති අතර 80,000 ක පමණ වායුගෝලීය පීඩනයක්ද ඇති වී තිබේ. අඟහරු ග්‍රහයාගේ ප්‍රමාණයේ ග්‍රහාකයක් සහ පෘථිවිය ගැටීමෙන් සඳු නිර්මාණය විමේදීද මෙවැනි හෝ ඊට විශාල ආන්තික බලශක්තියක් නිදහස් විය. තවද සෞරග්‍රහ මණ්ඩලයේ මුලික අවධියේ ග්‍රහ මණ්ඩල මුහුණ දුන් තත්වය මෙවැනි පිපිරීම් වලට බොහෝ සේ සමාන බව කැලිෆෝනියාවේ Scripps සාගර විද්‍යායතනයේ James Day පවසයි. ග්‍රහලෝක විද්‍යාව සදහා මෙම Trinity පිපිරීමේ විස්තර කොටස් කර මැන වාර්තා කිරීමට විද්‍යාඥයන්ට හැකි වීම වාසනාවකි. එමගින් අධ්‍යනය සදහා විශාල තොරතුරු සමුදායක් ලැබී තිබේ.

සාපේක්ෂව අඩු වාෂ්පශීලි අගයන් ගන්නා ජලය හා අනෙක් වාෂ්පශීලි  ද්‍රව පෘථිවියට වඩා සඳ තුළ මෙතරම් අඩුවීම සොයා බැලීමට මෙම පිපිරිමේ යථාතත්‍යන් Day සහ ඔහුගේ කණ්ඩායමට ප්‍රයෝජනවත් විය. ඒ අනුව ඔවුහු පිපිරීමේ සිට විවිධ දුර පරාස වල පිහිටි වාෂ්පශීලි මුලද්‍රව්‍ය සින්ක් වැනි trinitite කොටස් ව්‍යාප්තිය අධ්‍යනය කළෝය. වඩාත් තීරණාත්මක විභාජන සාධකය නම් බර සහ සැහැල්ලු සමස්ථානික මෙම පිපිරුම් ස්ථාන වල එකිනෙකින් වෙන්වී පවතින ස්වරුපය සඳේ එම ද්‍රව්‍යවල පවතින ස්වරුපයට සමාන වීමයි.

සින්ක් සහ විශේෂයෙන් ජලය වැනි වෙනත් වාෂ්පශීලි මුල ද්‍රව්‍ය  සඳ නිර්මාණයේදී සිදුවූ සාහසික ගැටුම නිසාම හෝ එම දැඩි උෂ්ණත්වය පැවතී කාලය තුලදීම සම්පුර්ණ වශයෙන් වාෂ්ප වී ඇති බව මෙමගින් හැගේ.පෘථිවි වැසමේ පවතින ලෙසට සඳ අභ්‍යන්තරයේද ජලය පවතින බවට විද්‍යාඥයන් විශ්වාශ කිරීමටද හේතු වුයේද සඳ මත තැන්පත්ව ඇති මෙම අසාමාන්‍ය ප්‍රමාණයක විදුරුයි. එහෙත් සඳ නිර්මාණයේදීම ජලය වාෂ්පීකරණය වූයේ නම් සඳ තුළ තවදුරටත් ජලය කොතරම් පවතීදැයි සැක සහිත බව ඔවුන්ගේ අදහසයි.

කෙසේවෙතත් පෘථිවිය මත ඇති දත්ත පරික්ෂා කිරීමෙන් බොහෝ ග්‍රහලෝක ගැටළු විසදා ගත හැකි බව ටෙක්සාස්හි චන්ද්‍රයා සහ ග්‍රහලෝක නිරීක්ෂණ ආයතනයේ Patrick McGovern පවසයි.   

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි
https://www.youtube.com/watch?v=5OO9Wnna-As

  

0 comments:

Post a Comment