ලොවක් උවම් කළ ඇය

Share

“මම ඉපදුණ වෙලාවෙ අම්මට මොනාද දැනුනෙ? ”

මම දවසක් අම්මගෙන් එහෙම ඇහුවම අම්ම කිව්වෙ,

“මට ලොකු දුකක් දැනුනා”

මම පුදුම වෙලා ඇහුවා ඇයි අම්මෙ ඒ කියලා.

“ඇයි ඉතින් ඔයාටත් මම වින්ද දුක කවද හරි විදින්න වෙනවනෙ”.

අම්ම කියපු ඒ කතාව ඒ කලෙ කොහොමටවත් තේරුණේ නැහැ. අදටත් අම්මා ජීවිතේ මුහුණ දීලා තියෙන තරමට මම ජිවිතේට මුහුණ දීල නැති නිසා ඒ කතාව සම්පූර්ණයෙන්ම තේරෙන්නෙ නැහැ. හැබැයි යම් තාක් දුරට තේරුම් ගන්න අද වෙද්දි මට පුලුවන් වුනා.

බලන්න පුංචි දියණියක් විදිහට මෙලොව එළිය බලලා මැහැල්ලක් විදිහට ජීවිතෙන් සමුගන්න කාන්තවකගෙ ජීවිතේ දිහා. සුරතල් දියණියක් ඉපදුනහම වැඩියෙන්ම සන්තෝස වෙන්නෙ තාත්තා කෙනෙක්. අපේ රටේ නැතත් සමහර රටවල් වල ඉපදුන හැටියෙම දූවරු මරා දානවා. ඒ පුරුෂ මූලික සමාජය බලවත් නිසා. ඇය උපන් හැටියෙම පුරුෂ මූලිකත්වය වෙනුවෙන් තමන්ගෙ ජීවිතය කැප කරනවා.
ටිකෙන් ටික ලොකු මහත් වෙනකොට දියණියක් ආරක්ෂා කරන්න දෙමව්පියන් නොකරන දෙයක් නැහැ. ඒත් බලන්න අද සමාජය දිහා. ගෑණු ළමයෙක් පාරෙ ඇවිදන් ගියත් එලවන් යන වාහනේ හරි අයින් කරගෙන මොනව හරි කියලා යනවා. ඒ වෙලාවට ඇය කොච්චර අසරණ වෙනවද කියලා ඒ පුද්ගලයො හිතන්නෙ නැහැ. අවාසනාවන්ත ලෙස සමහර කාමාතුරයන්ගෙ මන දොල පුරවන්න තමන්ගෙ ජීවිතයෙන් වන්දි ගෙවන්න සමහර ගෑණු ළමයින් ට සිද්ද වුනා.

ළමා වයසෙදිත් තරුණ වයසෙදිත් ඇය තමන්ගෙ සහෝදරයන් සහෝදරියන් වෙනුවෙන් කැපකිරීම් කරනවා. “අම්මා නැති දවසක ගෙදර අම්මා වෙන්නෙ අක්කා නැත්තන් නංගි” කියල කතාවක් ඔබ අපි කවුරුත් අසා තියෙනවා. ආදරණීය සොහොයුරියක් විදිහට ඔවුන්ගේ ඕනෑ එපා කම් හොයල බලල ඒවා ඉටු කරල දෙනවා. තමන්ගෙ ආදරවන්තයාට අසීමිතව ආදරය දක්වමින් ඔහුට ශක්තියක් වෙන්නෙ ඇයයි.
මිතුරියන්ගෙ දුක සතුට බෙදාගනිමින් මිතුරියන් වගේම මිතුරන් ගැනත් ඇය සොයල බලලා උදව් කරන්නෙත් ඇයයි. නමුත් සමාජය වරදක් සොයන්න ඇහැ ගහගෙන ඉන්නෙත් ඇය දිහාමයි. සමහර වෙලාවට ඇය වරදක් නොකලා වෙන්න පුලුවන්. වරද කාගෙ වුනත් අන්තිමට හැමොගෙම ඇගිල්ල දික් වෙන්නෙ කාන්තාව දිහාවට. මේක සමාජයෙ වරදක් ද මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වල වරදක් ද කියන්න මම දන්නෙ නැහැ. ඒත් අන්තිමේදි හවුහරණක් පිලිසරණක් නැතිව අසරණ වෙන්නෙ ඇයයි.

තරුණ වයසෙදි විවාහ වුනාට පස්සෙ ආදරණීය සැමියා වෙනුවෙන් කාන්තාවගේ කාලය ජීවිතය කැප වෙනවා. තමන්ගේ ඕනෑ එපා කම් පසෙක ලා සැමියව ආදරයෙන් රැක බලාගන්න ආසියතික රටවල ස්වාමි දියණියන් කැපවෙලා ඉන්නවා. පසුව ඇය මවක් වෙනවා. මේ ලෝකෙ කිසිම පිරිමියෙකුට දරාගන්න බැරි වේදනා රැසක් දරාගෙන ඇය දරුවෙක් මේ ලොකෙට බිහිකරනවා. ඒ දස මාසෙක කැපකිරීම් වලට පස්සෙ. එතැන් පටන් ඇගෙ මුලු ලෝකෙම වෙන්නෙ දරුවො. සමහර විට දරුවන්ගෙ දරුවොත් ඇය පෝෂණය කරනවා. අන්තිමෙ දී  මැහැල්ලක් ලෙස මෙලොවින් සමුගන්නෙ බොහෝ විට තමන් කරපු කිසිම දෙයක් ගැන වටිනාකමක් නොදන්න සමාජයක.

සොහොයුරියක්, මිතුරියක්, ආදරවන්තියක් , ආදරණීය ස්වාමි දියනියක්, මවක්, ආච්චි අම්ම කෙනෙක් විදිහට ඇගෙ මුලු ජීවිතෙම අනුන් වෙනුවෙන් කැප වෙලා. ශාරීරිකව ගත්තොත් පිරිමියෙකුට වඩා කාන්තාවක් දුබලයි. නමුත් ඇය පිරිමියෙකුට තනිව කල නොහැකි වැඩ රාශියක් තනිව ඉටු කරනවා. ඇයව ඇගයීමකට ලක්වෙන්නෙත් බොහොම අඩුවෙන්.

ගුණ ගරුක කම් නොදත් මිනිසුන් බොහෝ වෙසෙන ලෝකයක ඇයට නිසි ගෞරවය ලබා දෙන්න. උදාර මිනිසෙක් වෙන්න.