Main Logo

Friday 27 January 2017

අනේ දියවඩන නිළමේ  


   අනේ දියවඩන නිළමේ


පසුගිය විසිපස්වැනි දා දළදා මාළිගාවේ මළුවේ ජාතික හිමිකම් සංවිධානය අධිෂ්ඨාන පූජාවක් කිරීමට බලාපොරෙත්තු වූ නමුත් එයට අවසර ලැබුණේ නැහැ. 1998 ජනවාරි විසිපස්වැනි දා තමයි කොටි දළදා මාළිගාවට පහර දුන්නේ. අපට අවශ්‍ය වූයේ ඒ පහර දීම සැමරීම නො වෙයි. කොටින්ට දළදා සමිඳුන්ට කිසිම පීඩාවක් කිරීමට බැරි වුනා. කොටි පහර දීමෙන් ලැබූ ජයග්‍රහණයක් නැහැ. අපට අවශ්‍ය වූයේ සිද්ධිය මතක් කර කොටින්ගේ පමණක් නොව මුළු දෙමළ ජාතිවාදයේ ම සිංහල විරෝධී අවශ්‍යතා සපුරාලීම සඳහා පිහිටුවන ලද ආණ්ඩුවට රට දෙකඩ කරන නව ව්‍යවස්ථාව බිහිකිරීමට ඉඩක් නොතබන බවට අධිෂ්ඨාන පූජාවක් කිරීමටයි.


එහෙත් අප දැනගත් ආකාරයට දියවඩන නිළමේ උසාවි නියෝගයක් දක්වමින් අධිෂ්ඨාන පූජාව නතර කර තිබෙනවා. ඒ දළදා මාළිගාව ආණ්ඩුවේ දේශපාලනයට යට කිරීමක්. ඊයේ (විසිහයවැනි  දා) ලංකාදීප පත්‍රයෙහි පළ වූ වාර්තාවකට අනුව දියවඩන නිළමේ ඒ සම්බන්ධයෙන් මෙසේ කියා තිබෙනවා. “ …ඒත් දළදා මාලිගා පරිශ්‍රයේ හෝ ඒ අවට දේශපාලන අරමුණකින් උද්ඝෝෂණය කිරීමට හෝ සත්‍යග්‍රහ කිරීමට හෝ නීතියෙන් ඉඩක් දෙන්නේ නැහැ.

කොටි සංවිධානය ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගහලා වසර 19 ක් වන බව ඇත්ත. නමුත් මේ වගේ ම්ලේච්ඡ ක්‍රියාවක් යළි යළිත් සිහිපත් කරන්නේ මොකට ද?   එය අමතක කළ යුතුයි. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් කළ ක්‍රියාව යළි යළිත් සිහිපත් කරල ඒ ම්ලේච්ඡ ක්‍රියාවට ක්‍රියාවට වීරත්වයක් දෙන්නේ ඇයි

ශ්‍රී දළදා මාලිග පරිශ්‍රයේ දේශපාලන අරමුණු ඇතිව උද්ඝෝෂණ සහ සත්‍යග්‍රහ කරන්න විරෝධතා පවත්වන්න නීතියෙන් කිසිම අවසරයක් නැහැ.... ”

දේශපාලනය යනු දේශය පාලනය කිරීමයි. බලය ලබා ගැනීම සඳහා කටයුතු කිරීමයි. දේශපාලනඥයා යනු දේශය නැත්නම් රට පාලනය කරන්නා හෝ එසේ පාලනය කිරීමට බලය ලබා ගැනීමට හෝ කටයුතු කරන්නායි.  ජාතික හිමිකම් සංවිධානයට එවැනි අරමුණක් නැහැ. එය නිරත වී ඇත්තේ ජාතික ව්‍යාපාරයක.  ජාතික ව්‍යාපාරයක් රටේ ජාතියේ ආගමේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා. අද ජාතික ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් නියැළී සිටින්නේ නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට හෝ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හෝ විරුද්ධ කටයුත්තක. එය දේශපාලන බලය ලබා ගැනීම සඳහා වූ ව්‍යාපාරයක් යැයි කිව හැක්කේ ඉංගිරිසින්ගේ නීතිය අනුව පත් වූ දියවඩන නිළමේ කෙනකුට පමණයි.

එක්සත් රාජ්‍යවල සැප්තැම්බර් එකොළහ අවුරුදු පතා මතක් කරන්නේ ඒ ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීන් සැමරීමට නො වෙයි. ත්‍රස්තවාදයට කිසිම ඉඩක් නොතිබිය යුතු බවට රටවැසියන්ට මෙන් ම සෙසු ලෝකයාට ද කීමටයි. ඔවුන් ඒ සම්බන්ධ ඡායාරූප අවුරුදු පතා ජනමාධ්‍යයෙහි ප්‍රචාරය කරනවා. ලංකාවේ ජනමාධ්‍යවේදීන් ද ඒ ඡායාරුප නැවතත් ඉදිරිපත් කරමින් තම පඬි බව ප්‍රදර්ශනය කරනවා. ලංකාවේ දළදා මාලිගාවට කළ පහරදීම ඔවුන්ට අමතකයි. එහි ඡායාරූප ප්‍රචාරය කරන්නේ නැහැ. දියවඩන නිළමේට මෙන් ම මෙරට විවිධ පඬියන්ට ජනවාරි විසිපහ අමතක කර සැප්තැම්බර් එකොළහ පමණක් මතක් කිරීමට අවශ්‍යයි.

මෙරට පාලකයා දන්තධාතුන් වහන්සේගේ ආරක්‍ෂකයා විය යුතු ය බවට මතයක් තිබුණා. රාජධානිය පිහිටි පුරයේ ම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටියා. අනුරාධපුරයේ සිට විවිධ අගනුවර හරහා මහනුවරට දන්ත ධාතූන් වහන්සේ වැඩම කරනු ලැබුවා.  රාජ්‍ය පාලනය හිමි වූයේ දන්තධාතුන් වහන්සේගේ හිමිකාරත්වය ලැබූ අයටයි. ඒ රාජ්‍ය පාලනය කාලයේ. අද තිබෙන්නේ ඉංගිරිසින් ඇති කළ දේශපාලනය. රාජ්‍ය පාලනයේත් දිය වඩන නිළමේ කෙනකු සිටියා. අද දේශපාලනය යටතේත් දියවඩන නිළමේ කෙනකු ඉන්නවා. ඒ නිලමේ පදවි දෙකක්. ප්‍රශ්නය ඇත්තේ එතැනයි. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් ඉංගිරිසින් පොරොන්දු වුනා බුද්ධාගම හා දේවාගම රැකීමට. ඒ අනුව තුන්වැනි ජෝජ් දන්තධතුන් වහන්සේගේ ආරක්‍ෂකයා වුනා. එහෙත් මෙය ලන්ඩනයට ප්‍රශ්නයක් වුනා. සමහරුන් එයට විරුද්ධ වුනා. අවසානයේ දී 1840 දී ඉංගිරිසින් දන්තධාතූන් වහන්සේගේ ආරක්‍ෂකත්වයෙන් මිදුණා. දන්තධාතූන් වහන්සේගේ ආරක්‍ෂයා බවට දියවඩන නිළමේ පත් කෙරුණා. රටේ පාලකයාට හිමි කාර්යයක් දියවඩන නිළමේට පැවරුණා. එදා සිට ඉන්නේ කලින් සිටි දියවඩන නිළමේ නො වෙයි. ඉන් පසුව දියවඩන නිළමේ ඉංගිරිසින් විසින් ඇතිකරන ලද පදවියක් වුණා. එය දේශපාලන පදවියක්. දියවඩන නිළමේ පදවියට පත්වන්නා ඉංගිරිසින්ගේ තවත් දාසයෙකු පමණයි.

අපට 1948 දී ඊනියා නිිදහස ලැබීමෙන් පසු තත්වයේ වෙනසක් වුනේ නැහැ. දියවඩන නිළමේ තව දුරටත් බලයේ සිටින දේශපාලනඥයන්ගේ දාසයෙක්. දියවඩන නිලමේ පත් කිරීමේ දී අනුගමනය කරන ක්‍රියා මාර්ගය කුමක් වුවත් එහි දී ඡන්ද බලය හිමිවන්නන් කවුරුන් වුනත් පත්වීම ලැබෙන්නේ රටේ පාලකයාගේ දාසයකු ලෙසයි. ඒ ඡන්දයේ දී රජයේ නිලධාරීන්ට ද මැදිහත් වන්න පුළුවන්. පෙර කළ රජු යනු රටේ භාරකරු පමණයි. ඉංගිරිසින් ඒ සංකල්පය වෙනස් කර රටේ පාලකයා යන සංකල්පය ඇති කළා. එංගලන්තයේ රජුගේ නියෝජිතයා ලන්ඩනය වෙනුවෙන් රට ආණ්ඩු කළා. එය කිසිසේත්ම පැරණි රට කරවීම නො වෙයි. දියවඩන නිලමේ මේ ආණ්ඩුකාරයාගේ (ගවර්නර්) දාසයෙක්. රට කරවීම හා රට පාලනය කිරීම යනු දෙකක්.

ඉංගිරිසින් වෙනස් කෙළේ දියවඩන නිලමේ පදවිය පමණක් නො වෙයි. ඔවුන් භික්‍ෂූන් වහන්සේ අතර නායක පදවි ඇති කළා. නායක පදවිය හිමි වූයේ ඉංගිරිිසි ප්‍රයිමෝ ජෙනිටර් නීතිය අනුව යමින්  අනුව යමින් නායක හාමුදුරුවන්ගෙ ප්‍රධාන ගෝල නමට. ඒ මදිවාට ඔවුන් ඉංගිරිසි ආණ්ඩුවට ඔත්තු සැපයීමට මහානායක පදවි ඇති කළා. මහානායක හිමි පදවියට හිමි අක්ත පත්‍රයේ ඒ බව සඳහන් වෙනවා. එමෙන් ම අක්ත පත්‍රය රටේ පාලකයා හෝ ඔහුගේ නියෝජිතයකු හෝ අතින් ලැබෙනවා. අද බුදුසසුනේ ව්‍යුහ දෙකක් පවතිනවා. එකක් සිංහල බෞද්ධයන් අවුරුදු දහස් ගණනක් රැකි චාරිත්‍ර හා සම්බන්ධ ව්‍යුහය. අනෙක ඉංගිරිසින් ඇති කළ දියවඩන නිළමෙ, නායක හිමිවරුන්, මහානායක හිමිවරුන් සහිත ඇංග්ලිකන් ක්‍රිස්තියානි ව්‍යුහය. මේ ව්‍යුහ දෙකෙන් දෙවැන්න වෙනස් විය යුතු බව පැහැදිලියි.

වත්මන් දියවඩන නිළමේ පදවියට හිමි රාජකාරි අතර දේශපාලනඥයන්ට දන්තධාතුන් වහන්සේට පූජා කිරීමට මල් වට්ටි ලබා දීම ද එක් කාරියක්. එය දේශපාලන ක්‍රියාවක් නොවන්නේත්, අප ජාතිය වෙනුවෙන් කරන අධිෂ්ඨාන පූජාවක් දේශපාලනයක් වන්නේත් දියවඩන නිලමේ අපේ පූජාව නවත්වා දේශපාලනඥයන්ගේ පූජාවලට ඉඩ ලබා දෙන්නේත් (අප දළදා මාලිග පරිශ්‍රයෙහි සිටින විට සිල් බිඳගත් ඇමතියකු ද පැමිණියා. ඔහුගේ පූජාවට නම් අවසර ලැබෙන්න ඇති) සිංහල බෞද්ධ නීතියක් අනුව නොව රෝම ලන්දේසි නීතිය අනුවයි. බුදු සසුනේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ව්‍යුහය බුදු සසුනේ චිරස්තිථියට ප්‍රශ්නයක් වෙලා. අපේ අධිෂ්ඨාන පූජාව කොටින්ට වීරත්වයක් ලබා දීමට නො වෙයි. රට දෙකඩ කරන නව ව්‍යවස්ථාව පරාජය කිරීමට.  කොටි පැරදවීය යුතු බවට හා හැකි බවට ජනමතයක් ඇති කෙළේ කවු ද යන්න දියවඩන නිළමේ පමණක් නොව බොහෝ දෙනා නොදන්නවා ඇති. අපට අවශ්‍ය නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට ඉඩ නොදීමයි. රෝම ලන්දේසි නීතිය යොදා ගනිමින් ඉංගිරිසින්ගේ දියවඩන නිළමේ ලවා අපේ අධිෂ්ඨාන පූජාව නැවැත් වූ ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ  ආණ්ඩුව කොටි සැමරීමට හා පූජා පැවැත්වීමට උතුරු පළාතේ දෙමළ ජාතිවාදීන්ට අවසර දෙනවා. 





මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.








නලින් ද සිල්වා



2017 ජනවාරි 27