රාගමට සහ කොළඹට සුපිරි 8 වටයේ ජයග්‍රහණ

615
SLC Premier League

ජාත්‍යන්තරය කරා යා හැකි සුපිරි ක්‍රිකට් තරු සොයා යාමේ අදිටනින් පැවැත්වෙන ප්‍රිමියර් ලීග් දේශීය ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් සුපිරි 8 වටයේ තරග දෙකක් අද (23) නිමාව දුටුවේය. එහිදී NCC සහ ටැමිල් යූනියන් කණ්ඩායම් පරාජය කරමින් රාගම ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් විය.

බදුරලිය පිළේ සහන් විජේරත්නගෙන් විශ්වකර්ම පිතිකරණයක්

ප්‍රිමියර් ලීග් දේශීය ක්‍රිකට් තරගාවලියේ අද (22) ක්‍රියාත්මක වුනු තරග අතුරින් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය පූර්ණ ජයග්‍රහණ හිමි කරගත් අතර සැරසන්ස්, BRC සහ බදුරලිය ක්‍රීඩා සමාජ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළහ. මීට අමතරව බදුරලිය පිළ නියෝජනය කරන සහන් විජේරත්න තරගය පුරාවට තම පිත්තෙන් සුපිරි දක්ෂතා ප්‍රකට කළේය.

රාගම ක්‍රිකට් සමාජය සහ NCC අතර තරගය

ක්‍රිකට් තරගයක දැකිය හැකි උණුසුම නොඅඩුව පැවතුනු මෙම තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට රාගම ක්‍රිකට් සමාජය සමත් විය. ඒ අනුව විශාල ලකුණු පරතරයකින් ප්‍රථම ඉනිමේ ජය තහවුරු කරගත් NCC කණ්ඩායමට සිදුවූයේ අනපේක්ෂිත පරාජයක් උරුමකර ගැනීමටයි.

කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දුන් NCC කණ්ඩායම ප්‍රථම ඉනිම වෙනුවෙන් සාර්ථක පිතිකරණයක යෙදෙමින් ලකුණු 265ක් රැස් කළේය. ඒ වෙනුවෙන් වමත් පිතිකරු චතුරංග ද සිල්වා හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 83ක් රැස් කරමින් ප්‍රබල දායකත්වයක් සැපයීය. ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 59යි. පන්දු යැවීමේදී චතුර පීරිස් කඩුලු 4කට හිමිකම් කීවේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ රාගම පිතිකරුවන් ලකුණු 127කට දැවී ගියේ තරග පරාජයකට මුහුණ දීමේ දැඩි අවදානමක් සහිතවයි. රාගම ප්‍රථම ඉනිම වැනසූ චතුරංග ද සිල්වා තුන් ඉරියව් දක්ෂතා ප්‍රකට කරමින් කඩුලු 4ක් බිඳ හෙලීය. ඒ අනුව ලකුණු 138ක වාසියක් සමඟින් තම දෙවැනි ඉනිම ආරම්භ කල NCC පිතිකරුවන් එහිදී ලකුණු 213ක් රැස් කළහ. චතුරංග ද සිල්වා එහිදීද ලකුණු 79ක් රැස් කළේය. එබැවින් සිව්වැනි ඉනිමේදී ලකුණු 352ක ඉලක්කයක් හිමිවුනු රාගම ක්‍රිකට් සමාජයට එය සැබෑවක් කර ගැනීම එතරම් පහසු නොවන බව පෙනෙන්නට තිබුණි.

නමුත් ජයග්‍රහණය වෙනුවෙන් සටන අත් නොහළ රාගම ක්‍රීඩකයින් ඉතාමත් හොඳින් පිතිකරණයේ යෙදෙමින් කඩුලු 9ක් දැවී තිබියදී අදාළ ඉලක්කය පසුකර යාමට සමත් විය. ‍රාගම පිළ වෙනුවෙන් අර්ධ ශතක ලාභීන් සිව්දෙනෙකු බිහිවූ අතර හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු ලකුණු 87ක් රැස්කල ජනිත් ලියනගේ මෙම ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. ඒ අනුව තරගය පුරාවට ලකුණු 161ක් රැස් කරමින් කඩුලු 7ක් බිඳ හෙලූ NCC පිළේ චතුරංග ද සිල්වාගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා පරාජයේ සෙවනැල්ලෙන් වැසී ගියේය.

NCC (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 265 (පන්දුවාර 62): තිමිර ජයසිංහ 37, ඇන්ජෙලෝ පෙරේරා 59, චතුරංග ද සිල්වා 83, චතුර පීරිස් 4/60, අමිල අපොන්සු 2/72, තිලක්ෂ සුමනසිරි 2/29.

රාගම ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 127 (පන්දුවාර 47.3): සමීර ද සොයිසා 57, ෆර්වීස් මහරූෆ් 3/28, චතුරංග ද සිල්වා 4/21.

NCC (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 213 (පන්දුවාර 53.5): චතුරංග ද සිල්වා 78, ජෙහාන් මුබාරක් 49, සඳුන් වීරක්කොඩි 32, ජනිත් ලියනගේ 2/41, තිලක්ෂ සුමනසිරි 3/28.

රාගම ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 352 (පන්දුවාර 136.3): ජනිත් ලියනගේ 87, ලහිරු මිලන්ත 59, සමීර ද සොයිසා 56, චතුර පීරිස් 51*, චතුරංග ද සිල්වා 3/84, තරිඳු කෞෂාල් 3/103, ෆර්වීස් මහරූෆ් 2/42.


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

කෝල්ට්ස් පිටියේදී පැවැත්වුනු මෙම තරගයේ ජයග්‍රහණය කොළඹ ක්‍රිකට් සමාජය හිමිකර ගත්තේ කඩුලු 10කිනි. ඒ ප්‍රබල ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පහසුවෙන් පරාජය කරමිනි. කිත්රුවන් විතානගේ රැස්කල ලකුණු 130න් ප්‍රාණවත් වූ ටැමිල් යූනියන් ප්‍රථම ඉනිම ලකුණු 377ක් දක්වා ඇදී ගිය අතර ඒ වන විට තරගයේ වැඩි වාසිය පැවතුනේ ඔවුන් සතුවයි. නමුත් මධුසංක සහ රොන් චන්ද්‍රගුප්ත ලකුණු 240ක සුපිරි සබඳතාවයක් පවත්වමින් CCC ප්‍රථම ඉනිම ලකුණු 497ක් දක්වා ඉහළ නැංවූහ.

එබැවින් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට සිදුවූයේ ලකුණු 120ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹීමටයි. ජය පරාජයෙන් තොරව නිමාකර ගැනීමට තිබූ තරගය පරාජයක් දක්වා රැගෙන යන ආකාරයේ අසාර්ථක පිතිහරඹයක යෙදුනු ඔවුන්ට එහිදී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 149ක් පමණි. අගනා පන්දු යැවීමක නිරත වුනු ලහිරු ගමගේ ලකුණු 51ක් පමණක් ලබාදෙමින් ටැමිල් යූනියන් පිතිකරුවන් පස්දෙනෙකු නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීය. ලකුණු 30ක පහසු ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 2යි පන්දු 3ක් තුලදී සපුරාගත් කොළඹ ක්‍රිකට් සමාජය මෙම තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 377 (පන්දුවාර 87.3): කිත්රුවන් විතානගේ 130, මනෝජ් සරත්චන්ද්‍ර 63, ජීවන් මෙන්ඩිස් 40, තරංග පරණවිතාන 30, ලහිරු මධුශංක 4/77, ලහිරු ගමගේ 3/83.

කොළඹ ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 497 (පන්දුවාර 112.1): ලහිරු මධුසංක 164, රොන් චන්ද්‍රගුප්ත 157, ශාලුක සිල්වා 63, චාමික කරුණාරත්න 4/128, ලහිරු සමරකෝන් 3/102.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 149 (පන්දුවාර 46.1): රමිත් රඹුක්වැල්ල 33, තරංග පරණවිතාන 24, ලහිරු ගමගේ 5/51, ලහිරු මධුසංක 3/68, අශාන් ප්‍රියන්ජන් 2/11.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 30 (පන්දුවාර 2.3): වනිඳු හසරංග 22*.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට