January 23, 2017

දිව ඔසුවක් සේ ගුණ දෙන පළතුර – කොමඩු

කොමඩු කියන්නේ පහසුවෙන් මිලදී ගත හැකි, පහසුවෙන් වගා කරන්නත් පුළුවන් අපේ රටේ වියලි කලාපයේ හැදෙන ඉතාම රසවත් පළතුරක්. රසෙන් වගේම මේ පලතුර ගුණයෙනුත් පරිපූර්ණයි. Citrullis lanatus යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කොමඩුවල නිජ භූමිය ලෙස  සලකනු ලබන්නේ අප්‍රිකා මහාද්වීපයයි. පසුව එය ආසියාවට හා යුරෝපයට පැමිණිබව වාර්ථා වේ. ඇමරිකා එක්සත් ජනපදයේ වඩාත්ම ජනප්‍රිය පළතුර ලෙස සැලකෙන්නේද කොමඩුයි. මිසර දේශයේ ඉපැරැණි චිත්‍රවල පවා මේ කොමඩු පළතුරේ සිතුවම් දක්නට ලැබෙනවා.
කොමඩු අයත් වන්නේ ලබු, පිපිඤ්ඤා, අළු පුහුල් වැනි එළවලු අයත් වන පවුලට වන අතර සාමාන්‍යයෙන් අපේ රටේ වැවෙන කොමඩු වර්ග දෙකක් තිබෙනවා. තද කොළ පැහැති වර්ගය සහ ළා කොළ පැහැති තද වයිරම්(Hybrid) වර්ගයයි. මෙයින් පත්තක්කා ලෙස හැඳින්වෙන්නේ පැණි කොමඩුවලට සාපේක්ෂව පැණි රස අඩු වර්ගයයි.
පැණි කොමඩුවල ගුණයන් 

පැණි කොමසු යනු ජලය අධිකව ඇති පළතුරක්. ඒ නිසා උෂ්ණ කාලයේදී සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සමතුලිතව තබාගන්නට මෙන්ම සම වියලීම පාලනය කර ගන්නටද පැණි කොමඩු අනුභවය ඉතා සුදුසුයි. ඇතැම් අවස්ථාවල දී ශරීරයේ ඇතිවන කැසීම් ස්වභාවය පැණිකොමඩු ආහාරයට ගැනීමෙන් දුරලන්නට පුළුවන්. එමෙන්ම මළ බද්ධයෙන් පීඩා විඳින අයෙකුට කොමඩු ආහාරයට ගැනීමෙන් මළ බද්ධයෙන් මිදීමේ අවස්ථාව ලැබෙන බවත් කිව යුතුම කාරණයක්. කොමඩු හෘද රෝගවලටත් බෙහෙවින් ගුණදායකයි. වර්තමානයේ බොහෝ දෙනා පීඩා විඳින මුත්‍රා ගල්වලටත් පැණි කොමඩු යනු ඉතා හොඳ ඖෂධයක්.
ශරීරයෙහි ප්‍රතිශක්තිය වඩවන ගුණයක් ඇති නිසා ප්‍රතිශක්තිය ඇති කිරීමටත් කොමඩු කියන්නේ කදිම පළතුරක්. අසාත්මිකතා නාශක ගුණයක් කොමඩු පළතුරෙහි අඩංගුයි. ඒ නිසා අසාත්මිකතා වැළඳෙන අයට මෙම පළතුර මනා ඖෂධයක් වෙනවා. ඒ වගේම උණ රෝගය, ඉරුවාරදයට, කොලෙස්ටරෝල් ආදී රෝගවලින් පෙලෙන අයටත් කොමඩු කියන්නේ ගුණදායක ආහාරයක්.  මෙය වකුගඩු හා මුත්‍රාශය පිරිසිදු කරනවා. ඒ වගේම කෑම දිරවීම පහසු කරවන නිසා ආහාර ගැනීමෙන් පස්ස කොමඩු කැබැල්ලක් අතුරුපසක් විදිහට ආහාරයට ගන්නත් ඔබට පුළුවන්. පණු රෝගවලටත් ගුණදායකයි.
ගෑස්ට්‍රික් රෝගයෙන් පෙළෙන අයෙකුට කොමඩු පළතුර ආහාරයට ගැනීමෙන් සුවදායක බවක් හිමි වෙනවා. අර්ශස් රෝගය සමනය කරන්නටත් කොමඩු උචිතයි. සම පැලීමේ තත්ත්වයක් ඇත්නම් ඉන් සුවය ලැබීම කොමඩු නිතර නිතර ආහාරයට ගැනීම කළ හැකියි.  පිළිස්සීම් ඇති වූ අවස්ථාවකදීත් මේ පලතුර ආහාරයට ගැනීමෙන් එම වේදනාවන්ට සහනය ලැබෙනවා.
කොමඩුවල රූපලාවණ්‍ය ගුණයන්
කොමඩු පළතුරේ පවතින අධික දියරමය ස්වභාවය නිසාම මේ පළතුරේ ශරීරයට හිතකර ගුණ රැසක් තියෙනවා කියල අපි කලිනුත් කිව්වනේ. ඔබ දිනපතා උදෑසන කොමඩු යුෂ වීදුරුවක් පානය කරන එක පුරුද්දක් කර ගන්නව නම් මේ පළතුරේ තියෙන ඖෂධීය ගුණ නිසා ශරීරයේ සම පැහැපත් වෙනවා. ඒ වගේම සමේ අධික ලෙස වියළි ස්වභාවය නිසා හම රැලි වැටීම, සම පලීමේ තත්වයන් වළක්වාගන්නටත් පුළුවන්. කොමඩු යුෂ දෛනිකව බොනව නම් තරුණ පෙනුමක් ලබන්නත් පුළුවන්.
කොමඩු පානය


අද කාලෙ ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ තමන්ගේ ගෙදරට අමුත්තෙක් ආවම කෘත්‍රිම බීම වර්ගවලින් සංග්‍රහ කරන්න. අමුත්තන්ට සංග්‍රහ කරනවා පමණක් නෙවෙයි බොහෝ දෙන නිතර නිතර අර කිව්ව කෘත්‍රිම පානයන් බොන්නත් පුරුදු වෙලා ඉන්නවා. නිවෙසට අමුත්තෙක් ආවම වගේම තමන්ට ඕන කියල හිතුන වෙලාවට රසය මෙන්ම ගුණය ලබා දෙන වෙනස් ආකාරයේ පළතුරු පානයක් කොමඩු භාවිත කරලා හදාගන්න පුළුවන් .
උපුටා ගැනීම - අන්තර්ඡාලය ඇසුරිනි
Nayana Wijeratna - STO, Yatinuwara.

0 comments:

Post a Comment