චන්ද්‍රගුප්ත සහ මධුශංක ටැමිල් යූනියන් පිළට බැටදෙයි

486
SLC Premier League 2016/17 tier A january 21st

දේශීය ක්‍රිකට් පිටිය අතිශයින් කාර්‍යබහුල කරවන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 7ක් ඊයේ (21) දෙවන දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විය. එහිදී රොන් චන්ද්‍රගුප්ත සහ ලහිරු මධුශංක ශතක වාර්තා කරමින් සයවැනි කඩුල්ල වෙනුවෙන් තැබූ ලකුණු 240ක සබඳතාවය කැපී පෙනුණි. මෙහි දැක්වෙන ප්‍රථම තරග 4 සුපිරි 8 වටයේ සිව්දින තරග ලෙස ක්‍රියාත්මක වූ අතර අනෙක් තරග 3 තෙදින තරග ලෙස ක්‍රියාත්මක විය.

විශ්ව චතුරංගගේ සුපිරි පිතිකරණය නිසා ශ්‍රී ලංකාවට තවත් ජයක්

මේ දිනවලදී දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන යොවුන් කණ්ඩායම් සහභාගි වන තුන්කොන් එක්දින…

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

ටැමිල් යූනියන් ක්‍රීඩකයින් සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 377ට ප්‍රතිචාර වශයෙන් CCC පිතිකරුවෝ අද කඩුලු 8කට දැවැන්ත ලකුණු 406ක් ලකුණු පුවරුව මත සටහන් කළහ. ඒ වෙනුවෙන් සුපිරි ගණයේ පිතිකරණ රටාවක් පෙන්නුම් කල රොන් චන්ද්‍රගුප්ත හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 157ක් ද, ලහිරු මධුශංක හතරේ පහර 22ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 151ක් ද රැස් කිරීමට සමත් විය. මොවුන් දෙදෙනා හැරුණුකොට වෙනත් පිතිකරුවෙක් ලකුණු 30 සීමාව හෝ පසුකර නොයෑම විශේෂත්වයකි. නමුත් කඩුලු 5ට 116ක් දැවී අසරණ වී සිටි CCC ඉනිම නැවත ගොඩ නැගූ ඔවුන් ලකුණු 240ක දැවැන්ත සබඳතාවයක උරුමකරුවන් බවට පත්වූහ. මේ වනවිට CCC පිළ ප්‍රථම ඉනිමේ ලකුණු 29ක ඉදිරියක් තබා ඇත.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 377 (පන්දුවාර 87.3) කිත්රුවන් විතානගේ 130, මනෝජ් සරත්චන්ද්‍ර 63, ජීවන් මෙන්ඩිස් 40, තරංග පරණවිතාන 30, ලහිරු මධුශංක 4/77, ලහිරු ගමගේ 3/83.

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 406 (පන්දුවාර 86) රොන් චන්ද්‍රගුප්ත 157, ලහිරු මධුසංක 151*, ලහිරු සමරකෝන් 2/80, චාමික කරුණාරත්න 4/98.


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි යුධ හමුදා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 65ක් ලබා සිටියහ. අද එය මේරියන්ස් ඉනිම අභිබවා ගිය ලකුණු සංඛ්‍යාවක් බවට පරිවර්තනය කර ගැනීමට ඔවුන් ප්‍රබල උත්සාහයක් ගත්තද ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 183ක් පමණි. මේරියන්ස් පිළට ප්‍රථම ඉනිමේ ජය තහවුරු කර ගැනීමට සචිත්‍ර සේරසිංහ සහ මලින්ද පුෂ්පකුමාර පන්දුවෙන් අගනා සේවයක් ඉටු කළහ. නමුත් දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් හලාවත පිතිකරුවන් ලකුණු 148ක් තුලදී දැවී යාම නිසා තරගය නැවතත් දෙපිළටම විවෘත විය. මේ වනවිට ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින යුධ හමුදා පිළ කඩුලු 2ක් දැවී ලකුණු 24ක් ලබාගෙන සිටියි.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 61.2) මහේල උඩවත්ත 52, අශේන් සිල්වා 52, සචිත්‍ර සේරසිංහ 33, නලීන් ප්‍රියදර්ශන 4/61

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 183 (පන්දුවාර 74.2) ඩිල්ශාන් ද සොයිසා 47, හිමාෂ ලියනගේ 32, සචිත්‍ර සේරසිංහ 4/29, මලින්ද පුෂ්පකුමාර 3/46, අරෝෂ් ජනෝද 2/28.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 36.4) ශෙහාන් ජයසූරිය 38, නලීන් ප්‍රියදර්ශන 5/68, දුශාන් විමුක්ති 4/37.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 24 (පන්දුවාර 10)


සිංහල ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

ඊයේ ප්‍රථම දිනය වෙනුවෙන් තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 275ක් ලබාගෙන සිටි SSC පළමු ඉනිම අද ලකුණු 293කට සීමා විය. ඊට ප්‍රතිචාර දැක්වීමට පිටියට පිවිසි කෝල්ට්ස් පිතිකරුවන්ව අන්ත අසරණ කළ විමුක්ති පෙරේරා සහ සචිත්‍ර සේනානායක කඩුලු 4 බැගින් දවාලමින් කෝල්ට්ස් ප්‍රථම ඉනිම ලකුණු 100කට සීමා කළහ. මේ වනවිට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7කට ලකුණු 124ක් ලබා සිටින SSC පිතිකරුවන් කෝල්ට්ස් ප්‍රථම ඉනිමට වඩා ලකුණු 317ක් ඉදිරියෙන් පසුවේ.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 85) දිමුත් කරුණාරත්න 125, දසුන් ශානක 59, කවිඳු කුලසේකර 44*, දිල්රුවන් පෙරේරා 4/75, ඉශාන් ජයරත්න 3/64,  ප්‍රභාත් ජයසූරිය 2/59.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 100 (පන්දුවාර 31) සදීර සමරවික්‍රම 22, විමුක්ති පෙරේරා 4/24, සචිත්‍ර සේනානායක 4/31.

සිංහල ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 124 (පන්දුවාර 35.3) කවිඳු කුලසේකර 33*, නිසල තාරක 3/24.


NCC සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

NCC පිතිකරුවන් සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 265ට පිලිතුරු ලෙස රාගම ක්‍රීඩකයින් ප්‍රථම දිනය නිමාවෙද්දී කඩුලු 6ක් දැවී ලබාගෙන සිටියේ ලකුණු 43ක් පමණි. අද ඔවුන්ගේ ප්‍රථම ඉනිම ලකුණු 127කට සීමා කිරීමට චතුරංග සිල්වා, ෆර්වීස් මහරූෆ් ප්‍රමුඛ NCC පන්දු යවන්නෝ සමත් වූහ. මේ වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින NCC පිතිකරුවන් රාගම ප්‍රථම ඉනිමට වඩා ලකුණු 347ක් ඉදිරියෙන් පසුවන්නේ තවත් එක් කඩුල්ලක් අතැතිවයි.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 265 (පන්දුවාර 62) තිමිර ජයසිංහ 37, ඇන්ජෙලෝ පෙරේරා 59, චතුරංග ද සිල්වා 83, චතුර පීරිස් 4/60, අමිල අපොන්සු 2/72, තිලක්ෂ සුමනසිරි 2/29

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 127 (පන්දුවාර 47.3) සමීර ද සොයිසා 57, ෆර්වීස් මහරූෆ් 3/28, චතුරංග ද සිල්වා 4/21.

NCC (දෙවන ඉනිම) –  කඩුලු 9ක් දැවී ලකුණු 209 (පන්දුවාර 53) චතුරංග ද සිල්වා 78, ජෙහාන් මුබාරක් 49, සඳුන් වීරක්කොඩි 32, ජනිත් ලියනගේ 2/41, තිලක්ෂ සුමනසිරි 3/28.


ගාලු ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

දමිත හුණුකුඹුරගේ ලකුණු 97න් පොහොසත් වූ ගාලු ප්‍රථම ඉනිම සාර්ථක ලෙස හඹාගිය සැරසන්ස් පිතිකරුවන් සිය මුල් ඉනිමට ලකුණු 315ක් වාර්තා කරමින් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ස්ථිර කර ගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු ලකුණු 115ක් රැස් කරමින් ආධාර විය. මේ වනවිට ගාලු ක්‍රිකට් සමාජය කිසිවෙකු නොදැවී ලකුණු 15ක් ලබාගෙන සැරසන්ස් පිළට වඩා එක් ලකුණක් ඉදිරියෙන් පසුවේ.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 301 (පන්දුවාර 86.3) දමිත හුණුකුඹුර 97, නිලුශාන් නෝනිස් 65, මින්හාජ් ජලීල් 40, ශාලික කරුණානායක 34, චතුර රන්දුනු 3/80, කසුන් රාජිත 2/57

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 315 (පන්දුවාර 82.4) මිලින්ද සිරිවර්ධන 115, උමේෂ් කරුණාරත්න 57, රොෂාන් ජයතිස්ස 3/88, සජීව වීරකෝන් 4/121.

ගාලු ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 15 (පන්දුවාර 6)


බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ BRC අතර තරගය

ඊයේ දිනයේ අවාසනාවන්ත ඉනිමක නිරත වුනු නායක නිපුන් කරුණානායක රැස්කල ලකුණු 98 හේතුවෙන් බ්ලූම්ෆීල්ඩ් ප්‍රථම ඉනිම ලකුණු 317ක් දක්වා ඇදී ගියේය. එහිදී BRC පිළ නියෝජනය කරන පරිණත වමත් දඟ පන්දු යවන්නෙකු වන දිනුක හෙට්ටිආරච්චි කඩුලු 6ක් දවාලමින් දස්කම් දැක්වීය. මේ වනවිට කඩුලු 6ක් දැවී ලකුණු 236ක් ලබා සිටින BRC ක්‍රීඩකයින් බ්ලූම්ෆීල්ඩ් ප්‍රථම ඉනිමට වඩා ලකුණු 81ක් පිටුපසින් සිටියි.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 317 (පන්දුවාර 99.2) නිපුන් කරුණානායක 98, නිසල් ෆ්‍රැන්සිස්කෝ 79, ලහිරු ප්‍රනාන්දු 33, විනෝද් පෙරේරා 31, දිනුක හෙට්ටිආරච්චි 6/103, ටී. එම්. සම්පත් 3/85.

BRC – කඩුලු 6ක් දැවී ලකුණු 236 (පන්දුවාර 76) ලසිත් ලක්ෂාන් 44, භානුක රාජපක්ෂ 52, මලිත් ද සිල්වා 4/64.


බදුරලිය ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

ඊයේ දිනය නිමාවෙද්දී හරියටම ලකුණු 300ක් රැස්කල බදුරලිය ඉනිමට ප්‍රතිචාර වශයෙන් මුවර්ස් ක්‍රීඩා සමාජය අද ලකුණු 214ක් රැස් කළහ. බදුරලිය ප්‍රථම ඉනිමේ ජය තහවුරු කල අසංක සිල්වා සහ දිලේශ් ගුණරත්න කඩුලු 4 බැගින් බිඳ හෙලූහ. මේ වනවිට තම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 4කට ලකුණු 91ක් ලබාගෙන සිටින බදුරලිය ක්‍රීඩා සමාජය මුවර්ස් පිළට වඩා ලකුණු 177ක් ඉදිරියෙන් පසුවේ.

බදුරලිය ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 300 (පන්දුවාර 88.1)
සහන් විජේරත්න 102*, සාලිය සමන් 38, නිමන්ද මධුසංක 31, විශ්ව විජේරත්න 27, දිලංක සඳකැන් 5/52.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 68.5)
ප්‍රිමෝශ් පෙරේරා 46, පබසර වඩුගේ 71, අසංක සිල්වා 4/70, දිලේශ් ගුණරත්න 4/54.

බදුරලිය ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 91 (පන්දුවාර 19) නදීර නාවෙල 26*, ප්‍රමෝද් මධුවන්ත 3/23.

මෙම සියලුම තරග හෙට (22) තෙවැනි දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට