Main Logo

Sunday 22 January 2017

ඒකාබද්ධ විපක්‍ෂයට නිර්සහයෝගිතා ක්‍රියා මාර්ගයක්


ඒකාබද්ධ විපක්‍ෂයට නිර්සහයෝගිතා ක්‍රියා මාර්ගයක්





නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නැති බවත් ජනවාරි අටවැනිදාට පසු යහපාලන ගිවිසුම අවලංගු බවත් අප කිහිප වතාවක් ම පවසා තිබෙනවා. එය හුදු උපකල්පනයක් හෝ හිතළුවක් හෝ නොව යම් කරුණු මත පදනම් වූ නිගමනයක්. සංධානයේ කිසිවකු නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට 2015 අගෝස්තු මස පැවති මැතිවරණයේ දී පොරොන්දුවක් දුන්නේ නැහැ. සංධානයේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් වූයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ ය යන්න පමණයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ යැයි කී එ ජා පෙරමුණට බහුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලැබුණේ නැහැ.




මෛත්‍රිපාල හා රනිල් ඇති කර ගත් යහපාලන ගිවිසුම අවුරුදු දෙකකට පමණයි. අද පවතින ආණ්ඩුව ඇති වුනේ යහපාලන ගිවිසුම අනුව නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයේ වැරදි දේශපාලන තීරණයක් අනුව ඔවුන් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස එකී සංශෝධනය උපයෝගී කර ගනිමින් අගෝස්තු මැතිවරණයෙන් පසු ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටෙවුවා. දහනවවැනි සංශෝධනයෙන් තහවුරු වූ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එමගින් අගමැතිගේ බලතල වැඩිවුණා. ඊනියා ස්වාධීන කොමිෂන් සභා දේශපාලනඥයන්ගෙන් හා ඔවුන්ගේ ඉත්තන්ගෙන් පිරවීමට අවකාශය ලැබුණා. අද වන විට අවුරුදු දෙකකට පමණක් වූ යහපාලන ගිවිසුම අවලංගුයි. ඒ නිසා මෛත්‍රිපාලට අවශ්‍ය නම් වෙනත් ගිවිසුමක් වෙනත් අයකු සමග අත්සන් කළ හැකියි.



එලෙස ම ජනාධිපතිට ව්‍යවස්ථාව අනුව රනිල් හැරෙන්නට වෙනත් අයකු අගමැති පදවියට පත් කළ හැකියි. එසේ පත්කර වෙනත් ජාතික ආණ්ඩුවක් ව්‍යවස්ථාව යටතේ ම ඇති කළ හැකියි. එහෙත් මෛත්‍රිපාල එවැනි පියවර ගනී ද යන්න ප්‍රශ්නයක්. ඔහුට අද ජනබලයක් නැහැ. රනිල් ඔහුගේ විධායක බලතල හසුරවනවා. මෛත්‍රිපාලට ජනබලයක් දිනා ගත හැකි එක ම ක්‍රමයත් වෙනත් ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන්. එසේ නොකළහොත් ඔහු යථාකාලයේ දී රනිල්ට පමණක් නොව රවි කරුණානායක වැන්නන්ටත් සර් කියන තත්වයකට පත්වේවි.



ඒ කෙරුණත් නැතත් ඒකාබද්ධ විපක්‍ෂයට ගත හැකි පියවර කිහිපයක් තිබෙනවා. ප්‍රථමයෙන් ම ඔවුන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ සමස්ත ක්‍රියාවලියෙන් ම ඉවත් විය යුතුයි. ඒකාබද්ධ විපක්‍ෂයට ඡන්දය දුන් අය ඔවුන්ට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වරමක් දී නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය දැන්වත් නව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලවලින් ඉවත් විය යුතුයි. එලෙස ඉවත් නොවීම තම ඡන්දදායකයනට ද්‍රෝහි වීමක්. ඒකාබද්ධ විපක්‍ෂයට ඡන්දය දුන් කිසිවකු නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ඡන්දය දී නැහැ.



නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමෙන් ඉවත් වන්නේ නම් එයට ප්‍රථම සිංහල විරෝධී ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දී පත් කෙරුණු අනුකාරක කමිටු හයේ වාර්තා සම්පුර්ණයෙන් ප්‍රතික්‍ෂෙප කළ යුතුයි. ඒ සිංහල විරෝධී වාර්තා හය කිනම් කොන්දේසියකටවත් යටත් නොවී ප්‍රතික්‍ෂෙප කළ යුතුයි. එසෙ ප්‍රතික්‍ෂෙප කිරීම ක්‍ෂණික අවශ්‍යතාවක් වෙලා. ඒ කමිටු වාර්තා යැවිය යුත්තේ ඉතිහාසයේ කුණු කූඩයටයි. සිංහල විරෝධීන් වූ ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න, සුමන්තිරන්, සිද්ධාර්ථන් වැනි අයට අවශ්‍ය අන්දමට නව ව්‍යවස්ථා සම්පාදනය කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය සහභාගි නොවිය යුතුයි. මහින්දටත් ඒකාබද්ධ විපක්‍ෂයටත් ලැබුණේ සිංහල ඡන්ද. ඔවුන්ට සිංහල ඡන්දවලින් පාර්ලිමේන්තුවට පත් වී සිංහලයන්ට විරුද්ධ ව කටයුතු කරන්න බැහැ.



ව්‍යවස්ථා කතාවට අනෙක් සියලු කතා යටයි. එහෙත් ජනතාවගේ ජීවන බර අහසට උස නැගලා. ආණ්ඩුවට ඒ ප්‍රශ්නයටත් විසඳුමක් නැහැ. එය දේශපාලන හා ආර්ථික ප්‍රශ්නයක්. ඒකාබද්ධ එවැනි ප්‍රශ්නවලට සක්‍රීය ව මැදිහත් වෙනවා. එය යහපත් ක්‍රියාවක්. ඒ අතර ආණ්ඩුච මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාසය මගින් හා සරත් අමුණුගමගේ නව පනතට අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ අයගේ ප්‍රජා අයිතිවාසිකම්  නැති කිරීම් මගින් ඉතාමත් ම්ලේච්ඡ ආකාරයකින් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරනවා. මනෝරි පාකියසෝති වාර්තාවත් උපයෝගි කරගනිමින් රණවිරුවන්ට දඬුවම් කිරීමට විදේශීය විනිසුරුවන් ද පත් කිරීමට යනවා. දෙමළ ජාතිවාදීන්ට දෙමළ අගවිනිසුරුවරයකු යටතේ පවතින අධිකරණයවත් විශ්වාස නැහැ. සුමන්තිරන් කටයුතු කරන්නේ රවිරාජ් ඝාතනයේ විත්තිකරුවන්ට කෙසේ නමුත් දඬුවම් කිරීමටයි. දෙමළ ජාතිවාදීන් නීතිපතිවත් ඒ සඳහා යොදා ගන්නා බව පැහැදිලියි. නීතිපති, පොලිෂ්පති මෙන් ම රනිල්ට අවශ්‍ය දේ කරනවා.



ඒකාබද්ධ විපක්‍ෂයට එවැනි වාතාවරණයක් යටතේ තවදුරටත් රනිල්ගේ ආණ්ඩුව සමග සහායෝගයෙන් වැඩ කිරීමට හැකි ද? සංධානයට මන්ත්‍රී ධුර අනූපහක් ලැබුණු බව අමතක නොකළ යුතුයි. ඔවුන්ගෙන් ඇතමකු නඩුවලින් බේරීමට රනිල්ගේ ඊනියා ජාතික ආණ්ඩුවට එක් වී ඡන්දදායකයන් පාවා දී තිබෙනවා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය තවමත් කොන්දක් සහිත ව තම ඡන්දදායකයන් වෙනුවෙන් පෙනී සිටිනවා. අද ඒකාබද්ධ විපක්‍ෂය එතනිනුත් එහාට යා යුතුයි. කතානායක ඉටු කරන්නේ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාව නොවෙයි. කතානායක තම පක්‍ෂ නායකගේ වුවමනා එපාකම් ඉටු කරනවා. රනිල් ඒකාබද්ධ විපක්‍ෂයට හිමි විය යුතු අයිතිවාසිකම් දෙන්නේ නැහැ. ඔහුගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය එබඳුයි.



ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් ම නිර්සහයෝගිතා ක්‍රියා මාර්ගයක් ආරම්භ කළ යුතුයි. කතානායකගේ හා පොදුවේ ආණ්ඩුවේ උත්සව හා වෙනත් එවැනි ක්‍රියාවන්ට සහභාගි නොවිය යුතුයි. පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට කිසිම ආකාරයකින් සහයෝගයක් නොදිය යුතුයි. විපක්‍ෂයකින් ඉටු විය යුතු අවම කාර්යයන්හි පමණක් නිරත විය යුතුයි. ආණ්ඩුව මහින්දට ඡන්දය දුන් පනස්අට ලක්‍ෂයක් අමතක කිරීමට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කළ යුතුයි. රනිල් ප්‍රජාතන්ත්‍ර විරෝධියකු බව ජනතාවට හෙළිදරවු කළ යුතුයි.   





මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජනවාරි 22