TIME MAGAZINE TOP 10 PHOTOS OF THE YEAR 2016 | ටයිම් සඟරාවේ 2016 වසරේ හොඳම ඡායාරූප 10ය


2016 වසර ඡායාරූප ට්‍රිලියන 2.5 (ට්‍රිලියනය = බිලියනය x බිලියනය ) කැමරා කාචවල සටහන්වී අන්තර්ජාලයට එකතුවූ වසරක් ලෙස සැළකේ. මෙම ඡායාරූප ට්‍රිලියන ගණනින් අතිවිශාල ප්‍රමාණයක් ජංගම දුරකථනවල සටහන් කරගත් සෙල්ෆී ඡායාරූප වුවත්, තවත් අතිවිශාල ඡායාරූප ප්‍රමාණයක් වසරේ ඉතා වැදගත් සිදුවීම් සදාකාලයටම සටහන් කරගෙන තිබුණි.

ටයිම් සඟරාවේ සියගණනක් ඡායාරූප ශිල්පීන් හා වාර්තාකරුවන් ලොව සියලුම වැදගත් සිදුවීම් ආවරණය කරන අතර මේ ඡායාරූප ශිල්පීන් ටයිම් මූලස්ථානය වෙත එවන දසදහස් ගණන් ඡායාරූපවලින් තෝරාගත් ඡායාරූප 100 වසරේ වැදගත්ම ඡායාරූප 100 ලෙස එලිදක්වයි. මෙයිනුත් තවත් 10ක් තෝරා ගන්නා අතර මේ එලිදැක්වෙන්නේ එම ඡායාරූප 10යි. මෙම ඡායාරූප වැදගත්වන්නේ ඒවායේ කළාත්මක භාවය හෝ ශිල්පීය දක්ෂතාවය නිසා නොව එම ඡායාරූපවල සටහන්වන ඉතා වැදගත් කරුණු නිසාවෙනි.

තුර්කි හමුදා කුමන්ත්‍රණකරුවන් මහජනයාට යටත්වූ අයුරු


පසුගිය ජූලිමාසයේ තුර්කියේ ඇතිවූ හමුදා කුමණ්ත්‍රණය පරාජයවීමෙන් පසු, එයට සහභාගීවූ සෙබලුන් ඉස්තාන්බුල් නුවර බොස්ෆෝරස් පාලම අසලදී තුර්කි පුරුවැසි බලවේගයට යටත්වූ අයුරු.

ඓතිහාසික කියුබානු සංචාරය සඳහා ජනපති ඔබාමාගේ එයාෆෝස් වන් යානය හවානා නුවරට ගොඩබසින අයුරු.


2016 මාර්තුවේ බැරැක් ඔබාමා වසර 100කට පසු කියුබාවට පය ගැසූ පලමු ඇමරිකානු ජනපතිවරයා වූවා. 1959දී ෆිදෙල් කැස්ත්‍රෝ නම් තරුණ විප්ලවවාදියා අමෙරිකානු ගැති පාලනය නෙරපාදමා, කියුබාවේ ඇමරිකානු ආයෝජන (සීනි හා දුම්කොල කර්මාණ්තය) ජනසතු කිරීමෙන් පසු රටවල් දෙක දැඩිලෙස විරසක වුනා. ඉන්පසු ජනාධිපති ජෝන් කෙනඩිගේ පාලන කාළයේ එනම් 1961 වසරේදී සී.අයි.ඒ සංවිධානය "Bay of Pigs Invasion" ලෙස හැඳින්වෙන නීති විරෝධී යුධ ආක්‍රමණයක් සිදුකල අතර එයට සහභාගීවූ කැස්ත්‍රෝ විරෝධී කියුබානුවන් විශාල පිරිසක් අමෙරිකානු භටයින් 100කට වැඩි ගණනක් මියගොස් අමෙරිකානු B29 බෝම්බ ප්‍රහාරක යානා 4ක් හා නෞකා දෙකක් විනාශ වුනා. ඔබාමාගේ කියුබානු සංචාරය ඓතිහාසික එකක් වන්නේ මෙම පසුබිම උඩයි.

2016 රියෝ ඔලිම්පික් උළෙලේ උසේන් බෝල්ට් 


2016 රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 අවසාන පූර්ව තරඟයකදී ඉදිරියෙන් සිටින උසේන් බෝල්ට් කැමරාව දෙස බලා සිනාසෙන්නට තරම් තරඟය පිලිබඳව විශ්වාසයකින් සිටි අයුරු.

යුවතියකගේ අධිෂ්ඨානය


ඡායාරූපයේ දැක්වෙන යුවතිය අමෙරිකානු ජාතික අයේෂියා එවෑන්ස්ය. කළු ජාතිකයෙකු පොලිස් වෙඩිපහරින් මියයාමට විරෝධය දැක්වීමට පැමිණි පිරිස අතර 28 හැවිරිදි ඉවාන්ස් ද වූ අතර අන් අය කැරලි මර්ධන හමුදාව ඉදිරියේ පසු බසිද්දී ඉවෑන් නිර්භයව ඉදිරියට ගොස් සිය විරෝධය ප්‍රකාශකොට අත් අඩංගුවට පත්වූවාය.

අභ්‍යවකාශයට පෙනුනු හිමකුණාටුව


ISS අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මේ ඡායාරූපය ගන්නා ලද්දේ අභ්‍යවකාශගාමී ස්කොට් කෙලී විසිනි. 2016 ජනවාරියේ ඇමරිකානු නැගෙනහිර වෙරළට පැමිණි දැවැන්ත හිම කුණාටුව අභ්‍යවකාශයට පෙනෙන තරමටද දැවැන්ත එකක් විය.

සිරියාවේ විලාපය


සිරියාවේ ඇලෙප්පෝ නුවරට එල්ලවුනු ගුවන් ප්‍රහාරයකින් මියගිය සොහොයුරා වෙනුවෙන් හඬාවැලපෙන සිරියානු දරුවෙක්. ඔහුගේ පියාද ගුවන් ප්‍රහාරයකින් මියගොස් සිටි අතර එදිනම ඔහුගේ මවද ගුවන් ප්‍රහාරයකින් මිය ගියාය.

පිලිපීනයේ ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේගේ මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධයේ ගොදුරක්


පිලිපීනයේ ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ සිය ජනපති සටනේදී පිලිපීනය වෙලාගෙන ඇති මත්ද්‍රව්‍ය වලට විරුද්ධව යුධ කරන බවට පොරොන්දුවූ අතර විශාල ජනවරමකින් ජනපති විය. දැන් ඔහුගේ මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය මහා ජන ඝාතනයක් බවට පෙරලී ඇත. පිලිපීනය පුරාම පොලීසිය මෙන්ම රජයේ සහයකයින්ද මත්ද්‍රව්‍ය චෝදනා ඇති ඕනෑම අයෙකු මරාදමන්නට පටන්ගෙන ඇති අතර මේ වනවිට 2000කට අධික සංඛ්‍යාවක් මරාදමා ඇත. මත් ද්‍රව්‍ය විරෝධී යුද්ධයේ ගොදුරු බවට පත්වන්නේ බොහෝවිට අහිංසකයින් බවට විදෙස් ජනමාධ්‍ය හා රාජ්‍යයන් ප්‍රකාශ කරන අතර මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ එලෙස ගොදුරක් වූ තරුණයෙකු වෙනුවෙන් පවුලේ සාමාජිකයින් හඬාවැලපෙන ආකාරයයි.

මුහුදේ අතරමංවූ සරණාගතයින්


සරණාගතයන් 220ක් සිටි මේ බෝට්ටුවේ ගමනේ වෙහෙසට මීයගියවුන්ද ගණනාවක් සිටියේය. මේ අවස්ථාවේ සහයට ඉදිරිපත්වූ ස්පාඥ්ඥ රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයින්ට මෙම සරණාගතයින්ට ජීවිතාරක්ෂක කබා සැපයීම පවා අපහසුවූයේ ඒවනවිටත් ජීවිතාරක්ෂක කබා 2500කට අධික සංඛ්‍යාවක් වෙනත් බෝට්ටුවල පැමිණි සරණාගතයන්ට ලබාදී කබා අවසන්වී ඇති බැවිනි. කුඩා දරුවන් සිටින මාපියන් සිය දරුවන් ඔසවාගෙන සිටියේ දැඩිලෙස පීඩාවට පත්වී සිටි සිය දරුවන් ඉක්මණින් බේරා ගනීවී යන බලාපොරොත්තුවෙනි.

කෑම පෝලිමේ සිටින සරණාගතයින්


වැහි කබා වලින් සැරසුණු සරණාගතයින් ආහාර සලාක පෝලිමට එකතුවී සිටින අයුරු දුඛිත චිත්‍රයක් මවාපායි.

ට්‍රම්පච්චිගේ ආගමනය



ඉතා අපහසු චන්ද සටනකින් පසු ජයගත් ට්‍රම්ප්, සිය මැතිවරණ ප්‍රචාණ වැඩසටහනේ එක් දිනකදී තමා වටා රොක්වුනු ජනකාය ඇමතීමට පුටුවකට නැගි අයුරු.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments