ශ්‍රී ලංකා පිතිකරුවන් නැවත වතාවක් වගකීම පැහැර හරියි

390

ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවත් අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (13) නිමාවට පත්වූයේ 3-0ක් ලෙසින් තරගාවලිය අවසන් කර ගැනීමට සිහින මවන දකුණු අප්‍රිකානුවන්ට හිතකර අයුරිනි. දකුණු අප්‍රිකානු තණතිලි වලට තවමත් හුරු නොවූ ශ්‍රී ලංකා පිතිකරුවන් තම කඩුලු නිකරුණේ පූජා කරමින් ඒ සඳහා මාවත සකස් කරදෙන බව මේ වනවිටත් පෙනී ගොස් තිබේ.

පසුගිය ලිපි: තම සියවැනි ටෙස්ට් තරගයේදී හෂීම් අම්ලාගෙන් ශතකයක්

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 338ක් ලබාගෙන ප්‍රබල ස්ථානයක සිටි දකුණු අප්‍රිකානුවන් අද ඉතාමත් පහසුවෙන් ලකුණු 500 පසුකර යනු ඇතැයි බොහෝදෙනා විශ්වාස කළද එය ඉටු කරගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද ඉඩ තැබුවේ නැත. ප්‍රථම ටෙස්ට් තරගයේ සිට මේ වනතෙක් පන්දු යැවීමේ ක්‍රමානුකූල දියුණුවක් සහ සංයමයක් ඇති කරගෙන සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද ලකුණු 88ක් තුලදී ඉතිරි දකුණු අප්‍රිකානු පිතිකරුවන් සත් දෙනාම නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය. හෂීම් අම්ලා තම සියවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් හතරේ පහර 16ක් සමගින් ලකුණු 134ක් රැස්කලේ තම 26වැනි ටෙස්ට් ශතකය ලෙසයි. ඔහුව දවා ගැනීම සඳහා දිනේෂ් චන්දිමාල් කඩුල්ල පිටුපස සිට සුපිරි උඩ පන්දුවක් රැක ගන්නට සමත් විය. කෙසේ වෙතත් අවසානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර සහ නුවන් ප්‍රදීප් කඩුලු 4 බැගින් බිඳ හෙලූහ.

ඊයේ දිනයේ අඳුරු මතකයන් සෑහෙන දුරකට අමතක කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද දිනයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූවත් එම සියලුම කරුණු කාරණා නැවතත් යටපත් කරමින් තරගයේ වාසිය දකුණු අප්‍රිකානුවන් වෙතම රැඳවීමට ශ්‍රී ලංකා පිතිකරුවන් ක්‍රියා කළහ. පිලිතුරු ඉනිම ලෙස ඔවුන් අද ලකුණු 80ක් රැස් කර ගැනීම සඳහා තම වටිනා කඩුලු 4ක් පූජා කළහ. දිමුත් කරුණාරත්න ප්‍රථම පන්දුවාරයේදීම ලකුණු නොලබාම දැවී යමින් ඒ සඳහා ආරම්භය ලබාදුණි.

කුසල් මෙන්ඩිස් පමණක් හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 41ක් රැස් කරමින් යම් සුබවාදී ඇරඹුමක් ලබා ගත්තද ඔහුටද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට හැකි නොවීය. මේ වනවිට ශ්‍රී ලංකා ඉනිම යම්තාක් දුරකට ගොඩ නැගීමට උත්සාහ දරමින් සිටින නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් නොදැවී පන්දුවට පහර දෙමින් සිටියි. වර්නන් ෆිලැන්ඩර් සහ කාගිසෝ රබාඩා කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

කෙසේ වෙතත් අද සවස් භාගයේ වොන්ඩර්ස් ක්‍රීඩාංගණයට අඳුර ගලා ඒමත් සමගින් තරගය දෙවැනි දිනය සඳහා නතර කරන්නට විනිසුරුවරුන් තීරණය කරන ලදී. ඒ වනවිට ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම සටහන් වූයේ ලකුණු 80කට කඩුලු 4ක් වශයෙනි. මේ වනවිටත් ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 6ක් පමණක් අතැතිව දකුණු අප්‍රිකානු ප්‍රථම ඉනිමට වඩා ලකුණු 346ක් පසුපසින් සිටින්නේ තරගයේ අවසන් තීරණය ශ්‍රී ලංකාවට එතරම් හිතකර නොවන බවට ඉඟි පළ කරමිනි.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 426 (පන්දුවාර 124.1) ජේ. පී. ඩුමිනි 155, හෂීම් අම්ලා 134, ක්වින්ටන් ඩි කොක් 34, ඩීන් එල්ගාර් 27, නුවන් ප්‍රදීප් 4/78, ලහිරු කුමාර 4/107.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 80 (පන්දුවාර 28.4) කුසල් මෙන්ඩිස් 41, කෞෂාල් සිල්වා 13, ඇන්ජෙලෝ මැතිව්ස් 11*, ධනංජය සිල්වා 10, වර්නන් ෆිලැන්ඩර් 2/23, කාගිසෝ රබාඩා 2/26.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට