NCC පරදා බදුරලිය ක්‍රීඩා සමාජය ජයග්‍රහණයේ සතුට සමරයි

962
SLC Premier League 2016/17 Tier A

දුවිඳු තිලකරත්නගේ සුපිරි පන්දුකරණයත්, පිතිකරුවන්ගේ වගකීම් සහගත ක්‍රීඩා විලාශයත් නිසා ප්‍රබල NCC කණ්ඩායමට එරෙහිව පෙරළිකාර ජයක් වාර්තා කිරීමට අද (13) බදුරලිය ක්‍රීඩා සමාජය සමත් විය. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ අද පැවැත්වුනු එකම තරගය සාර්ථක ලෙස නිමා කරමිනි.

පසුගිය ලිපි: බදුරලිය ක්‍රීඩා සමාජය පෙරළිකාර ජයක් ආසන්නයේ

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි NCC පිතිකරුවන් කඩුලු 9ක් දැවී ලකුණු 57ක් පමණක් ඉදිරියෙන් පසුවූයේ අද දිනයේ බදුරලිය ක්‍රීඩකයින් ලබන පූර්ණ තරග ජයග්‍රහණයක් පිලිබඳ ඉඟි පළ කරමිනි. අද උදෑසන NCC පිතිකරුවන් තම දෙවන ඉනිමේ නිමා කරමින් ලකුණු 239කට සියලුම පිතිකරුවන් දැවී ගියේ බදුරලිය පිළට ජයග්‍රහණය සඳහා ලකුණු 95ක පහසු ඉලක්කයක් හිමිකර දෙමිනි.

කඩුලු 3ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරාගත් බදුරලිය පිතිකරුවන් NCC පිළ පරදා කඩුලු 7ක පහසු ජයක් හිමිකර ගත්හ. ප්‍රථම ඉනිමේදී ලකුණු 86ක් රැස්කල නදීර නාවෙල දෙවැනි ඉනිමේදී ද අර්ධ ශතකය වාර්තා කරමින් බදුරලියේ ජයග්‍රහණය මුද්‍රා තැබීමට සමත් විය. එසේම වමත් දඟ පන්දු යවන ක්‍රීඩක දුවිඳු තිලකරත්න මෙම තරගය පුරාවට කඩුලු 11ක් බිඳ හෙලමින් බදුරලිය පිළේ සාර්ථකත්වය සඳහා පාර කැපීය.

මීට දින දෙකකට ඉහතදී මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බදුරලිය කණ්ඩායමේ නායක අලංකාර අසංක අවස්ථානුකූලව කටයුතු කරමින් NCC කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට කැඳවීමට තීරණය කළේය. ඒ අනුව මුලින් පන්දුවට පහර දුන් NCC පිතිකරුවන්ට සියලු දෙනාම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 185ක් පමණි. NCC ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනු දකුණත් පිතිකරු පවන් වික්‍රමසිංහ ලකුණු 42ක් රැස් කළේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බදුරලිය පිතිකරුවන් ශක්තිමත් පිතිකරණයක් පෙන්නුම් කරමින් ලකුණු 330ක් ලකුණු පුවරුවේ සටහන් කිරීමට සමත් විය. ඒ වෙනුවෙන් නදීර නාවෙල සහ ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 86 බැගින් රැස් කරන ලදී. සමස්ථයක් වශයෙන් බදුරලිය ක්‍රීඩකයින් සමස්ථ තරගය පුරාවට තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වූ අතර ඒ හේතුවෙන්ම ඔවුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් සමගින් මෙම තරගය කෙලවර කර ගැනීමට හැකි විය

NCC (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 185 (පන්දුවාර 44.4) පවන් වික්‍රමසිංහ 42, තිමිර ජයසිංහ 41, දුවිඳු තිලකරත්න 6/78.

බදුරලිය ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 330 (පන්දුවාර 85.5) ශෙහාන් ප්‍රනාන්දු 86, නදීර නාවෙල 86, සහන් විජේරත්න 79, ඉමාල් ලියනගේ 27, තරිඳු කෞෂාල් 5/86, චතුරංග ද සිල්වා 4/139.

NCC (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 239 (පන්දුවාර 55.4) පවන් වික්‍රමසිංහ 41, තරිඳු කෞෂාල් 41, ලහිරු උදාර 34, නිමේෂ ගුණසිංහ 30, චතුරංග ද සිල්වා 27,  දුවිඳු තිලකරත්න 5/81, අලංකාර අසංක 3/84.

බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 96 (පන්දුවාර 15.3) නදීර නාවෙල 51*, ප්‍රමුද් හෙට්ටිවත්ත 15, ඉමාල් ලියනගේ 13, චතුරංග ද සිල්වා 2/37.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට