Followers

Thursday, January 12, 2017

පියාපත් ලැබී . . . 24


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිහතරවෙනි කොටස . . .

" අපි යමු අසිත. " නාරද යලිත් කීවේය.

"  පුංචි බේබී . . . අනේ මහත්තයා. අනේ පුංචි බේබී . . . ඉක්මනට එන්න . . . " ගෙතුලින් මහත් හඬින් මේරි අම්මා කෑගැසුවාය.

" ඇයි මේරි අම්මා ඇයි . . . . " පාරමී දුව ගියාය.

" අනේ පුංචි බේබි, ලොකු මහත්තයා මම එනකොට පඩිපෙළ ලඟ වැටිලා හිටියා. "

" තාත්තා. තාත්තා . . . . " පාරමීද මහ හඬින් කෑගැසුවාය.

" ඇයි මේ ඇයි . .  සර් කතාකරන්න සර් " නාරදත් අසිතත් ඔසවාගෙන පැමිණ දසනායකව සෙටියක් උඩින් තැබුවේය.

" ටක් ගාලා වතුර එකක් ගේන්න අසිත. " ගෙතුළට දිවගිය අසිත විගසින් වතුර වීදුරුවක් ගෙනාවේය. වතුර බිඳු මුහුණට ඉස්සත් දසනායකගෙන් ප්‍රතිචාරයක් නැත.

" නාරද අපි හොස්පිටල් අරන් යමු. " 

" අනේ මගේ තාත්තට මොකද නාරද " පාරමී කදුළු පුරෝගෙන ඇසුවාය.

" අපි හොස්පිටල් අරන්යමු. අසිත වෙහිකල් එක ගන්න මම සර්ව උස්සගෙන එන්නම්. " නාරද දසනායකව දෝතින්ම ඔසවා ගත්තේය. ඔසවාගෙනවිත් පසුපස අසුනේ සෙමෙන් ඔහුව තැබුවේය. 

"මේරි අම්මයි පාරමී මිසුයි ගෙදර ඉන්න අපි ගිහින් එනකන්. "

" බෑ බෑ මාත් එනවා . . " පාරමීත් පසුපස අසුනට ගොඩවුණාය. නාරද දසනායකගේ හිස ඔඩොක්කුවේ තබාගත්තේය. අසුනේම අයිනක පාරමීත් හඬමින් උන්නාය.

" අපි ඉක්මනට යමු අසිත අයියේ. අනේ මගේ තාත්තා . . . එයා කාටවත් වරදක් කරලා නෑ. අනේ තාත්තේ කතාකරන්නකෝ. අනේ නාරද ඇයි තාත්තා කතා කරන්නේ නැත්තේ . . "

නාරද පාරමීගේ අතින් අල්ලාගත්තේය.

" බය නැතිව ඉන්න. තාත්තට මුකුත් වෙන්නේ නෑ. " නාරද පාරමී අස්වැස්සුවාය.

" අපි කොහෙටද යන්නේ නාරද " අසිත ඇසුවේය.

" අපි යමු ඩොක්ටර් වික්‍රමසිංහ ලඟට. පාරමී ඩොක්ටට කතාකරන්න. " ඔයා ලඟ නම්බර් එක තියෙනවා නේද ? "

ඔවු කියූ පාරමී දුරකතනය නාරද අත තැබුවේය.

" හෙලෝ ඩොක්ටර් වික්‍රමසිංහ. මම කතාකරන්නේ අර දවල් ඩොක්ටර් හම්බවෙන්න ආවේ මිස්ටර් දසනායකත් එක්ක ආපු නාරද. මිස්ටර් දසනායකට පොඩ්ඩක් අමාරු වුණා. ඩොක්ටර් ඉන්නවා නේද ? "

" ඔවු, ඔවු. ඉන්නවා. පුළුවන් ඉක්මනට ලෙඩා අරන් එන්න. "

" හරි ඩොක්ටර් හරි. අපි මග ඉන්නේ. ඉක්මනින් එන්නම්. "

අසිත වාහනය හැකිතරම් වේගයෙන් පැදවූයේය. ඩොක්ටර් වික්‍රමසිංහගේ පෞද්ගලික රෝහලවෙත යනවිට ඔහු සියල්ල ලකලෑස්ති කොට තිබුණි. රෝහලේ කාර්යමණ්ඩලය රෝහලේ දොරකඩදීම රෝගීයාට ප්‍රතිකාර කිරිමට පටන්ගත්තේය. ඩොක්ටර් වික්‍රමසිංහ ලෙඩාගේ තත්වය පරික්ෂා කරමින් අවශ්‍ය නියෝග දෙමින් ශල්‍යගාරය වෙත රෝගියාව රැගෙන ගියේය.

" ඕගොල්ල ඔතනින් නවතින්න. " නර්ස් කෙනෙක් කාරුණිකව පැවසුවාය.

" බයවෙන්න එපා මිස් පේශන් ගැන සේරම අපි බලනවානේ. මිස් බයනැතිව ටිකක් රිලැක්ස් වෙන්නකෝ. "

පාරමී නාරදගේ අතේ එල්ලීගෙන දසනායකව රැගෙන ඇතුළුවුණු කාමරය දෙසම බලාසිටියාය. ඇයට ඉකිබිඳුනි. නාරදගේ මුළු හිතම කඩාවැටී තිබුණි. අඬන්නෙපා කියා තුරුළුකර සනසවන්න සිතුනත් නාරද තම හැඟීම් පාලනය කරගත්තේය.

" අනේ නාරද " පාරමී ඉකිගැසුවාය.

" අඬන්න එපා. ඔයාගේ තාත්තට මුකුත් වෙන්නේ නෑ. බයනැතිව ඉන්න. නාරද පාරමීගේ අත මිරිකමින් කීවේය. " පාරමී තම ඇඟට වාරුවී හඬමින් සිටියි. අසිත වාහනය පාක්කර පැමිණියේය.

" මොකද නාරද වූනේ. . . "

" ඇතුලට ගත්තා. තාම මුකුත් කිව්වේ නෑ. " 

" නාරදගේ අත බදාගෙන හඬන පාරමී දුටු අසිතට කුමක් කියා සනසවන්න දැයි සිතාගත නොහැකි වුණි. නාරද හෙමින්සැරේ පාරමීව ලඟතිබූ පුටුවක ඉන්දවුවේය. ඉන්පසු දෙදෙනාම පාරමීගෙන් මදක් එහාට විත් කාතා කළේය.

" මොකද බං එකපාරටම මිස්ටර් දසානායකට වුනේ. " අසිත ඇසුවේය. 

නාරද ඩොක්ටර් වික්‍රමසිංහව හමුවුණු තැන පටන් සියලු තතු අසිතට කීවේය.

" හත් ඉලව්වයි. දැං අපි මොකද කරන්නේ. " අසිත ඇසුවේය.

" මචං මෙයාලගේ ෆැමිලි එකේ කියන්න ඕන කවුරුහරි ඉන්නවද දන්නේ නෑ නේද ? "

" ඒක නේන්නම්. අපි කාවවත් දන්නෙත් නෑ . . " සුසුමක් හෙලු නාරද හෙමින් හෙමින් පාරමීට කිට්ටුකලේය. ඇය හිස ඔඩොක්කුවේ ගසාගෙන හඬමින් සිටියි. 

" පාරමී මිස්. " නාරද සෙමෙන් කතාකළේය.

" පාරමී . . . " නාරද යලිත් කතා කළේය. පාරමී ඔළුව උස්සා ඉකිගසමින් නාරද දෙස බැලුවාය. 

" මේ වෙලාවේ ඔයා ඔහොම දුර්වල වෙලා හරියන්නේ නෑ. බය නැතිව ඉන්න. ඩොක්ටර්ස්ලා ඉන්නවනේ. " නාරද පාරමීව අස්වසන්න වෙරදැරුවේය. නමුත් පාරමීගේ හැඬිම තවටිකක් වැඩිවුණා මිස අඩුවීමක් නොවුණි.

" අපිට තාත්තා ගැන කියන්න කවුරු හරි නෑදෑ කෙනෙක් එහෙම ඉන්නවද ? නැත්නම් කිව්වේ නෑ කියලා ප්‍රශ්ණයක් වේවිනේ. "

" නෑ නාරද. කවුරුත් නෑ. තාත්තගේ නෑවෙන කාවවත්ම මම ගොඩකාලෙකින් දැකලවත් ආශ්‍රයකරලාවත් නෑ. "

" එතකොට අම්මගේ . . " නාරද ඇසුවේය.

" එයාලා අපි එක්ක තරහයි. අම්මා නැතිවුනේ තාත්තව බැන්ද නිසා කියලා ඒ අය අපිත් එක්ක තරහකින් ඉන්නේ. "

" හ්ම්. එහෙනම් අපි තාත්තව බලාගමු. "

පාරමී කදුළු පිරුණු දෑසින් නාරද දෙස බැලුවාය.

" ඔයාලට ගොඩාක් පිං . . . " පාරමී දෑත් එක්කොටගෙන නාරදත් අසිතත් දෙදෙනා දෙසම බලාගෙන ඉකිගැසුවාය.

" මිස්ටර් නාරද . . " ඩොක්ටර් වික්‍රමසිංහ ලඟට විත් කතාකළේය.

" මට කියනවද මිස්ටර් දසනායකට මොකද වුණේ කියලා. "

" දන්නේ නෑ ඩොක්ටර් හදිස්සියේම වැඩට ඉන්න මනුස්සයා කෑ ගහන සද්දෙට ගිහින් බැලුවම මිස්ටර් දසනායක පඩිපෙළ ලඟ වැටිලා හිටියා. එච්චරයි අපි දන්නේ. "

" හ්ම් . . වෙලාවට ඔළුව කොහෙවත් වැදිලා නෑ. එයාට ශොක් එකක් දැනෙන්න විදියක් නෑ නේද පාරමී මිස්. " ඩොක්ටර් වික්‍රමසිංහ නාරදත් පාරමීත් දෙස මාරුවෙන් මාරුවට බලමින් ඇසුවේය. 

" එහෙම දෙයක් නම් වෙන්න විදියක් නෑ ඩොක්ටර් තාත්තා අපි තුන්දෙනාම එක්කම කතා කර කර ඉඳලයි ගේ ඇතුලට ගියේ. "

" හ්ම්. ලෙඩාට ෆස්ට් ඇටෑක් එක ඇවිත් තියෙන්නේ. ඔයාලා මේ පේශන්ව ගේන්න තව ටිකක් වෙලා ගියානම් සමහරවිට ටිකක් බරපතල වෙන්න ඉඩතිබුණා. බට්, දැන් සේරම නෝමල්. තව පැයබාගයක් පැයක් යනකොට ලෙඩාව රූම් එකට දාන්න පුළුවන්. කවුරු හරි ඇවිත් ලෙඩාගේ ෆෝම්ස් ටික පුරවලා දෙන්න. " ඩොක්ටර් වික්‍රමසිංහ කීවේය.

" තැන්ක් යූ ඩොක්ටර්. " පාරමී ගෞරව පුර්වකව කීවාය.

" ඔයාලට පුළුවන් ඕනනම් ගෙදර ගිහිල්ලා උදේට එන්න. මොකද කොහොමත් රූම් එකට දැම්මත් මිස්ටර් දසනායක නිදාගනියි. එයාට නින්ද යන්න බේත් දීලා තියෙන්නේ. "

" හොඳයි ඩොක්ටර් අසිත පැවසුවේය.

ඩොක්ටර් වික්‍රමසිංහ නලාවත් කරේ දමාගෙන කොරිඩෝව දිගේ ඇවිදගොස් නොපෙනී ගියේය.

" අපි ගෙදර ගිහින් උදේට එමු නේද පාරමී මිස්. " නාරද ඇසුවේය.

" බෑ නාරද මට තාත්තව බලන්න ඕන. " පාරමී කීවාය.

" කියනදේ අහන්නකෝ. අපි දැන් යමු. ගිහින් උදේම මම ඔයාව එක්කන් එන්නම්. "

" බෑ නාරද තාත්තා තනියම මෙතන. මම ඉන්නම් ලඟට වෙලා. පාරමී අයදිමින් කීවාය. "

" මම කියනදේ අහන්නකෝ. මෙහෙ තාත්තගේ හැමදෙයක්ම බලාගන්න ඩොක්ටර්ස්ලා ඉන්නවා. බයවෙන්න දෙයක් නෑනේ. ඔයා දැන් නිදිමරලා හෙට උදේට ඇස් රතු කරගෙන මූණ මලානික කරගෙන  ඉන්නකොට තාත්තට දුක හිතෙයි නේද මිස්. ඒ හින්දා අපි ගිහින් උදේට එමු. හොඳ ළමයා වගේ අපි යමු. ගිහින් එමු "
පාරමීට නාරදට අවනත නොවී සිටිය නොහැකිවිය.

" අපි යමු අසිත " නාරද පැවසුවේය.

" යමු. "

වාහනය වෙත යන අතර තිදෙන අතර කතාබහක් නොවුනි. තිදෙනාම තම තමන්ගේ සිතුවිලි අතර සිරවී සිටියෝය. වාහනය අසලට පැමිණිපසු අසිත කටහඬ අවදිකලේය.

" නාරද පාරමී මිස්ව අද ගෙදර තනියම තියන්න බෑ නේද ? "

" ඒකමයි මේ මාත් හිතුවේ අසිත. මට නවතින්න බැරිකමක් නෑ. ඒත් හෙට වැඩටික සේරම මම අරගෙන ආවේ. ඉතින් ඒටික අඩුපාඩු බලලා අරගෙන යන්න වෙනවා. නැත්නම් ගැටළුවක් නෑ. "

" ඕන නෑ. ඕන නෑ. ඔයාලා මේ කරදර වුණා හොඳටම ඇති. අපිට තනියක් නෑ. මේරි අම්මටයි මටයි හිටියහැකි. " 

" නෑ කමක් නෑ. මම ඉන්නම් අසිත. මම උඹව ගෙදරින් දාගෙන යන්නම්. "

" මම එහෙනම් උදේට ඔෆිස් එකට ගිහින් හොස්පිටල් එකට එන්නම්. නාරද ඩ්‍රයිව් කරන්න. මම පස්සට යන්නම්. මම මගින් බහිනවනේ. එන්න මිස් නගින්න ඉස්සරහින්. " යතුර නාරද අතට විසිකළ අසිත පාරමීව ඉදිරි අසුනට නැග්ගුවේය. පාරමීට ඉඳහිට ඉකිගැසුනත් එය සගවාගන්න ඈ වෙර දැරුවාය. නමුත් පාරමී ලඟින්ම හුන් නාරදගෙන් එය සඟවා ගැනීමට ඕ අපොහොසත් විය. නාරද හෙමින් සිරුවේ වාහනය මහ මගට ගෙන නාවල දෙසට දාවනය කළේය. අසිතගේ නවාතැන්පළවෙත පැමිනෙන අතර සැවොම නිහඬව පසුවුවෝය. නාරදගේ ගතට වඩා සිතට අපමණ වෙහෙසක් දැණුනි. කිසිදාක යුවතියක් තමන් ලඟ මේතරම් අසරණව හිඳ නැත. " පවු තවත් ඉකිගහනවා. නාරද සිතුවේය.

" මාව ඔතනින් දාපන් නාරද. " අසිත තම නිවසට හැරෙන පාර ලංවෙත්ම කීවේය.

" එපා එපා මඟ දාන්න. අපි ගෙදරටම බස්සලා යමු. " පාරමී කීවාය. 

" නෑ එපා ඔතනින් දැම්මහම ඇති මිස්. ඇතුළට දාලා ආයෙත් හරවගන්න දඟලන්න එපෑ. මට මෙතන ඉඳන් පොඩ්ඩ දුරයි. " වාහනය නැවතූ පසු අසිත කීවේය.

" ඔයාට ගොඩක් පිං අසිත අයියා. අපිට මේ කරපු උදව්වට. "

" ඒවා ගැන හිතන්න එපා මිස් අපි අද මෙහෙම ඉන්නේ මිස්ටර් දසනායක නිසා. මිස්ටර් දසනායක වෙනුවෙන් අපි ඕන දෙයක් කරනවා. " අසිත පාරමීට පැවසුවේය.


" තෑන්ක්ස් අයියා. "   

" නාරද හෙමින් ඩ්‍රයිව් කරපන්. මොකද අපේ පාරමී මිස්ගෙන් කම්ප්ලේන්ස් හොඳද . . " පාරමී සිනාසුනාය.

" නෑ .. නෑ මම විහිලුවට කිව්වේ අසිත අයියා. නාරද එදා මාව පරිස්සමින් එක්කගෙන ආවා. " පාරමී නාරදගේ දෑස් දෙස එබී බැලුවාය.

" හරි. හරි .. දෙන්නම පරිස්සමින් ගිහින් එන්න. හැබැයි මේරි අම්මත් බයවෙලා ඇති දැන්. කල්පනාවෙන්, ඉක්මනට යන්න. හොඳේ . . . "


" හරි බං. " නාරද සිනාසෙමින් හිස වැනුවේය.

" පාරමී මිස්, ඔය නාරදගේ අත බලාගෙන. එහෙමෙහෙ කරන්න බැරි නෑ. . .  "

අසිත කියන කතා වලට පාරමී හිනැහුනාය. එහෙත් නාරදගේ හිතට අපමන ලැජ්ජාවක් දැනුනි.

" බැහැපං. බැහැපං. . . විකාර කියවනවා. " නාරද අසිතට එරෙවුවේය. මේයකා මොන මගුලක් කියවනවද මන්දා. නාරද හිතින් අසිතට නෑදෑ පරපුරම සිහිකොට තබාගෙන ඇමතුවේය.

පාරමී හිනැහුනා මිස කිසිවක් නොකීවේ සතාගේ හැටි හොඳහැටි දන්නා නිසාය. කියන වචනයක් වත් වැරදුනොත් වසලා හමාර බව ඈ දනී. ඒ අසිතගේ හැටිය. අසිතව බැස්සූ පසු නාරද තම බෝඩිම බලා වාහනය පැදවූවේය.

" පුදුම පිස්සෙක් මූ . . " නාරද සෙමෙන් ඇසෙන නෑසෙන ගානට කීවේය.

" කවුද දන්නේ, ඇත්තද කියලා  කියපුවා. අපි දන්නේ නෑනේ. " පාරමී බිම බලාගෙන හිනැහුනාය.

" අනේ මම එහෙම නෑ මිස්. "

නාරද අහිංසක ලෙස පාරමී දෙස බලා සිටියේය.





. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට . . .