බදුරලිය ක්‍රීඩා සමාජය පෙරළිකාර ජයක් ආසන්නයේ

561
SLC Premier League

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරඟ මාලාවේ NCC සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරඟයේ දෙවැනි දිනය අද (12) නිමාවට පත්විය. එහිදී ඊයේ දිනයේ දුවිඳු තිලකරත්නගේ සුපිරි පන්දු යැවීම හමුවේ ප්‍රථම ඉනිමේ ජය තහවුරු කරගත් බදුරලිය ක්‍රීඩා සමාජයට හෙට දිනයේදී පූර්ණ තරඟ ජයග්‍රහණයක් ලබා ගැනීමට අවස්ථාව උදාවී ඇත.

පසුගිය ලිපි: දුවිඳුගේ දඟ පන්දුව ප්‍රබල NCC කණ්ඩායමට අභියෝගයක් වෙයි

ඊයේ දිනය සඳහා තරඟය නතර කරන විට ලකුණු 185ක් ලෙස සටහන් වූ NCC ප්‍රථම ඉනිම හඹායමින් සිටි බදුරලිය පිතිකරුවන් කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 187කි. එය අද තව දුරටත් ඉහළ නංවා ගනිමින් තම ප්‍රථම ඉනිමේ ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 330ක් ලකුණු පුවරුවේ සටහන් කරන්නට බදුරලිය පිතිකරුවන් සමත් විය.

ඒ වෙනුවෙන් ශෙහාන් ප්‍රනාන්දු සහ නදීර නාවෙල ලකුණු 86 බැගින් රැස් කරමින් තම උපරිම දායකත්වය දක්වන ලදී. නදීරගේ ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 2කින් අලංකාර විය. දකුණත් පිතිකරු සහන් විජේරත්න හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 79යි. දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල් කඩුලු 5ක් දවාලමින් නැවතත් NCC පිළ තරගයට අවතීර්ණ කරන්නට ප්‍රබල උත්සාහයක් ගත් නමුත් NCC පිතිකරුවන් ඊයේ දිනයේදී අඩු ලකුණු ගණනකට දැවී ගොස් තිබීම නිසා එම වෑයම එතරම් සාර්ථක වූයේ නැත.

ලකුණු 145ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ NCC පිතිකරුවන් දෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 9ක් දැවී ලකුණු 202ක් ලබා සිටින්නේ හෙට දිනයේදී හිමිවිය හැකි තරඟ පරාජයක දැඩි අවදානමක් ද සමඟිනි. ඔවුන් මේ වන විට එක් කඩුල්ලක් අතැතිව බදුරලිය ප්‍රථම ඉනිමට වඩා ඉදිරියෙන් පසුවන්නේ ලකුණු 57ක් පමණි. NCC කණ්ඩායම මෙම තරඟය තුල නොසිතූ අන්දමින් පසුපසට ඇඳ දැමීමට සමත් වූ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක දුවිඳු තිලකරත්න දෙවැනි ඉනිමේදී ද ලකුණු 68කට කඩුලු 5ක් දවාලීය. මේ වන විට ඔහු තරඟය පුරාවට ලකුණු 146ක් ලබාදී සිය දඟ පන්දුවෙන් NCC පිතිකරුවන් 11 දෙනෙකු මෙල්ල කිරීමට සමත්ව සිටියි.

NCC (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 185 (පන්දුවාර 44.4): පවන් වික්‍රමසිංහ 42, තිමිර ජයසිංහ 41, දුවිඳු තිලකරත්න 6/78.

බදුරලිය ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 330 (පන්දුවාර 85.5): ශෙහාන් ප්‍රනාන්දු 86, නදීර නාවෙල 86, සහන් විජේරත්න 79, ඉමාල් ලියනගේ 27, තරිඳු කෞෂාල් 5/86, චතුරංග ද සිල්වා 4/139.

NCC (දෙවන ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 202 (පන්දුවාර 45): පවන් වික්‍රමසිංහ 41, ලහිරු උදාර 34, නිමේෂ ගුණසිංහ 30, චතුරංග ද සිල්වා 27, තරිඳු කෞෂාල් 24*, දුවිඳු තිලකරත්න 5/68, අලංකාර අසංක 2/65.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට