දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී අද (12) ආරම්භ වුනු ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය, දකුණත් පිතිකරු හෂීම් අම්ලාට සුවිශේෂ තරඟයක් බවට පත්විය. ඒ ඔහු සහභාගි වන සියවන ජාත්‍යන්තර ටෙස්ට් තරඟය එය වූ බැවිනි. තාක්ෂණයත්, සංයමයත් මැනවින් කැටිවුනු 33 වියැති මෙම සුපිරි පිතිකරුවා අද තම සියවැනි ටෙස්ට් තරඟයේ සතුට සැමරුවේ නොදැවී ශතකයක් වාර්තා කරමිනි.

අද උදෑසන කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩූ ප්ලෙසිස් මුලින් පන්දුවට පහර දීම තමන් සතුකර ගත්තේ වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යාමට හැකියාවක් ඇති තම පිතිකරණ බලඇණිය පිලිබඳ විශ්වාසය තබමිනි. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වෙනස්කම් දෙකක් අද සිදුකර තිබූ අතර හැම්ප්ෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කිරීමට ගිවිසුම්ගතව ඇති කයිල් ඇබට් වෙනුවට වේන් පානෙල් ද, කේශව් මහරාජ් වෙනුවට පුහුණු තරඟයේ දී කඩුලු 4ක් බිඳ හෙලූ වේග පන්දු යවන ක්‍රීඩක ඩුවාන් ඔලිවියර් ද කැඳවා තිබුණි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරගාවලිය පරාජය වී තිබුන ද මෙම තරඟයේදී කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු කර නොතිබුනේ මුල් වරට සංචිතයට නම් වුනු වේග පන්දු යවන ක්‍රීඩක විකුම් සංජයට ටෙස්ට් වරම් හිමිවීම තවදුරටත් පමා කරමිනි.

නවක ක්‍රීඩක තික්ෂිල ද සිල්වා විස්සයි 20 සංචිතයට

දකුණු අප්‍රිකාව සමඟ මීළඟ සතියේදී පැවැත්වීමට නියමිත තරඟ තුනකින් යුත් 20-20 තරඟාවලිය සඳහා සහභාගී වන පහළොස්දෙනෙකුගෙන් යුත් සංචිතය.

වැඩි ඉල්පීමක් සහ හොඳ වේගයක් සහිත වොන්ඩර්ස් තණතීරුවේ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා පරීක්ෂාකාරී ලෙස ඉනිම ආරම්භ කළත්, අද ඔවුන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යාමට හැකි  නොවීය. ස්ටීවන් කුක් ලකුණු 10ක් ලබා සිටියදී මැතිව්ස් පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර ලහිරු කුමාරගේ සුරතින් ගිලිහී අනපේක්ෂිත ලෙස ඉහළ නැගුණු පන්දුවක් හේතුවෙන් ලකුණු 27ක් ලබා සිටි ඩීන් එල්ගාර්ට පිටිය හැර යාමට සිදුවිය.

ඒ වන විට ලකුණු 45ට කඩුලු 2ක් ලෙස සටහන් වුනු දකුණු අප්‍රිකානු ප්‍රථම ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට මැදපෙළ පිතිකරුවන් ලෙස කටයුතු කරන හෂීම් අම්ලා සහ ජේ. පී. ඩුමිනි අද සමත් විය. ඒ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 292ක සබඳතාවයක් පවත්වමිනි. ජේ. පී. ඩුමිනි අද හතරේ පහර 19ක් සමඟින් ලකුණු 155ක් වාර්තා කළේ මේ වනතෙක් දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

හෂීම් අම්ලා නිවැරදිව කාලය මැන, පිටියේ හිදැස් අතරින් එල්ල කල දැකුම්කළු හතරේ පහර 16ක් සමඟින් නොදැවී ලකුණු 125ක් වාර්තා කළේය. ඔහුගේ මෙම සුපිරි ඉනිම හේතුවෙන් තම සියවැනි ටෙස්ට් තරඟයේදී ශතකය වාර්තා කර තිබූ ටෙස්ට් පිතිකරුවන් සත්දෙනා අතරට එක් වන්නට ඔහුට අවස්ථාව උදාවිය. ඔහුගේ පිත්තෙන් අද වාර්තා වූයේ ස්වකීය ටෙස්ට් දිවියේ 26වැනි ශතකයයි. දිවා විවේකයට පන්දුවාරයක් ඉතිරිව තිබියදී ලකුණු 5ක් ලබා සිටි අම්ලා ලබා දුන් උඩපන්දුව ගලි කලාපයේ සිටි ධනංජය සිල්වා අතින් ගිලිහී යෑම ශ්‍රී ලංකා කණ්ඩායමට මරු පහරක් බවට පත්විය.

දිනය අවසන් වීමට තවත් පන්දුවාරයක් ඉතිරිව තිබියදී ක්‍රියාත්මක වුනු ලහිරු කුමාර දැවැන්ත ලකුණු සබඳතාවයක නිමාව සනිටුහන් කරමින් ජේ. පී. ඩුමිනිව දවා ගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ස්ලිප් කලාපයේ සිට දක්ෂ උඩපන්දුවක් රැක ගනිමින් ආධාර විය. ඉන් අනතුරුව රාත්‍රී රැකවලා ලෙස පිටියට පිවිසුණු ඩුවාන් ඔලිවියර් පන්දු හතරකට මුහුණ දුන් අතර එහිදී තම ලකුණු ගිණුම ආරම්භ කිරීමට ඔහුට හැකි වූයේ නැත. පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 79කට කඩුලු 2ක් බිඳ හෙලීය. මෙම තරගය මේ වන විටත් ශ්‍රී ලංකා පිළෙන් සෑහෙන තරම් ඈතට ඇදී ගොස් ඇති නිසා තරගය බේරා ගැනීමට නම් ඉදිරි දිනයන් හිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සුපිරි දක්ෂතා අතරට පැමිණීමට අවශ්‍ය වී තිබේ.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 338 (පන්දුවාර 90):. පී. ඩුමිනි 155, හෂීම් අම්ලා 125*, ඩීන් එල්ගාර් 27, ස්ටීවන් කුක් 10, ලහිරු කුමාර 2/79, ඇන්ජෙලෝ මැතිව්ස් 1/25.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට