දුවිඳුගේ දඟ පන්දුව ප්‍රබල NCC කණ්ඩායමට අභියෝගයක් වෙයි

614
SLC Premier League

ප්‍රසාද ලකුණු සටහනේ තමන්ට වඩා ඉහළින් පසුවන NCC කණ්ඩායමට එරෙහිව ප්‍රථම දිනයේදීම සැලකිය යුතු තරමේ දස්කම් දැක්වීමට අද (11) බදුරලිය ක්‍රීඩා සමාජය සමත් විය. ඒ අද ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවති එකම තරගයට සහභාගි වෙමිනි.

පසුගිය ලිපි: නවක ක්‍රීඩක තික්ෂිල ද සිල්වා විස්සයි 20 සංචිතයට

අද උදෑසන කළුතර සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනාගත් බදුරලිය කණ්ඩායමේ නායක අලංකාර අසංක අවස්ථානුකූලව කටයුතු කරමින් NCC කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට කැඳවීමට තීරණය කළේය. ඒ අනුව මුලින් පන්දුවට පහර දුන් NCC පිතිකරුවන්ට සියලු දෙනාම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 185ක් පමණි. NCC ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනු දකුණත් පිතිකරු පවන් වික්‍රමසිංහ ලකුණු 42ක් රැස් කළේය. තිමිර ජයසිංහ ලකුණු 41යි. තම වමත් දඟ පන්දුවෙන් අද NCC පිතිකරුවන් මෙල්ල කල දුවිඳු තිලකරත්න අද ලකුණු 78ට කඩුලු 6ක් දවාලීය. ඔහුට අනගි සහයක් ලබා දුන් නායක අලංකාර අසංක කඩුලු 3ක් බිඳ හෙලීය.

ප්‍රබල NCC පිතිකරණ ලැයිස්තුව අඩු ලකුණු ගණනකට සීමා කරමින් ධනාත්මක මානසිකත්වයකින් පිතිකරණය ආරම්භ කල බදුරලිය ක්‍රීඩකයින් ප්‍රථම දිනයේදීම NCC ප්‍රථම ඉනිම අභිබවා යන්නට සමත් විය. ඒ අනුව දිනය නිමා වනවිට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 187ක් ලබා ගනිමින් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ස්ථිර කර ගැනීමට සමත්ව සිටිති.

බදුරලිය ඉනිම ගොඩනැගූ දකුණත් පිතිකරු ශෙහාන් ප්‍රනාන්දු හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 85ක් රැස් කළේය. ඔහු අද පන්දුවට පහර දුන් ආකාරය අනුව ශතකයක් කරා යෑමට සියලු කරුණු කාරණා සැකසී තිබියදී තිමිර ජයසිංහගේ පන්දු රැකීමේ දක්ෂතාවය නිසා ඔහුට පිටිය හැර යන්නට සිදුවිය. මේ වනවිට බදුරලිය ඉනිම NCC ක්‍රීඩකයින්ට අභියෝගයක් වන තරම් දුරකට රැගෙන යමින් සිටින නදීර නාවෙල නොදැවී ලකුණු 48ක් ලබාගෙන සිටියි. NCC පිළ වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ එකම පන්දු යවන්නා වන චතුරංග ද සිල්වා කඩුලු 2ක් බිඳ හෙලීය. ප්‍රථම ඉනිමේදී දැක්වූ අසාර්ථකත්වය නිසාම NCC ක්‍රීඩකයින්ට නැවතත් තරගයට පිවිසීමට නම් ඉදිරි දිනයන් දෙකේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සිදුවනු ඇත.

NCC (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 185 (පන්දුවාර 44.4): පවන් වික්‍රමසිංහ 42, තිමිර ජයසිංහ 41, ඇන්ජෙලෝ පෙරේරා 32, තරිඳු කෞෂාල් 21, ලහිරු ඉගලගමගේ 16, දුවිඳු තිලකරත්න 6/78.

බදුරලිය ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 187 (පන්දුවාර 43): ශෙහාන් ප්‍රනාන්දු 86, නදීර නාවෙල 48*, සහන් විජේරත්න 24*, ඉමාල් ලියනගේ 27, චතුරංග ද සිල්වා 2/69.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට