Tuesday, January 10, 2017

2කොටස - මිතුරන් සහ අතීතය



පළවෙනි කොටස මෙතනින් බලන්න

“මයෙත් හිතට මහා බරක් අයිය මේව නං.
දැං බලහං උඹලෑ පවුලෙ අම්ම අප්ප අරි යහතින් ඉන්නව. මයෙ
රත්තරං අම්ම අප්ප අකාලෙ පරලෝ ගියා. මගෙ අන්නා, ඌත් ඌරු තුවක්කුවකට අහුවෙලා පිටගැස්ම හැදිල ඒත් පරලෝ ගියා...
මාත් අරියට උඹලෑ අර බණපොත් වල ඉඳපු ළමයි ටිකයි මිනිහයි නැති වෙච්චි ගෑණි වගේ බං!”  පෙරියපුල්ලේ බිඳුණු හඬකින් පැවසීය.


ගිණිමැලයෙහි උණුසුම පැරදීමට මෙන් කළපුවේ ලුණු මිශ්‍ර සිසිල් සුලං දහරාවෝ වාඩියේ දොරකඩට කඩාවැදී, රිද්මයානුකූල කිරි කිරි හඬක් නගමින් පාවී යන්නට වූහ. ඈත හිස් අහස දෙස උපේක්ශාවෙන් බලාසිටින විමලෙ අයියාගේත් පෙරියපුල්ලේ ගේත් කාලවර්ණ සිරුරු වල සේයාව කළපු රැළි සමඟ මිශ්‍රව ඈතට දිව යන්නාක් මෙන් පෙනෙන්නට විය.


“ඈ බං! අර ඈත කළුවට කළුවෙ දුවන් එන්නෙ ලකිය නේද…”  
විමලෙ අයියා සිනහසෙමින් පැවසීය.
ලකී යනු පෙරියපුල්ලේ තම නිවසේ සුරතලයට ඇති කරන බැල්ලයි. අඟුරුවන් පාට ඌ කෙරෙහි පෙරියපුල්ලේ දැක්වූයේ ඉමහත් සෙනෙහෙකි.


“ආ.. ඉඳා කාපිය !”
බැදුණු මාළු කූරි දෙදෙනෙක් සමඟ බත් පතක් අනා, පැරණි ටින් පිඟානකට දැමූ පෙරියපුල්ලේ එය බැල්ල ලඟින් තබමින් පැවසීය.
වාඩියේ තම සුපුරුදු ලෑලි තට්ටුව මත ඇලවූ විමලෙ අයියා, ටකරම් වහලය හා වාඩියේ බිත්තිය අතර හිඩැසකින් පෙරී එන තරු එළිය දෙස නෙත් යොමන්නට විය.
               
                                ***********************************
2 මිතුරෝ

අතීතයේ එක් කාලයක විමලෙ අයියාගේ  ජීවනෝපාය වී තිබුනේ දුම්කොළ වගාවයි. තම වගා බිමට ආසන්නයේ පිහිටි පෙරියපුල්ලේ ගේත් කොටගහ තම්බි ගේත් වගාබිම් හේතුවෙන් ඔවුන් කාලයත් සමඟ ගජ මිතුරන් බවට පත්වූහ. මේ තුන්කට්ටුවේ බාලයා වූ කොටගහ තම්බි දිනක් කොළඹ ගොස් පැමිණෙන බස් රථයට අටවා තිබූ බෝම්බයක් පුපුරායාමෙන් ජිවිතයෙන් සමුගත් අතර, පසු කලක විමලෙ අයියාත් පෙරියපුල්ලේත් තම වගාවට සම්පුර්ණයෙන් සමුදී, එකෙකු ගබඩාවේත් අනෙකා සමුපකාරයේත් රැකියා කරීමට යොමු වූහ. වෙනදා මෙන් ගෙවූ ජිවිතයෙන් වෙන්ව, එකිනෙකාගේ ආත්ම, හුදෙකලාවේ ගීතයට සුසර කල ඔවුහු තම කාර්යබහුල ජීවිතය තුල තනිවෙන්නට වනහ. සෑම දිනකම පාහේ උදේ කාලයේ කුලසිරි මහප්පාගේ කඩයෙන් ප්ලේන්ටියක් බී ටී බනිස් ගෙඩියක් කටට දමාගන්නා මිතුරෝ වැඩි කතාබහකින් තොරව වෙන්වී යන්නට පුරුදුව සිටියහ. පෙරියපුල්ලේ ටවුමේ  සමූපකාර වෙලඳසැලේ බඩු කිරීම කල අතර විමලෙ අයියා ගබඩාවේ සුළු ලිපිකරුවෙකු ලෙස සේවය කලේය.


මෙකල උතුරුකරයේ ත්‍රස්තවාදය විසින් වැලිඔය ජනපදයේ හාත්පස පැතිර තිබූ මායිම් ගම්මාන භීතියෙන් වෙලාගැනීමට සමත්ව තිබුනු අතර, විමලේ සහ පෙරියපුල්ලේ තම සේවාමුරය නිමවා පැමිණ කෙටි විවේකයකින් පසුව ග්‍රාමාරක්ශක රාජකාරි සඳහා පිටත් වූහ. කුමකින් කුමක් සිදුවේදැයි අවිනිශ්චිත ජීවිතයකට හුරුවී සිටි ඔවුන්, යන්තම් එදාවේල කා කෙසේ හෝ ජීවත් වීමට අදිටන් කරගත් මිනිසුන් සමූහයක් විය. තම ජීවිතයේ තුරුණු වියේදී අනෙක් බොහෝ තරුණයින් ට ලැබෙන දේ ඔවුන් ට ලැබුනේ නැතිමුත් ඔවුන් ඒ පිලිබඳව තැකීමක්ද නොකලහ.
කුලසිරි මහප්පාගේ කඩය ගමේ කුඩා කඩමන්ඩියේ අයිනට වන්නට විශාල සියඹලා ගසක් යට පිහිටා තිබුණ අතර, ගල්බනිස් , ටී බනිස් හා ඉස්පන්චි අඩුක්කර තිබූ කැබිනෙට්ටුවක්, පැරණි බොයිලේරුවක් හා ආප්ප තට්ටුවක් කඩයේ ඉදිරිපසින්ම තබා තිබුණි. එෆ්.එම් රේඩියෝවත් නිතර රටේ තොටේ විස්තර කතා කිරීමට එක්‍ රොක් වූ ගැමියෝ නිසා කඩය තුල තිබුනේ නිරන්තර සජීවී බවකි.
සෑම සවසකම බොයිලේරුව ඉදිරිපස සිටගෙන තේ වතුර වක්කරනා කුලසිරි මහප්පාත්, බොයිලේරුවේ ගිනිදැල් වලින් බ්‍රභාමත් වුනු ඔහුගේ කාලවර්ණ සිරුරත් ග්‍රාමාරක්ෂක රාජකාරී අතරතුර පැමිණෙන පිරිසට නිතර හුරුපුරුදු දසුනක් විය. ලුණුමිරිසක් සමඟ ආප්ප කා තේ බිමට ප්‍රියකළ ඔවුන් එහිදී බොහෝ වේලාවක් සතුටු සාමීචියේ යෙදී නැවතත් තම රාජකාරි ඇරඹුහ. ත්‍රස්තවාදී තර්ජන තදින් දැනුනු මෙකළ, මෙසේ තම වගකීම පසෙකලා සිටීම කිසිසේත් සුදුසු නොවුනත්, තම ජිවිතයේ පාලු බවට දැඩිසේ වෛර කල මොවුන්හට මෙලෙස එකතුවී කතාබහ කිරීම සිතට මාහැඟි සහනයක් විය.


ග්‍රාමාරක්ෂක සේවයේ සිටි තරු නිමලේ අයියා සහ කුලසිරි මහප්පා එකල ගජමිතුරන් වූ අතර ඇතැම් සති අන්ත දිනවල තමන්ට යුද හමුදාවෙන් ලබා දුන් පැරණි බෝර තුවක්කුත් රැගෙන වණ වැදෙන මොවුන් දෙදෙනා මුවෙක් ගෝනෙක් හෝ වල් ඌරෙක් දඩයම් කරගෙන හවසට තම නිවසට පැමිණෙයි. කෙසේ හෝ හමුදාවෙන් ලබාදෙන උණ්ඩ කිහිපයෙන් එකක් වැයකර කරගන්නා මෙම දඩයම ග්‍රාමාරක්ෂක මිතුරන් රැලට ඉතා වටිනා කියන සම්පතක් බවට පත්වෙයි. එදිනම තරු නිමලේ සහ කොටකමල් තම කුඹුරු වලින් පෙර කන්නයේ ලබාගත් හාල් කිලෝ කිහිපයක් කුලසිරි මහප්පාගේ කඩයෙන් තබා යයි. විමලේ ගේ දුම්කොළ වගාවේ පසෙකින් වැවී තිබු සරු ගොටුකොළ වගාවෙන් මිටියකුත් පෙරියපුල්ලේ සමුපකාරයෙන් ගෙනා පරිප්පුත් , කොටගහ තම්බිගේ සහෝදරයාගේ කුකුල් කොටුවෙන් බිත්තරත් කුලසිරි මහප්පාට ලැබෙයි. පසුදා රාත්‍රියේ රාජකාරි අතර කුලසිරි මහප්පාගේ කඩය පිටුපස කටුමැටි ගැසූ නිවසට ගොඩවන මිතුරන්, යහමින් කුළුබඩු යෙදූ දඩමස් හොද්දක් සමඟ හිතේ හැටියට බත් සප්පායම් වෙයි. අවසානයේ අවට ආරක්ෂාවට සිටින හමුදාවේ සොයුරන්ට කුලසිරි මහප්පා බැඳී බත් මුල් ද රැගෙන නැවත රාජකාරි බලා පිටත් වෙයි. ඇතැම් විට වැල්ලේ තම්බි වාරකන් කාලයට තම  නිවසේ සිටින දිනයන්ට ගෙනෙන තල් රා මුට්ටියකින්ද සප්පායම් වන මොවුන් වැනි වැනී එදින තම රාජකාරි වලට පිටත් වෙයි.

සිංහල හින්දු අලුත් අවුරුදු සමයට, සරුසාර කලබල අඩු පළාත් වල මෙන් මෙහි උත්සව නොපැවැත්වූවත් සියලු  පවුල් එළඹෙන අවුරුදු සිරිය විඳගැනීමට පෙළගැසෙයි. කුලසිරි මහප්පාගේ නොවරදින මුං කිරිබත සහ කොට කමල් මලයාගේ මව සාදන රසවත් කොන්ඩ කැවුම මිතුරන් වෙනුවෙන් පිලියල වෙයි. මුර දේවතාවුන් වැනි වූ හමුදාවේ සොයුරන් හට අවුරුද්දේ අඩුව නොදැනෙන්නට වගබලා ගත් මෙ ගමේ මිනිසුන් හැකි පමණින් ඔවුන්ගේ ලැදියාව ඔවුන්ට දැක්වූ අතර තම ජීවිතය ඔවුන් වෙනුවෙන් කැපකළ මේ අභීත මිනිසුන් වෙනුවෙන් ඔවුන් ඉමහත් ගෟරවයක් දැක්වන්නට විය.
     


0 comments:

Post a Comment