අශාන් ප්‍රියන්ජන්ගේ ශතකය නිසා CCC කණ්ඩායමට සුපිරි ආරම්භයක්

399
SLC Premier League - Tier A

දේශීය ක්‍රිකට් පිටිය කාර්‍යබහුල කරවන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් තවත් තරග 6ක් අද (06) ආරම්භ විය. ඉන් තරග කිහිපයකම ප්‍රථම දිනය නිමාවන විට දෙපිළටම සම වාසි හිමිව තිබූ අතර CCC කණ්ඩායමේ අශාන් ප්‍රියන්ජන් සහ ලසිත් අබේරත්න ශතක වාර්තා කරමින් තම ක්‍රීඩා සමාජය පෙරමුණට ගෙන ඒමට සමත් වූහ.

පසුගිය ලිපි: 19න් පහළ කණ්ඩායමේ සුක්කානම අවිශ්ක ප්‍රනාන්දුට

කොළඹ ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ ක්‍රිකට් සමාජයට කාසියේ වාසිය හිමිවුනු මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන CCC පිතිකරුවන් ප්‍රථම දිනයේ නිමාව සනිටුහන් වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 443ක් ලබා සිටියි.

කලක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමද නියෝජනය කළ මැදපෙළ පිතිකරු අශාන් ප්‍රියන්ජන් අද හතරේ පහර 9ක් සහ දැවැන්ත හයේ පහර 5ක් සමගින් ලකුණු 124ක් රැස් කළේය. CCC ඉනිම ගොඩ නැගීමට ඔහු හා එක්වුනු ලසිත් අබේරත්න හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 103ක් ලබා සිටියි.

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 443 (පන්දුවාර 91): අශාන් ප්‍රියන්ජන් 124, ලසිත් අබේරත්න 103*, මාධව වර්ණපුර 50.


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරගය

අද කටුනාය‍ක දී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට හලාවත ක්‍රීඩකයින් සමත් විය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔවුන් සියල්ලන්ම දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 193කි. ඒ වෙනුවෙන් වමත් පිතිකරු අශේන් සිල්වා අර්ධ ශතකයකින් ආධාර විය. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් විය.

ප්‍රථම ඉනිම සඳහා අඩු ලකුණු ගණනක් රැස් කළත් ජයග්‍රහණය සඳහා සටන අත් නොහළ හලාවත ක්‍රීඩකයෝ ප්‍රථම දිනය නිමා වනවිට SSC පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 75ක් තුල නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවූහ. හලාවත ක්‍රිකට් සමාජය සතු ප්‍රබල තුරුම්පුවක් වන මලින්ද පුෂ්පකුමාර ලකුණු 20ක් පමණක් ලබාදී එම කඩුලු 4ටම හිමිකම් කීවේය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 193 (පන්දුවාර 54.1): අශේන් සිල්වා 61, ශෙහාන් ජයසූරිය 45, රෝහිත් දමෝදරන් 33. ජෙෆ්රි වැන්ඩර්සේ 5/61, සචිත්‍ර සේනානායක 2/44.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 75 (පන්දුවාර 35): මලින්ද පුෂ්පකුමාර 4/20.


BRC සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ BRC පිටියේදී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය සත්කාරකයින්ටම හිමිවිය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරාගත් ඔවුන් අද සවස් භාගය වනවිට සියල්ලන්ම දැවී ලකුණු 194ක් රැස්කර ගැනීමට සමත් විය. ලසිත් ලක්ෂාන් සහ භානුක රාජපක්ෂ පිළිවෙලින් ලකුණු 46 සහ 44 බැගින් රැස් කරමින් BRC කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාදුන් නමුත් මැදපෙළ කඩා වැටීම නිසා ඔවුන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යාමට නොහැකි විය. මේ වනවිට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන රාගම ක්‍රීඩකයින් කඩුලු 2ක් දැවී ලකුණු 69ක් ලබා සිටියි.

BRCසියල්ලන්ම දැවී ලකුණු 194 (පන්දුවාර 60.1 ලසිත් ලක්ෂාන් 46, භානුක රාජපක්ෂ 44, සහන් නානායක්කාර 3/29, අමිල අපොන්සු 5/34.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 69/2 (පන්දුවාර 29): ලහිරු මිලන්ත 23.


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ NCC අතර තරගය

දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රබල ක්‍රීඩා සමාජ දෙකක් උරෙනුර ගැටෙන මෙම තරගය අද පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. එහිදී කාසියේ වාසිය දිනාගත් NCC නායක ෆර්වීස් මහරූෆ් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර ඔවුන් පන්දුවාර 65ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 268ක් රැස් කළහ. සරා තණතිල්ලේ හැසිරීම හොඳින් දන්නා ටැමිල් යූනියන් පිතිකරුවෝ ප්‍රථම දිනය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 70ක් ලබා සිටිති.

NCCසියල්ලන්ම දැවී ලකුණු 268 (පන්දුවාර 65): ඇන්ජෙලෝ පෙරේරා 59, නිරෝෂන් දික්වැල්ල 48, සඳුන් වීරක්කොඩි 44, පවන් වික්‍රමසිංහ 43, ලහිරු සමරකෝන් 2/45, ‍රමිත් රඹුක්වැල්ල 3/72, චාමික කරුණාරත්න 3/80.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – එක් කඩුල්ලක් දැවී ලකුණු 70 (පන්දුවාර 18): සිතාර ගිම්හාන් 40*, තරංග පරණවිතාන 28*.


ගාලු ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය

අද කළුතරදී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාලු ක්‍රීඩකයින් ප්‍රථමයෙන් පන්දුවට පහර දී ලකුණු 218ක් රැස් කිරීමට සමත් විය. ඒ වෙනුවෙන් නිලුශාන් නෝනිස් සහ දමිත හුණුකුඹුර අර්ධ ශතක වලින් ආධාර විය. පන්දුවෙන් දස්කම් දැක්වූ දිලේශ් ගුණරත්න සහ අලංකාර අසංක කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන බදුරලිය පිතිකරුවෝ කඩුලු 2ක් දැවී ලකුණු 33ක් ලබා සිටිති.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 218 (පන්දුවාර 78.2): නිලූශාන් නෝනිස් 62, දමිත හුණුකුඹුර 55, දිලේශ් ගුණරත්න 3/53.

බදුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 33 (පන්දුවාර 9)


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

අද උදෑසන කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් නායකයා ප්‍රතිවාදී ක්‍රීඩකයින් ඉක්මනින් දවා ගැනීමේ අරමුණින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව  යුධ හමුදා ක්‍රීඩා සමාජයට හිමිකර දුන්නේය. නමුත් දුශාන් විමුක්ති, සීක්කුගේ ප්‍රසන්න සහ හිමාෂ ලියනගේ වාර්තා කළ අර්ධ ශතක හේතුවෙන් යුධ හමුදා ප්‍රථම ඉනිම ලකුණු 297ක් දක්වා වර්ධනය විය. එය හඹායන කෝල්ට්ස් පිතිකරුවන් ලකුණු 51කට කඩුලු 5ක් බිඳ වැටී අසීරු තත්වයක පසුවෙයි.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 297 (පන්දුවාර 72.4) දුශාන් විමුක්ති 54, සීක්කුගේ ප්‍රසන්න 58, හිමාෂ ලියනගේ 52, නිසල තාරක 3/39, චරිත් සුධාරක 5/98.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 51 (පන්දුවාර 14) නුවන් ලියනපතිරණ 2/18, සීක්කුගේ ප්‍රසන්න 2/12. මෙම සියලුම තරග හෙට දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට