Followers

Wednesday, January 4, 2017

පියාපත් ලැබී . . . 18


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . දහඅටවෙනි කොටස . . .



නාරදට තම මල්ලීව නංගීව අම්මාව සිහිවුණි. තම වගකිම සිහියට නැගුනේය. ජිවිතයේ සතුට තමන්ට ඇත්තේ බොහෝ දුරිනි. හදිසියේම හිතට රිංගන්න තතනන මේ කෙල්ලට තම හිත කටු රෙද්දක් වනු ඇත. ඊට ඉඩදිය නොහැකිය. අනෙක නම් කිසිදා කෑ බත්පතට පැහැරිය නොහැක. දසනායක මහතාට තම හිතේ ඇත්තේ තම ආයතන ප්‍රදානියා යැයි බියකට වඩා බක්තියකි. මෙය කිසිදා නොවන්නකි . . .

පැයක් පමණ ගතවන්නට ඇත. නාරද වාහනයේ රියදුරු අසුනට වී ඔහේ බලාඋන්නේය. රෝහලෙන් එළියට බැස වාහනය දෙසට එන රුව ඔහුගේ නෙත ගැටුනි. සෙමෙන් සෙමෙන් පියනගන ඇය එක එල්ලේ ඔහුගේ දෑසදෙසම බලාගෙන පියවර තැබුවාය. 

" ඩොක්ටර් අංකල් ඔයාට එන්න කිව්වා. " රියදුරු අසුනේ කවුළුව අසලට පැමිණි ඈ කොඳුලාය. 

" ම . . මට ඒ ඇයි මට එන්න කිව්වේ. "

" තාත්තට මොනාද ටෙස්ට් වගේකට ඇතුලට ගත්තා. මගෙන් ඇහුවා තව කවුද ආවේ කියලා මම කිව්වා ඔයා ආවා කියලා. ඉතින් ඔයාට එන්න කිව්වා. මම කිව්වා ඔයා ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා. අපිට ගොඩක් කිට්ටු "

" හ්ම් . . " දෙදෙනාම බිම බලාගෙන අඩියෙන් අඩිය පිය මැන්නෝය. 

" ඔයා තාමත් මා එක්ක තරහෙන්ද "

" අනේ නෑ මිස් . . . "

" සමහර විට ඔයාට හිතෙනවා ඇති මම පැනලා දෙන කෙල්ලෙක් කියලා නේද ? මට වෙච්ච දේ ගැන දුකයි. එත් හිතට වද දෙනවා එකයි ඇහුවේ. "

" අනේ මම එහෙම හිතුවේ නෑ මිස්. ඒක අමතක කරලා දාන්න. මගේ හිතේ මිස් ගැන කිසිම අහිතක් නෑ. " 

" එහෙනම් මට ඔය මිස් මිස් ගාන එක නවත්තන්න. " නාරද සිනාසුනා මිස කිසිවක් නොකීවේය. 

" කෝ හිනාවෙලා හරියන්නේ නෑ. " නාරද ඒත් කිසිවක් නොකීවේය. සිනාසෙනවා හැර දිමට පිළිතුරක් ඔහුට නොමැත. 

" මම කොහොමද "මිස්" නොකියා ඉන්නේ. මිස් මගේ බොස්ගේ දුව. හරියට බැලුවොතින් මගේ ලොකු බොස්ගෙන් පස්සේ මිස් තමයි ඊලඟ බොස්. ඉතින් මම කොහොමද මිස් කියන ඒවා කරන්නේ "

" දැන් ඉඳන්වත් අපි දෙන්නාට යාළුවෝ වෙන්න බැරිද. මම පාරමී. ඔයා නාරද. හරි සිම්පල් නේ. " ඈ සිනාසුනාය.

රෝහලේ වික්‍රමසිංහ මහතාගේ කාමරයට පිවිසෙත්ම දෙදෙනාම නිහඬවුනෝය. 

" කවුද මේ . . . " ඩොක්ටර් වික්‍රමසිංහ නාරදගේ අතට අත දෙමින් විමසුවේය. 

" මම නාරද ඩොක්ටර්. මම කම්පැණි එකේ මැනේජර් කෙනෙක් "

" ආහ් එහෙමද. ඒත් පාරමී දු කිව්වේ ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා ඒකයි මම පොඩ්ඩක් කතා කළේ. " ඩොක්ටර් වික්‍රමසිංහ නාරදට කුමක් කියම්දෝ දෙගෙඩියාවෙන් මෙන් කීවේය.

" ඔව් ඩොක්ටර් නාරද අපේ ෆැමිලි එකේ බොහොම ලඟ හිතවතෙක්. තාත්තිගේ ලඟින්ම ඉන්න කෙනෙක් ඩොක්ටර්. " පාරමී ඩොක්ටර් වික්‍රමසිංහගේ සැක දුරු කිරීමට මෙන් යලිත් තෙපලුවේය. 

" හ්ම් . . " සුසුමක්ද පිට කළ වික්‍රමසිංහ කොලවගයක් අතට ගෙන කල්පනාබරිතව නාරද දෙස බැලුවේය. 

" මේකයි මිස්ටර් නාරද. මම මේ අපේ මිස්ටර් දසනායකගේ ෆැමිලි ඩොක්ටර් විදියට බොහොම කාලයක් තිස්සේ ලඟින් ඉන්නවා. සමහරවිට ඒක නාරද දන්නවා ඇති. සමහර විට නොදන්නවා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වෙතත් මම දැන් කියන්න යන කාරනාව පාරමී දුවත් , විශේෂයෙන් මිස්ටර් නාරදත් හොඳින් සිහියෙන් තේරුම් බේරුම් කරගන්න ඕන දෙයක්. දු කලබල වෙන්නත් එපා. අනෙක නාරද දැන් ඉදලා මේ ෆැමිලි ඒකේ කිසිකෙනෙක් නොදත් දෙයක් තමයි මම මේ කියන්න යන්නේ. මේ දේ දැනගෙන හිටියේ දසනායකත් මමත් විතරයි. ඒත් තවදුරටත් මම මේදේ සඟවාගෙන ඉන්න ඒක මම කරන ලොකු වැරද්දක් කියලා මට හිතෙනවා . . . . "

" ඇයි ඩොක්ටර් තාත්තට මොකුත් ලොකු අසනිපයක්ද . . "

" ම්ම් ලෙඩේනම් ටිකක් ලොකුයි තමයි දු. හැබැයි මේ රෝගය බොහෝම කලාතුරකින් ඇතිවන තත්වයක්. ඒවගේම මට දැනෙනවා දැන් ටික කාලයක ඉඳන් මේ ලෙඩේ උඩුදුවනවා දෝ කියලා. එක්කෝ මිස්ටර් දසනායක හරියට ට්‍රීට්මන් ගන්නේ නෑ නැත්නම් මම දීලා තියෙන බේත් දැන් මිස්ටර් දසනායකට ආන්සර් කරන්නේ නෑ. මට හරියට ඩිශිෂන් එකක් ගන්න වෙලා තියෙන්නේ මේ දෙකෙන් කෝකද බලාගන්න ඕන. තේරුනාද " 

" තේරුනා ඩොක්ටර්. ඒත් තාත්තිට තියන ලෙඩේ මොකද්ද ඩොක්ටර්. "  

" තාත්තිගේ ලේවල ප්‍රස්නයක් තියෙනවා දු. සමහරවිට ඒ බලපෑම හාට් එකට එන්න පුලුවන්. එහෙමත් නැතිනම් මොලයේ අශ්‍රිතව ලේ කැටිගැසිමක් වෙන්නත් පුලුවන්. ඒ දේ කන්ට්‍රෝල් වෙන්න මම දුගේ තාත්තිට දැන් අවුරුදු එකහමාරක් විතර ඉදන් ට්‍රිට්මන් කරනවා. ඒත් මට දැන් දැන් පොඩි සැකයක් තාත්ති බේත් ටික හරියට ගන්නේ නැත්දෝ කියලා. මොකද ටික ටික මේ රෝගය පෙර තත්වයටම හැරෙන්න බලලා තියෙනවා. මොකද මිස්ටර් දසනායක හොඳ ප්‍රෝගස් එකක් ලබලා තිබුණා. නමුත් ඒ තත්වය ගිලිහෙමිනුයි තියෙන්නේ. "

" ඒ කියන්නේ ඩොක්ටර් බේත් ආයෙමත් හරියටම ගත්තොත් හොඳ වෙනවා කියලා නේද ඩොක්ටර් කියන්නේ පාරමී ඇසුවාය.

" මේකයි දු. මේ ලෙඩාව ගොඩක් පරිස්සම් කළ යුතු කාලයක් මේ ගතවෙන්නේ. කල්පනා කරන්න, ඩ්‍රයිව් කරන්න, බරවැඩ, සිත් වේදනා ගන්න පොඩි ඉඩක්වත් තියන්න එපා. මොකද ඒ වගේ දේ වලින් හදිසි තත්වයක් ඇතිවෙන්න පුලුවන්. තේරුනා නේද ? අනික කාටවත්ම මෙයාගේ පිටින් බැලුවම කිසිම ලෙඩක් තියෙන බවක් පෙනෙන එකක් නෑ. සති තුනකට සැරයක් වගේ ටෙස්ට් එකක් කරගන්න. එතකොට ඕගොල්ලන්ට දැනගත්තහැකි ලෙඩාගේ තත්වය. " 

" හරි ඩොක්ටර් අපි තාත්තිව පරිස්සම් කරගන්නම් "

" තව විනාඩි හතලිස් පහක් විතර යයි ටෙස්ට් එක ඉවර වෙත්දි. දුලා එලියෙන් ඉන්න. අනික මම මේ දේවල් කියු බවක් තාත්තිට නොකියා ඉන්න. මොකද නැතිනම් තාත්ති ඒ ගැනත් වද වෙන්න බැරි නෑ. අපි සාමාන‍ය්‍ය විදියට වැඩටික කරගෙන යමු. "

" හරි ඩොක්ටර්. ගොඩක් ස්තුතියි ඩොක්ටර්. අපි එළියෙන් ඉන්නම් " පාරමී කීවාය.

" හොඳයි දු. " මම තාත්තිව එවන්නම් " 

පාරමීත් නාරදත් දෙදෙනා සෙමෙන් සෙමෙන් එළියට පැමිණියෝය. දෙදෙනා අතර කිසිදු කතාබහක් නොවුණි. යාබද තිබු බංකුවක පාරමී හිඳ ගත්තාය. ඇගේ දෑසින් කදුළු කැට කඩා හැලුනි.     

" අඬන්න එපා මිස්. අපි මිස්ගේ තාත්තව කොහොමහරි සනීප කරගමුකො. "

" මට බයයි නාරද. "

" බය වෙන්න එපා මිස්. මම ඉන්නවා මිස් එක්ක. " නාරද පාරමීට මදක් ඉඩ තබා හිඳගත්තේය.     
  



. . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට . . .