යුරෝපයට පවා පහරදිය හැකි ඉන්දියාවේ අග්නි 5 මිසයිලය



ඉන්දියාව ඊයේ (26 දා) දහවල් කිලෝමීටර් 5000 ක්‌ දුර යෑවිය හැකි 'අග්නි 5' මිසයිලය ගුවන්ගත කළේය. ඊයේ දහවල් 11.05 ට මෙම මිසයිලය ගුවන්ගත වූයේ විලර් දූපතේදීය. මෙම මිසයිලය මීටර් 17 දිග රථයක සවිකර තිබිණි. අත්හදා බැලූ මෙහි ව්‍යාජ න්‍යෂ්ටික අවියක්‌ ද සවිකර තිබිණි. 

මිසයිලය ඉතා සාර්ථකව ගුවන්ගත වූ බව ඉන්දීය රජය ප්‍රකාශ කරයි. මෙයට පෙර අග්නි මිසයිල තුනක්‌ ගුවන්ගතකර තිබූ අතර එම ගුවන්ගත කිරීම් සාර්ථක වී ඇත. මෙම මිසයිලයෙන් චීනයේ උතුරු ප්‍රදේශය දක්‌වා ප්‍රහාර එල්ල කිරීමට හැකියාවක්‌ ඇත. අග්නි මිසයිලය ගුවන්ගත කිරීම සාර්ථක වීම ගැන ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයට ප්‍රණාමය පුදකර ඇත.

ඉන්දියාවේ අග්නි-05 මිසයිලය අත්හදා බැලීම හේතුවෙන් ඊයේ (26 දා) පෙරවරුවේ මෙරට සිට රටවල් කිහිපයකට ගුවන් ගමන් ධාවනය ප්‍රමාද විය. මෙරට සිට ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව යන රටවල් සඳහා ඊයේ පෙරවරුවේ ගමන් කිරීමට තිබූ ගුවන් ගමන් මෙලෙස ප්‍රමාද වී ධාවනය කෙරිණි.

රොකට්‌ අත්හදා බැලීම සඳහා මෙරට ගුවන් කලාපයේ නැගෙනහිර සීමාවේ ගුවන් ගමන් ප්‍රමාද කරන ලෙස දන්වා තිබීමෙන් මෙම ප්‍රමාදය සිදුවී තිබේ. ඒ අනුව ඊයේ පෙරවරු 8.30 සිට 12.30 වනතෙක්‌ මෙරට නැගෙනහිර ගුවන් කලාපයේ ගුවන් ගමන් සිදු නොවූ අතර ශ්‍රී ලන්කන් ගුවන් ගමන් පහක්‌ ඇතුළු ගුවන් ගමන් වාර 10 ක්‌ පමණ ප්‍රමාද වී ඇත. ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට තිබූ ගුවන් වාර ද අත්හිටුවූ බව කටුනායක ගුවන්තොටුපළ ප්‍රකාශකයෙක්‌ 'දිවයින' ට පැවසීය.


අග්නි 5 - තාක්ෂණික තොරතුරු

වර්ගය - අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලය
නිර්මාණය - ඉන්දියානු රජයේ  Defence Research and Development Organisation
නිෂ්පාදනය - ඉන්දියානු රජයේ සමාගමක් වන Bharat Dynamics Limited
පිරිවැය - එක් මිසයිලයකට ඩොලර් මිලියන 7කි
දිග හා බර - මීටර් 17.5, කිලෝ ග්‍රෑම් 50,000
පිපුරුම් හිස - කිලෝග්‍රෑම් 1500 බර සාම්ප්‍රදායික බෝම්බයක් හෝ න්‍යෂ්ඨික බෝම්බයක්
එන්ජිම - අදියර 3කින් ක්‍රියාත්මක වන ඝණ ඉන්ධන රොකට් එන්ජින්
ප්‍රහාරක පරාසය - කිලෝමීටර් 5000කට අධිකය; චීන වාර්තාවකට අනුව මෙය කිලෝමීටර් 8000ද ඉක්මවයි.
උපරිම වේගය - මක් 24 (ශබ්දයේ වේගය මෙන් 24 ගුණයක්)
ප්‍රවාහණය - 8x8 ටැට්‍රා ට්‍රක් රථ ප්‍රවාහකය හෝ අනුවර්තනය කරනලද දුම්රිය ප්‍රවාහකය





__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments