Saturday, December 24, 2016

සමාජ ජාල පිළිලයේ මුහුණුවර







පසුගිය සතියේ අපේ කතාවට ලක්වුනේ සමාජ ජාල ප්‍රමුඛ වෙබ් අඩවි හරහා ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු නිසි විමසීමකින් තොරව විශ්වාස කිරීමටත් ඒවා ප්‍රචාරය කිරීමටත් අපේ ඇති පෙලඹීමයි.මෙවැනි අසත්‍ය තොරතුරු ව්‍යාප්තිය රටේ ජන ජීවිතයේ අනවශ්‍ය කැලඹීම් ඇතිකරලීමටත් පුද්ගල චරිත ඝාතනය කිරීමටත් හේතු වෙනවා.පසු ගිය මාසය-දෙක තිස්සේම රජයේ පාර්ශවයෙනුත්, සමාජ ජාල සම්න්ධ තොරතුරු ප්‍රචාර සම්බන්ධයෙන් පාලනයක්  අවශ්‍ය බවටත් අපහාස කිරීම් වලට එරෙහිව දැඩි නීති ගෙන එන බවටත් කථා වෙමින් තියෙනවා.රජය මේ සම්බන්ධයෙන් මැදිහත් වීම එතරම් හොද දෙයක් නොවන්නේ අදහස් ප්‍රකාශ කිරීම් සම්බ්න්ධ මාධ්‍යයන්ට රජයන්ගේ මැදිහත්වීම කිසිදිනෙක සද්භාවයෙන් සිදු නොවන්නක් නිසා.සෑම රජයක්ම මේ හරහා උත්සහ ගන්නේ තමන්ට එරෙහිව එන විවේචන මර්ධනය කිරීමට පොටක් පාදා ගැනීම.ඒ නිසා රජයන්ට මේවාට මැදිහත්වීමට දොරටුවක් විවර කර නොදෙන්නට සමාජ ජාලා තුල නිදහස බුක්ති විදිනා සියල්ලන්ම සැලකිලිමත් වියයුතුයි.එය කලහැක්කේ තොරතුරු තාක්ෂණයේ වර්ථමාන ප්‍රවනතාවන් බුද්ධිමත්ව භාවිතයට ගන්නට තමන්ට පුලුවන් බව ලෝකයාට පෙන්වමින්. 

ඒ ගැන ඔලුවේ තියාගෙන අපි බලමු අපේ අතින් වැඩිපුරම වෙන වැරදි මොනවද කියලා.

මින් ප්‍රධානතම එකක් තමයි මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම.මේක බොහෝ විට සිදුවන්නේ ආතල් එකට , විහිලුවට සෑදූ groups වලින්.සමාජ ජාලා තුල වීවිධ පුද්ගලයින් තම තමන්ගේ accounts වල පල කරන ඡායාරූප, දාපු status වල screenshots අරගෙන ඒවා public groupsවල, pages වල පල කිරීම තමයි මෙහිදී වෙන්නේ.කෙනෙක් තමන්ගේ account එකේ පින්තූරයක් දාන්නේ තමන්ගේ යාලුවන්ට,හිතවතුන්ට බලන්න මිසක් public groups වල ඉන්න රටේම මිනිස්සුන්ට ඒකෙන් කුණු ආතල්බෙදන්න නෙවී. ඒ නිසා යම් කෙනෙක්ගේ පින්තූරයක් අරගෙන හදන අපහාසාත්මක ප්‍රකාශ සහිත දේවල් share කරන එකෙන් අපිත් ඒ පුද්ගලයාගේ චරිත ඝාතනයට හවුල් වෙනවා. 

ඒ වාගේම දැන් ලෝකය පුරාම බෝ වෙලා තියන නරකම රැල්ලක් තමයි දකින දකින දේ video කරලා ඒවා අන්තර්ජාලය ඔස්සේ මුදා හරින එක.මගතොටේදී, බස් එකේදී , කාර්‍යාලයේදී සිදුවන පොඩි පොඩි රණ්ඩු , අත්වැරදීම් ආදිය video කරලා අන්තර්ජාලය හරහා ලෝකෙ පුරාම විසිරෙව්වම ඒ ඒ පුද්ගලයන්ගේ චරිතයන්ට වෙන හානිය කිසි කෙනෙක් කල්පනා කරන්නේ නෑ.Camera phone එකක් අතට ගත්තම දැන් කාලෙ හැමෝම තමන් මාධ්‍යවේදියෙක් කියන තත්වෙට පත්වෙලා. පහුගිය වසර කීහිපය පුරාම අපේ රටේ මග තොටේ උනු පොඩි පොඩි රණ්ඩු බහින් බස් වීම් මේ ආකාරයෙන් සමාජ ජාලා තුල සන්සරණය උනේ අදාල පුද්ගලයන්ට පාරෙ තොටේ බැහැලා යන්න බැරි තත්වයක් උද්ගත කරමින්.ලන්කාවේ නම් විශේශයෙන් මේ අපහාසයට ලක්වෙන්නේ කාන්තාවන්.ලගදිත් ධර්ම චක්‍ර සිද්ධියක් සම්බන්ධයෙන් හාමුදුරුවන්ලා සැට් එකකුත් camera phone අහු වුනු රිලව් වගේ හැසිරිලා තිබ්බ කට්ටිය දකින්න ඇතිනේ.එහිදීත් හාමුදුරුවන්ගේ ඒ මුග්ධ හින්සාවට ලක්වුනේ කාන්තාවක්.

එතනින් පස්සේ අපි එන්නේ sarcasm වලට. "උපහාසය"....මේක ලන්කාවේ බොහෝ දෙනෙක්ට හරියට තේරුම් ගන්න බැරි ශානරයක්.ගොඩක් fb pages වල උපහාසය කැටි කරගත් posts වලට වැටෙන comments දිහා බැලුවම තේරෙන දෙයක් තමයි සමහරු මේ posts වලින් කියවෙන දෑ ඉහටත් උඩින් විශ්වාස කරලා උපහාසයක් බව තේරුම් ගන්න බැරුව ගේම call කරන් ගිහින් තියන බව.කලකට ඉහත අපේ රාවණ රජතුමා සම්බන්ධ කරගනිමින් ලිය උනු අපූරු උපහාසාත්මක blog අඩවියක වැටුනු වයිරී සහගත/කේන්තියට පත් comments දැක්කාමත් තේරුණු දෙයක් තමයි බොහෝ දෙනෙක්ට ඒ ලිපි වල තිබ්බ උපහාසාත්මක අර්ථය වටහාගන්න බැරි බව.

අන්තිම වශයෙන් අපි එමු තියන ලොකුම අවුලට.ඒ තමයි මේ වන විට බිහිවෙලා තියන කප්පරක් gossip sites, fb pages/groups වලින් නිකුත් කරන අසත්‍ය ප්‍රවෘති.ගිය සතියෙත් කිව්වා වගේ මේවා නිකුත් වෙන්නේ ඉතා කෙටි ප්‍රකාශ විදියට (photo එකක් මත ලියපු වැකි කිහිපයක් ), නැත්නම් memes විදියට.ඉතින් කාර්‍ය බහුල ජීවිතයක නියැලිලා ඉන්න අපේ අසරණ ආත්ම, මේ පලවෙන පේළි දෙක තුනේ ප්‍රවෘති දැක්ක ගමන් විශ්වාස කරන්න පෙලඹිලා......කිසිදු වැඩි දුර සෙවීමකින් තොරව, fb pages වල පල වෙන මේ තොරතුරු කට්ටියත් එක්ක හෝ ගාලා share  කරනවා.අතීත සමජයේ අසත්‍ය ඕපා දූප කටින් කට පැතිරිලා යනවා වගේ වර්ථමානයේ මේ අසත්‍යයන් සමාජ ජාලා හරහා තටු ලැබී වේගයෙන් ඉගිල යනවා.මෙවැනි අසත්‍ය තොරතුරු බෙදා හැරීම නිසා සමාජය ලක්වන දරුණු නොමග යාම ගැන අපි නැවත නැවත හිතා බලන්න අවශ්‍යයයි

කොහොමද අපි වඩාත් වගකීම් සහගත ලෙස සමාජ ජාල ආශ්‍රිත ප්‍රවෘති හසුරවාගන්නෙ.මේක හසුරවාගන්න වෙන්නේ අපේම සහජ බුද්ධියෙන් තමයි.මේ නිසා ඔබ pages වලට groups වලට like දමද්දි ,සම්බන්ධ වෙද්දි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තමන් මේ සම්බන්ධ වෙන්න යන්නේ විශ්වාස කලහැකි සමූහයකටද කියල.ඇත්තෙන්ම මේ විශ්වාසය තහවුරු කරගන්න එක නම් ලේසි නෑ. ඉතින් ඒ නිසා මෙවැනි fb communities වලින් වලින් ලැබෙන තොරතුරු නැවත විශ්වාසවන්ත මාර්ගයකින් තහවුරු කරගන්න. මේ වෙද්දී රටේ ප්‍රධානම පුවත්පත්,රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා සතුවත් news sites තිබෙනවා.ඒ නිසා ඉස්සර වගේ ඒ ඒ නාලිකා වල ප්‍රවෘති විකාශනය වෙනකල් ඉන්න ඕනි නෑ news දැනගන්න.මේ නාලිකා සතුව ඇති ප්‍රවෘති අඩවි නිරතුරුව යාවත්කාලීන වන නිසා ඔබට පුලුවන් සමාජ ජාල හරහා දකින්න ලැබෙන ප්‍රවෘතියක සත්‍ය අසථ්ය භාවය අර කිව්ව නාලිකා වල ප්‍රවෘති අඩවි වලට ගිහින් බලාගන්න..

එහ්මත් නැත්නම් මේ වෙද්දී ගොඩක් රාජ්‍ය ආයතන වල හදිසි ඇමතුම් අන්ක ලබාදී තිබෙනවා ඔබට තොරතුරු දැන ගන්න පුලුවන් වෙන්න.ඒ නිසා රාජ්‍යය කටයුත්තක් සම්බන්ධ සන්වේදී තොරතුරක් නම් ඔබට පුලුවන් මේ අන්ක වලට කතා කරලා නිරවද්ය භාවය තහවුරු කරගන්න.අඩුමගානෙ දැක්ක ගමන් සන්වේදී තොරතුරක් හතර අතේ share  කරන්නේ නැතුව පොඩ්ඩක් ඉවසලා ඉන්නවත් පුලුවන්නම් ඒකත් ලොකු දෙයක්.ඒ ඉන්න ගමන් ඔබට පුලුවන් වගකීම් සහිත තැනක සේවය කරන ඔබේ යම් හිතවතෙකුගෙන් අදාල තොරතුරක සත්‍ය අසත්‍ය භව දැනගන්න.එමෙන්ම ඔබ යම් මතවාදයක් දරනවානම් ඒ මතවාදයට අදාල බොහෝ fb pages වලට groups වලට ඔබ like කරනවා.ඉතින් එහෙම උනාම ඔබට මුලු දවස පුරාම දකින්න වෙන්නේ ඒ මතවාදය තහවුරු කරන දේවල්ම විතරයි. ඒකට හොදම උදාහරණයක් මගේ යාලුවෙකුගෙන් දැක්ක.ඔහු මුස්ලිම් විරෝධියෙක් . ඒ නිසා ඔහු fb එක පුරා ඇති සෑම මුස්ලිම් විරෝධී pages වලට like දාල තියෙන්නේ.එක දවසක් ඔහු උදෙම දුවන් ඇවිල්ල මුස්ලිම් මිනිස්සුන්ට බැන්නේ ඇමරිකාවේ මුසල්මානුවෙක් සුද්දෙක්ට පිහියෙන් ඇනපු සිද්ධියක් කියමින්.නමුත් ඔහුගේ නිවසට සමීපයේ පවුලක්ම කපා කොටා ඝාතනය කර ඇති බව ඔහු දැනන් හිටියේ නෑ.තම මතවාදය තහවුරු කරන pages  ගොන්නකට like දමා ඇති නිසා ඔහු උදේ පටන් රෑ වනතුරුම දකින්නේ මුස්ලිම් මිනිසුන්ගේ වැරදි ක්‍රියා කලාපයන්ගේ ප්‍රවෘති ගන්ගාවක්.

සමාජ ජාලා හරහා සම්බන්ධ වෙමින් පවතින ගනන දිනෙන් දිනම වැඩි වෙමින් පවතින මොහොතක මේ අයහපත් ප්‍රවනතාවයන් හදුනා ගැනීම හා ඒවා නිසි පරිදි කළමණාකරනය කර ගැනීම ඉතාම ඉක්මනින් සිදු විය යුතුයි.අධ්‍යතනයේ පාසල් යන 8,9 වසර දරුවන් පවා මේ වෙද්දී සමාජ ජාල භාවිතා කරනවා.ඒ නිසා සමාජ ජාල හරහා විසිරී යන පුවත් වල ඇත්ත නැත්ත වටහා ගැනීම, මිනිසුන්ගේ ආත්ම ගරුත්වයට හානි නොකිරීමට , තමන්ගේ මතය මෙලොව ඇති පරම සත්‍ය නොවන  බවට වටහා ගැනීමට වැඩිහිටි අපි ඉක්මනින් ඉගෙන ගත යුතුයි.නැතිනම් ඉන් විනාශයට පත් වන්නේ internet හරහා සම්බන්ධ වී සිටිනා අපේ ලමා පරපුරයි.වර්ථමානයේදී ළමයින් මේ තාක්ෂණික මාධ්‍ය වලින් ඈත් කර තැබීම යනු විහිලුවක්.බොහෝ වැඩිහිටියන් ළමයින්ව මේවා වලින් ඈත් කරන්නේ සමාජ ජාලා හා අන්තර්ජාලය යනු ලමයින්ට නරක තැනක් බව කියමින්.මිනිසුන්ගේ ජීවන තත්වය උසස් කිරීමටත් පහසු කිරීමටත් බිහිව ඇති තාක්ෂණික මාධ්‍යයන් අමනෝඥ ලෙස භාවිත කරන වැඩිහිටි පරම්පරාවක් නිසා තමයි මේ මාධ්යයන් නරක තැන් බවට පත්වී ඇත්තේ.ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතාව වගකීමෙන් හා අවබෝධයෙන් කරනුවස් සැමගේ අවධානය ඒ දෙසට යොමු වන්නේ නම් ඉතා වටී.

1 comment:

  1. සම්පූර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete