ජාතික බේස්බෝල් ශූරතාවය ආදි රාජකීයයන්ට

1594
National Baseball Tournament 2016

ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගමය මඟින් සංවිධානය කරන ලද පිළිමළුන් පිටුදැකීමේ ජාතික බේස්බෝල් තරඟාවලියේ ජය, තමා සතු කරගන්නට කොළඹ රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍ය බේස්බෝල් සංගමය (ORBC) සමත් විය. තරඟාවලිය දෙසැම්බර් 11 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්විණ.

කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් තරඟාවලිය පැවැත්වුණු අතර ඊට එක්ව සිටි කණ්ඩායම් වන්නේ,

  • කොළඹ ආදි රාජකීය බේස්බෝල් සංගමය
  • ශ්‍රී ලංකා නාවික හමුදා බේස්බෝල් සංගමය
  • රණබිම රාජකීය බේස්බෝල් සංගමය
  • ශ්‍රී ලංකා යුධ හමුදා බේස්බෝල් සංගමය
  • මහනුවර බේස්බෝල් සංගමය
  • ආදි ආනන්දීය බේස්බෝල් සංගමය
  • ආසියානු බේස්බෝල් සමාජය
  • ආදි නාලන්දීය බේස්බෝල් සංගමය
  • ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය බේස්බෝල් සංගමය
  • කැළණි විශ්ව විද්‍යාලීය බේස්බෝල් සංගමය

අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීමට කොළඹ ආදි රාජකීය බේස්බෝල් සංගමයත්, රණබිම රාජකීය බේස්බෝල් සංගමයත් සමත් වූ අතර එහිදී 16-04ක් ලෙස රණබිම රාජකීයයන් අභිබවා ගිය කොළඹ රාජකීයයන් ශූරතාවය ලබාගත්තේය. ආදි රාජකීයයන් තරඟාවලිය පුරාම අපරාජිත වීමද සුවිශේෂී කරුණකි.

පෞද්ගලික දක්ෂතා.

  • හොඳම පන්දු යවන්නා – සාලිය අනුරාධ (ආදි රාජකීය)
  • හොඳම පිතිකරු – නෙරංජන් ඊරියගොල්ල (ආදි රාජකීය)
  • හොඳම පන්දු රකින්නා – සංජීව මාන්නඋතුම් (රණබිම රාජකීය)
  • තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා – සාලිය අනුරාධ (ආදි රාජකීය)
  • අවසන් තරඟයේ වීරයා – සුභාෂ් ගුණසිරි (ආදි රාජකීය)    

ලොව පුරා ප්‍රචලිත බේස්බෝල් ක්‍රීඩාවේ තොටිල්ල ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ හැරුණු විට කියුබාව, ජපානය, කැනඩාව, ඕස්ට්‍රේලියාව ලෝක බේස්බෝල් පිටියේ ප්‍රබලයන් ලෙස සැලකෙයි. ලෝක බේස්බෝල් තරඟ පිටියේ බලධාරීත්වය දරන ජාත්‍යන්තර බේස්බෝල් සම්මේලනය 1938දී නිර්මාපිත ය. අන්තර් සමාජ මට්ටමේදී ලොව පුරා ජනප්‍රිය නිව්යෝක් යැන්කීස්, බෝස්ටන් රෙඩ් සොක්ස්, චිකාගෝ කබ්ස් වැනි කණ්ඩායම් බේස්බෝල් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය ගැන කදිම නිදසුන්ය.  

1980 දශකයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූ මෙම ක්‍රීඩාව අද වන විට ගම දනව් කරා ද පැතිර ඇති බවට හොඳම උදාහරණය වන්නේ පසුගිය වසරේ සමස්ත ලංකා පාසල් බේස්බෝල් ශුරතා අවසන් තරඟයට සුදුසුකම් ලැබූ දඹුල්ල වෑවල මහා විද්‍යාලීය බේස්බෝල් කණ්ඩායමයි.

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය, ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව සම්බන්ධ අධිකාරීත්වය දරයි. චාමර පීරිස්, නිරෝෂන් පුංචිහේවා, අකලංක රණසිංහ, ඉරේෂ් කෝසල සහ නෙරංජන් ඊරියගොල්ල වැනි දකුණු ආසියාව ජයගත් බේස්බෝල් තරු ශ්‍රී ලංකාව සතුවන අතර සජීව විජේනායක ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුවරයෙකු වශයෙන් ද කටයුතු කරයි.