Tuesday, December 13, 2016

ඇත්ත වුනොත් තිත්ත වෙන නත්තල් බොරුව




නත්තල් සීයා එදාමෙදාතුර කුඩා දරුවනුත්, වැඩිහිටියනුත් සමෝසමේ අදහන්නට කැමැති මිත්‍යා විශ්වාසයක්. නත්තල් උත්සව දිනයේදී එකිනෙකා අතර සිදුකෙරෙන තෑගි හුවමාරු කිරීම් නත්තල් සීයා අතින් සිදුවෙනවායැයි කියන විචිත්‍ර මනංකල්පිතය මහත් ආශ්වාදයක් දනවන්නක් ලෙසිනුයි සැලකෙන්නේ.


නත්තල් සීයා හෙවත් සැන්ටා ක්ලෝස් පිළිබඳ වන ප්‍රවාදය ඇරඹෙන්නේ පුරාණයේ ජීවත්වුන සාන්ත නිකුලස් දේවගැතිතුමා දිළිඳු දරුවන්ට නත්තල් දිනයේදී තෑගි බෙදා දුන් බවට වන පුරාවතක් සමඟයි. නත්තල් සීයාගේ රූපය නිර්මාණය කෙරෙන්නේ ජර්මන්-ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පී තෝමස් නාස්ට්ගේ තෙලිතුඩින්.


කෙසේ වතුදු, නත්තල් සීයාගේ චරිතයත්, ඔහු නත්තල් සැඳෑවේ තෑගි සමග ලොව වටා සැරිසැරීමත් සැබෑවක් නම්, සිදුවිය හැක්කේ මොනවාද?




ලෝක ජනගහන දත්ත වලට අනුව අවුරුදු දහ අටට අඩු පුරවැසියන් සංඛ්‍යාව ආසන්න වශයෙන් බිලියන දෙකක්. මේ අතරින් නත්තල් සීයාගේ ආගමනය බලාපොරොත්තු වෙන්නේ කතෝලික ළමුන් පමණක් වීම සහනයක්. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, යුදෙව් ආදී අනෙකුත් ආගම් අත්හැරියහොත් මිලියන තුන්සිය හැත්තෑ අටක් පමණ ළමයින් පිරිසක් ඉතිරි වෙනවා. නත්තල් සීයාගේ පහසුව තකා එක් පවුලක ළමයින් 3-4 අතර ප්‍රමාණයක් ඉන්නවායැයි සිතමු. එහෙම වුනොත්, නත්තල් සීයාට හිම යානයෙන් නිවාස මිලියන 108ක් (ආසන්න වශයෙන්) බැහැදකින්නට සිදුවෙනවා.


නත්තල් සීයාගේ ආගමනය සිදුවෙනවායැයි සැලකෙන්නේ දෙසැම්බර් 24 සිට දෙසැම්බර් 25 අළුයම දක්වා කාලයේ. පෘථිවි භ්‍රමණය සහ වේලා කලාප සැලකිල්ලට ගනිමින් නත්තල් සීයාට ඉහත කී නිවාස මිලියන එකසිය අට බැහැදැකීමට ඇති උපරිම කාලය පැය 31ක් ලෙස දැක්විය හැකියි. ඒ අනුව, තත්පරයකදී අවම වශයෙන් නිවාස 967ක් ආවරණය කරමින් තෑගි බෙදාදීම සිදුකරන්නට වෙනවා.


එබැවින්, හිම යානය නිවසක් ඉදිරියේ නවත්වා, චිමිනිය දිගේ පහල බැස, ඇඳ ඉහත්තාවේ එල්වූ මේස් කකුල්වලට තෑගි පුරවා, නත්තල් සීයා වෙනුවෙන් චිමිනිය අසල තබා ඇති මස් පස්තෑල සහ කිරි අනුභව කර, චිමිනිය හරහා නික්මී, ඊළඟ නිවස බලා ගමන් ඇරඹීමට නත්තල් සීයාට ඉතිරි වෙන්නේ තත්පරයකින් දහසෙන් පංගුවක (1/1000) කාලයක්. ඔහෝ! එහෙනම් ඔහු මීමැස්සෙක් තරම් කඩිමුඩිකාරයෙක් විය යුතුයි.


දැන්, ගණනය කිරීමේ පහසුව තකා නිවාස දෙකක් අතර අවම දුර කිලෝමීටර 1.25 ලෙස සලකමු. එසේ වුවහොත් නත්තල් සීයාගේ චාරිකාවේ සම්පූර්ණ දුර කිලෝමීටර මිලියන 121.5ක්. ඒ සඳහා අසරණ පිනිමුවන් හතරදෙනා පැයට කිලෝමීටර මිලියන හතරක වේගයෙන් නොනවත්වා පියෑඹිල්ලේ යෙදෙන්නට වෙනවා. මදක් නැවතිල්ලේ කල්පනා කලොත්, ඒ ශබ්දයේ වේගය මෙන් තුන්දහස් ගුණයක වේගයක්! සාමාන්‍ය පිණිමුවෙකුගේ උපරිම වේගය පැයට කිලෝමීටර විසිහතරක් පමණයි. ඉතින් අපේ නත්තල් සීයාගේ පිනිමුවන් ඉතා විස්මිත ධාවන ශූරයන් වියයුතු බව අවිවාදිතයි.




නත්තල් සීයාගේ අනුභවය පිණිස මස් පස්තෑලයක් සහ කිරි බඳුනක් චිමිනිය අසල තැබීම බටහිර රටවල පැවැතෙන නත්තල් සිරිතක්. හොඳයි, අපි මුලින් පැවසූ පරිදි නත්තල් සීයා සැබෑවක් නම්, ඔහු මේ මස් පස්තෑල සහ කිරි වීදුරුව අනුභව කරන්ටත් ඕනෑ. පෙර ගණනය කිරීම්වලට අනුව ගෙවල් මිලියන 108කින් නත්තල් සීයා අනුභව කරන මස් පස්තෑල ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6 750ක්. එක් කිරි වීදුරුවක ධාරිතාවය මිලිලීටර 200ක් ලෙස සැලකුවොත් නත්තල් සීයා මේ ගමන අතරේ කිරි ලීටර මිලියන 33.75ක් පානය කරනවා. 


නත්තල් තෑගි ඇසිරීම සහ පාට කරදාසිවල එතීම සිදුවන්නේ කුරුමිට්ටන් අතින් යැයි කියැවෙනවා. ළමයින් මිලියන තුන්සිය හැත්තෑ අටක් සඳහා ත්‍යාග අහුරන්නට නත්තල් සීයාට සුවිසල් ගබඩා සංකීර්ණයක් වුවමනායි. තෑගි පෙට්ටි 1000ක් එක් ඩබල් ඩෙකර් බස් රියක ප්‍රමාණයට ආසන්න වශයෙන් සමානයැයි සිතමු. එහෙමනම් නත්තල් සීයාට ඩබල් ඩෙකර් බස් රථ 378 000ක් ගාල් කරන්නට හැකි තරම් විශාලත්වයෙන් යුතු ගබඩා සංකීර්ණයක් තිබිය යුතුයි.


එපමණක් නොවෙයි. කුරුමිටි මිනිසුන්ට මේ තෑගි පාට කරදාසිවල ඔතා සරසන්නට සිදුවෙනවා. එක් ත්‍යාගයක් ඔතන්නට කරදාසි සෙන්ටිමීටර 160ක් අවැසියැයි සිතුවොත්, තෑගි ඔතන කරදාසි කිලෝමීටර 604 800ක් වුවමනා වෙනවා. ඒ ඔතන කරදාසි ප්‍රමාණයෙන් පෘථිවිය පහළොස්වරක් ඔතන්නට පුළුවනි.




කුරුමිටි මිනිසුන් ඉතා කඩිසර වැඩකරුවෝ නිසා, එක් කුරුමිටි මිනිසෙකුට, එක් ත්‍යාගයක් ඔතන්නට ගතවෙන්නේ විනාඩියක්යැයි සිතමු. එහෙමනම්, මේ තෑගි සියල්ලම ඔතා නිම කරන්නට කුරුමිටි මිනිසුන් 2158ක්, දවසට පැය අට බැගින්, නොකඩවා තුන්සිය හැටපස් දවසම සේවයේ නිරත වියයුතු වෙනවා.


මේ සා විශාල තෑගි කන්දරාවක් පටවාගෙන එන හිමයානයේ බර ගැනත් අවධානය යොමු නොකරම බැහැ. එක් කුඩා දරුවෙකුට ලැබෙන ත්‍යාගයක බර රාත්තල් දෙකක් ලෙස සැලකුවොත්, හිමයානය ටොන් පන්සියදහසකට අධික බරකින් යුත් තෑගි පටවාගත යුතු වෙනවා. සාමාන්‍ය පිණිමුවෙකුට අදින්නට හැකි උපරිම බර රාත්තල් තුන්සියයක් පමණ. නත්තල් සීයාගේ හිමයානයට සාමාන්‍ය පිනිමුවන් යෙදුවේනම්, අවම වශයෙන් පිණිමුවන් 360 000ක්වත් යොදන්නට වෙනවා, ඒ කියන්නේ නත්තල් සීයාගේ හිම යානය රැගෙන එන 'පියාඹන පිණිමුවන්' සිවුදෙනා අයෝමය බලයකින් හෙබි විස්ම සත්ත්ව විශේෂයක් බවද?


ඉතින්, නත්තල් සීයාත්, ඔහුගේ හිම යානය ඇදගෙන එන පිණිමුවන් සිවුදෙනාත්, උත්තරධ්‍රැවයේ සැඟවී නත්තල් තෑගි සකසන කුරුමිට්ටනුත් සැබෑ චරිත වුවහොත්, අප විසින් අත්විඳින්නට යෙදෙන නත්තල් අසිරිය විඳින්නට ඔවුන්ට තත්පරයකවත් ඉස්පාසුවක් ලැබෙන එකක් නැහැ. කුරුමිට්ටන් උත්තර ධ්‍රැවයේ කම්කරු අයිතීන් ඉල්ලා සටන් නොවදීවියැයි කාට කියන්නට හැකිද? පියාඹන පිණිමුවන් සිව්දෙනාගේ අයිතීන් වෙනුවෙන් සත්ව අවිහිංසාවාදී සංගම් හඬ නොනගාවිද?


සමහර චරිත, මිත්‍යාවක් විලස පවතින තාක් කල් සුන්දරයි. විද්‍යාත්මක සත්‍යය හැමවිටම මිහිරි වන්නේ නැහැ.





(දත්ත උපුටා ගැනීම The Telegraph වෙබ් අඩවියෙන්.)


45 comments:

  1. https://www.youtube.com/watch?v=EW0aj-ngpIg

    ReplyDelete
    Replies
    1. පරණ එකක් නේද? හරි රසවත්

      Delete
    2. ඔව්. උඩුවා ඒ දවස්වලම මේක බ්ලොග් එකේ දාන්න කියලා කිව්වත්, එතකොට නත්තල් පහුවෙලා තිබුණු නිසා දැම්මෙ නැහැ. :)

      Delete
  2. //නත්තල් සීයාගේ අනුභවය පිණිස මස් පස්තෑලයක් සහ කිරි බඳුනක් චිමිනිය අසල තැබීම බටහිර රටවල පැවැතෙන නත්තල් සිරිතක්.//
    අපි තියන්නේ කිරි සහ කුකීස්. පිනිමුවන් සඳහා කැරට් දෙක තුනක් හා වතුරත් තියනවා.

    ReplyDelete
    Replies
    1. පහුවදා උදේට ඒ කෑම අතුරුදන් වෙලා නැතිබව දැක්කොත් පොඩි ළමයි දුක්වෙන්නෙ නැද්ද? එයාලා ඇහැරෙන්න කලින් ඒවත් හංගනවද? :D

      Delete
    2. //පහුවදා උදේට ඒ කෑම අතුරුදන් වෙලා නැතිබව දැක්කොත්//
      එහෙම වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට කුකීස් වලින් කෑල්ලක්, කැරට් කෑල්ලක්, කිරි හා වතුර වලින් ටිකක් උදේ වෙනකොට අඩු වෙලා. සැන්ටා ඉස් රියල්!

      Delete
  3. දැන් නෙව තේරුම් ගියේ,සැබෑ නත්තල් සීයා හෝ ඔහුුගේ රථය දකින්නට නැත්තේ ඔහු එතරම්ම වේගයෙන් ක්‍රියාකරන නිසයි. ඔහු තෑගි බෙදන්න නත්තලම තෝරාගන්න ඇත්තේ වේගය නිසා ඇතිවන තාපය පහසුවෙන් සමනය කරගන්න වෙන්නැති.

    ReplyDelete
  4. Replies
    1. සතුටයි - දුකයි!

      අපේ නත්තල් සීයා තාත්තාගෙ ඔෆීසියේ යාළුවෙක්. අපි පොඩි කාලෙ හිටියෙ තාත්තලාගේ ඔෆිස් ක්වාටර්ස්වල. එහේ නත්තල් උත්සවය දවසට නත්තල් සීයා මාමා තෑගි අරන් එනවා. ටොෆි චොකලට් බෑග් එකකුත් එල්ලාගෙනයි එන්නෙ.

      දැන් ඒ නත්තල් සීයා මාමා වයසයි. කතා කරගන්නත් අපහසුයි. ඒත් ඒ නත්තල් උත්සව ගැන මතක් කරන හැම මොහොතකදිම එයාගේ ඇස් දැල්වෙනවා.

      Delete
    2. සමාවෙන්න ඔ්නෑ. මම දමපු කෙමෙන්ටුව මකලා දැම්මේ එහි වරදක් තිබුන නිසයි. යළිත් එය නිවැරදි කර දමද්දි ඔබ එයට පිළිතුරක්ද දී අවසානයි. මගේ නිවැරදි කරන ලද කොමෙන්ටුව පහලින් දක්වා ඇත. යලිත් වරක් සමාව ඉල්ලා සිටිමි.

      Delete
  5. නත්තලට පෙර නත්තල් සීයාට ලියුමක් ලියා තැපැල් කරන්නට සීයාට දුන් මිහිරි අතීතයක් තිබුනා.අයියාත් මමත් නත්තල් දිනයට පෙර දිනයේ රාත‍්‍රියේ පාසල් බෑගය ඇද විට්ටමේ එල්ලා නත්තල් සීයාව අල්ලා ගන්නට නිදි නැතිව සිටියා. එත් කවදාකවත් නත්තල් සීයාව අල්ලා ගන්නට පුළුවන් කමක් ලැබුනේ නෑ. ඉල්ලපු තෑග්ග විතරක් නෙමෙයි තවත් බොහෝ දේ වලින් පාසල් බෑගයක් පිරිලා තිබුනා. එත් පසු කාලීනව අපි ලොකු මහත්වන විට අපේ නත්තල් සීයා බංකොලොත්වෙලා. රජයේ රැුකියාවෙන් විශ‍්‍රාම ගිය සීයාට අපි ඉල්ලන තෑගි දෙන්නට පුළුවන් කමක් තිබුනේ නෑ. නත්තල් කාලේ එනකොට ඔහු කිව්වේ පුතේ දැන් සැන්ටා ක්ලොස් බංකොලොත්වෙලා කියලා ගොඩාක් දුකෙන්. අපි නත්තල සැමරුවේ නැතිවුවත් එදා පොඩි අපේ සිත් සතුටු කල අපේම නත්තල් සීයා මට මහත් විරයෙක් වෙනවා.

    ReplyDelete
  6. පව් අප්පා නත්තල් සීයා...

    මට නම් පුංචි කාලෙ නත්තල් සීයගෙන් තෑගි ලැබිල නැහැ. අපේ අම්මල තාත්තල ඕව ගැන එච්චර හිතන්න නැතුව ඇති. ඒත් අපි දැන් නත්තල් සීයල වෙලා අපේ දරුවන්ටයි, තවත් දරුවන්ටයි ඒ සතුට දෙනවා... ලැබීම සතුටක් තමයි ඒත් තෑගි දීල පුංචි මුහුණුවල සතුට දකින එක ඊට වඩා සතුටක්...

    ReplyDelete
    Replies
    1. තරූ අක්කා තරම් පොඩි ළමයින් වෙනුවෙන් දේවල් සංවිධානය කරන, ඒ කරලා පොඩි උන්ගේ සතුට දිහා බලලා සතුටු වෙන කෙනෙක් මම දැකල නැහැ.

      Delete
  7. ඇමරිකන් කළු ජාතික සමාජ ක්‍රියාකාරිකයෙක් වෙන ඩික් ග්‍රෙගරි මෙහෙම කියනවා නත්තල් සීයා ගැන. මෙයාගේ හිටන් විහිළු (යෙදුම රසිකගේ) තියෙනවා .
    /////I never believed in Santa Claus because I knew no white dude would come into my neighborhood after dark.////////

    ReplyDelete
    Replies
    1. හහා ඒක මරු.

      හිටන් විහිළු පෝස්ට් එක කියවන්න ඕන.

      Delete
  8. බස්සි දැන් ගණන් හැදුවාට නත්තල් පප්පා ඒ කාලෙම සීන් තේරුම් අරගන්න ඇති. එහෙම තේරුම් අරගෙන තමුන්ගේ බලය විමධ්‍ය ගත කරලා ප්‍රාදේශීය නත්තල් පප්පලා ව පත් කරන්න ඇති. එර කියාපු සයිස් පතරංග වෙයාහවුස් එක නැතුව ඒ ඒ ප්‍රාදේශීය පප්පාට ශාඛා වෙයාහවුස් හදවන්න ඇති.දැන් රුන් කරනවා ඇත්තේ ඔය පැලෑන.
    ඒ වගේ මැනේජ්මන්ට් ප්ලෑනක් නැතුව නම් ඔය ගේම ගහන්න බැ නත්තල් තියා මොන පප්පා තවත්.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ, හවුස්හෝල්ඩ් ලෙවල් එකටම විමධ්‍යගත කරලනේ, වෙයාර්හවුස් දාන එක කඩවලට බාරදීලා, මරු ප්ලෑන.

      Delete
    2. අන්නේකයි බලය බෙදාදෙන එකේ වැදගත්කම!

      Delete
  9. පුංචිම දවස්වල, රෑ දොළහේ පූජාවට ගිහින් ගෙදර ඇවිත් අයියායි මමයි නිදන කාමරයට යන හැටි තවම මතකයි. අපේ අයියා කළුවරට බයයි. ඉතින් මම තමයි ඉස්සරහින් ගිහින් කාමරේ ලයිට් එක දාන්නේ. ඔය ලියුම් ලියන්නේ ඉතින් පූජාවට යන්ඩ කලින්. ඉල්ලන්ඩ හොඳ තෑගි ගැන අම්මා එහෙම ලඟට වෙලා ඔළුව අතගාලා කියලා දෙනවා... ඉතින්.
    තුනේ හතරේ පන්තිවල දී විතර වැඩේ තේරුණා. අයියා නං කලින් දන්නවා, මට කිව්වෙ නෑ අවුරුද්දක් දෙකක්. ඉන් පස්සේ අවුරුදුවල අපි නංගිට කියලා දුන්නා ඉල්ලන්ඩ තෑගි. ලියුමත් ලියලාම දුන්නා.... පූජාව ඉවරවෙලා ගෙදර ඇවිත් එයාව තනියම යවලා බලාගනත් හිටියා.
    හැබැයි අපේ පැටව් නං ඇත්ත දැනගත්තා බොහෝම කලින්.
    මිත්‍යාවක් මිත්‍යාවක් විදිහට විඳීන්න පුළුවන් කමත් එක විදිහක සමර්ත කමක් නේ ද?
    ලංකාවෙ අපට ඒක පිටරටින් ගෙනැත් දෙන්ඩ උවමනා නෑ නේ....!

    ReplyDelete
    Replies
    1. මිත්‍යාවක් බව දැනගත්තත් ඒකෙ අමුතුම සුන්දරත්වයක් තියෙනවා නේද?

      අන්න මම පොඩි මෙව්වා එකක් ලියා එව්වා නත්තල ගැන. කියෝලා අදහස් කියන්ටකෝ අංකල්.

      Delete
  10. ශාන්ත නිකලස් තුමා නොහොත් සැවොම හදුනන පරිදි නත්තල් සීයා එකල සිදු කලේ තම පෞද්ගලික ධනයෙන් දුප්පත් මිනිසුන්ගේ දරුවන්ට රහසින් තෑගි ලබා දීමය( අද බොහෝ දෙනා සිදු කරන පරිදි හොරනෑ පිඹමින් නොවේ.) එනමුත් අද වන විට ශාන්ත නිකලස් තුමා මාකට් වී හමාරය. එතුමන්ගෙන් මිනිසුන් ඉගෙනගත්තේ නත්තලට තෑගි ලබා ගැනීම පමණි. අසරණයන්ට පිහිට වීම එතුමන්ගෙන් මිනිසා කිසිදා ඉගෙන ගත්තේ නැත.මිනිසුන් සෑම විටම සිදු කරන්නේ අනවශ්‍ය දේ හිස් මුදුනෙ තබාගෙන අවශ්‍ය දේ අවඥාවෙන් යුතුව බැහැර කිරීමයි.

    දැන් ඉන්න බඩ තඩි නත්තල් සීයව හැදුවෙ කොකාකෝලා සමාගම... එයාලගේ බ්‍රෑන්ඩ් එක මාකට් කරගන්න... ශාන්ත. නිකලස් තුමාගෙ වර්ණය කොළ...

    ReplyDelete
    Replies
    1. //දැන් ඉන්න බඩ තඩි නත්තල් සීයව හැදුවෙ කොකාකෝලා සමාගම... එයාලගේ බ්‍රෑන්ඩ් එක මාකට් කරගන්න... ශාන්ත. නිකලස් තුමාගෙ වර්ණය කොළ...//

      මට මේ සිදුවීම අලලා කතාවක් ලියන්න හිතුනා මිතිල.

      Delete
  11. බඩ තඩි සීයා එන්නේ බොහෝ කාලයකට පෙර ඉඳලා නේද. බඩ තඩි සීයාව කොකා කෝලා මාකට් කරගන්න පාවිච්චි කරා. අද හැම වෙලෙන්දෙක්ම නත්තල් සීයාව මාකට් කරනවා හිරිකිතයක් නැතිව. බීලා පේමන්ට් එකේ වැටිලා ඉන්න නත්තල් පප්පලාත් ඉන්නවා.evolution-of-santa-claus

    ReplyDelete
    Replies
    1. මමත් ළඟදි දවසක දැක්කා දාඩිය පිහ පිහා බස්සෙක අල්ලගන්න දුවන නත්තල් සීයෙක්. :/

      Delete
  12. නත්තල් සීයා දැං වෙනස්. පිනිමුවන් පාවිච්චියක් නෑ. ඒකට වෙනම වාහන තියනව. අනිත් හැම එකක්මත් එහෙම තමයි.

    http://raj1st.blogspot.com/2013/12/blog-post_11.html මේත් නත්තල් සීයෙක් ගැන.

    ReplyDelete
    Replies
    1. නත්තල් සීයා තෑගි ගේන විදිහ ගැන හිතාගෙන හිතාගෙන යනකොට මරු කතාවක් ලියන්නත් පුලුවන් කියලා හිතෙනවා.

      Delete
  13. අපි කතෝලික හෝ ක්‍රිස්තියානි නෙමෙයි, ඒත් එකම එක වතාවක් අපේ ගෙදරට නත්තල් සීයා ආවා නත්තල අවට දවසක හවසක...
    ඇවිත් අපිට හකුරු බෝල බෙදල දුන්නා...

    නත්තල් සීය විදිහට ඇඳගෙන ආවේ අපේ නැන්දා කෙනෙක්ගේ පුතෙක්, අපි ඒ දවස්වල ගොඩක් පුංචියි...
    මමනම් මුලින්ම නත්තල් සීයව දැකල බය උනා වගේ තමයි මතක...
    කාල වකවානුව 1984 විතර වෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. මමත් අවුරුදු තුනේදී විතර නත්තල් සීයා ගාවට ගිහින් බයේ බෑඟිරි තියන ෆොටෝවක් තියෙනවා. දැන් දකිනකොට විලිලැජ්ජාවේ බෑ.

      Delete
  14. ආගමක් නිසා ඇතිවුන දේවලින් පවුලක් වශයෙන් වැඩියෙන්ම සතුටු වන දේ නත්තල් ගහ හා තෑගි කියලයි මට හිතෙන්නේ.
    ඒ නිසා තමයි කිතුණු නොවන අයත් සෑහෙන ගාණක් ඒවා කරන්නෙ. මං දන්න ක්‍රිස්තියානි අය සමහරක් වෙසක් බකට් පත්තු කරනවා. ඊට වඩා ඉතා විශාල බෞද්ධ අය සංඛ්යාවක් කරනවා නත්තල් ගහ හා තෑගි

    ReplyDelete
    Replies
    1. මම දැකපු අපූරුම ආගමික උත්සවයක්, නත්තල. කිතුණු පරිසරයක හැදිලා, කිතුණු පාසලක ඉගෙනගෙන ලබපු අත්දැකීම් නිසාද මන්දා මම දෙසැම්බරය එනකම් මග බලාගෙන ඉන්න කෙනෙක්.

      Delete
  15. උඩරට මැණිකේ කියල කෝච්චි දෙකක් තියෙනවා. එකක් උදේට කොළඹින් එද්දී අනික උදේට බදුල්ලෙන් එනවා...
    ඉතින් අපි පහසුව තකා නත්තල් සීයලා දහදාහක් විතර ඉන්නවා කියලා හිතමුකෝ.....
    එතකොට වැඩ බෙදාගන්න ලේසිනේ....
    - ඕන මිත්‍යාවක් ඇත්ත කරන්න පුළුවන්. විද්‍යාවෙන් චැලේන්ජ් එකක් නැතිව මිත්‍යාව තවමත් පවතින්නේ ඒ හින්දයි.

    ReplyDelete
    Replies
    1. ඕනෙ මිත්‍යාවකට විද්‍යාව පටලවන්නත් පුලුවන්.

      Delete
  16. මන් බෞද්දයෙක් වුණත්. කතෝලිකයන්ගේ මේ සංස්කෘතියට විශාල කැමත්තක් දක්වනවා

    ReplyDelete
    Replies
    1. මමත් බෞද්ධ. ඒත් මම දැකපු අපූරුම ආගමික උත්සවයක්, නත්තල. කිතුණු පරිසරයක හැදිලා, කිතුණු පාසලක ඉගෙනගෙන ලබපු අත්දැකීම් නිසාද මන්දා මම දෙසැම්බරය එනකම් මග බලාගෙන ඉන්න කෙනෙක්.

      Delete
  17. උබගේ පොස්ට් එක මට නම් එල ද බ්‍රා ..ඒ උනාට ඕවා කියලා
    පොඩි මෙන්ඩා ගේ හිතේ බස්සි නැන්දා ගැන නත්තල් සියා ගැන තියන පැහැදීම නැති කරන්න මම කැමති නැහැ ,,,
    මම ඌ ට නත්තලට සියා හරහා තෑග්ගක් දෙන්නේ අනිත් ආගම් වලට ගරුකරන්න ඌ ට පුරුදු කරන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෙන්ඩා. මේවා කියලා පොඩි එවුන්ගේ හීන කුඩු කරන එකට මමත් අකැමතියි.

      Delete
  18. මමත්බෞද්ධයෙක් හැබැයි මටත් තියනව පොඩිකාලෙ නත්තල් සීය ගෙ සොඳුරු මතක ගොන්නක්.

    ReplyDelete
    Replies
    1. මමත් බෞද්ධ. ඒත් මම දැකපු අපූරුම ආගමික උත්සවයක්, නත්තල. කිතුණු පරිසරයක හැදිලා, කිතුණු පාසලක ඉගෙනගෙන ලබපු අත්දැකීම් නිසාද මන්දා මම දෙසැම්බරය එනකම් මග බලාගෙන ඉන්න කෙනෙක්.

      Delete
  19. කෝ අපිටත් නත්තල් සීයා තෑගි දීලා නැහැනේ.හැබැයි ගිය ඉරිදාත් නත්තල් සීයා කෙනෙක් ටොෆි විසි කර කර යනවා දැක්කා.ඒ ටොෆි ඇහිදින්න ගියොත් යන්න වෙන්නේ අර පිණි මුවා යනවායි කියන වේගයෙන්.ඒ නිසා නිකම් හිටියා.

    ReplyDelete
    Replies
    1. මම එතන හිටියනම් පිණිමුවාගේ ස්පීඩ් එකෙන් ගිහිල්ලා හරි ටොෆියක් අහුලනවාමයි.

      Delete
  20. CASINO BONUS 2021 | Best Casino Bonuses, Promotions
    Check 논산 출장안마 out our selection of the best 서귀포 출장마사지 casino bonus offers in 2021 from 파주 출장샵 online 군산 출장샵 casino games to win real money playing. Claim 동해 출장샵 your welcome bonus.

    ReplyDelete