පානදුර ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරා පියවර ඔසවයි

606
SLC Premier League - 8th December Roundup

දේශීය ක්‍රිකට් පිටියේ සැඟවුණු තරු සොයා යන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ එක් තරගයක් සහ B කාණ්ඩයේ එක් තරගයක් අද (08) පැවැත්වුණි. එහිදී දිනයේ සුවිශේෂීම ක්‍රීඩකයා බවට පත්වීමට පානදුර ක්‍රීඩා සමාජයේ වමත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක ගයාන් සිරිසෝම සමත් විය.

පසුගිය ලිපි: දික්වැල්ලගේ ශතකය NCC කණ්ඩායමට විශිෂ්ට ජයක් ගෙනෙයි

ගාලු ක්‍රිකට් සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය අතර තරගය

A කාණ්ඩයේ තරගයක් ලෙස අද ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාලු ක්‍රිකට් සමාජය ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් වෙත නතු කර ගත්තේය. ඒ අනුව පිටියට පිවිසි ගාලු පිතිකරුවන් ප්‍රථම දිනයේ නිමාව සනිටුහන් වනවිට කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 247කි. සමස්ථයක් වශයෙන් ගාලු ක්‍රිකට් සමාජයේ සියලුම පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබාගත් නමුත් බොහෝ දෙනෙකුට දීර්ඝ ඉනිමක් කරා යාමට නොහැකි වීම කැපී පෙනුණි.

ගාලු ක්‍රිකට් සමාජය වෙනුවෙන් සාර්ථක ඉනිමක නියැළෙන දිල්හාන් කුරේ හතරේ පහර 7ක් සමගින් මේ වන විට රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 81කි. ශාලික කරුණානායක හතරේ පහර 4ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 45යි. මේ වන විට කඩුල්ලේ රැඳී සිටින දිල්හාන් කුරේ සහ එරංග රත්නායක පස්වැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 87ක සබඳතාවක් පවත්වා සිටියි. පන්දු යැවීමේදී ටැමිල් යූනියන් කණ්ඩායම වෙනුවෙන් ජීවන් මෙන්ඩිස් ලකුණු 56ට කඩුලු 2ක් බිඳ හෙලීය.

ගාලු ක්‍රිකට් සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 247 (පන්දුවාර 83): දිල්හාන් කුරේ 81*, ශාලික කරුණානායක 45, එරංග රත්නායක 34*, ජීවන් මෙන්ඩිස් 2/56.


පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර නගර සමාජය අතර තරගය

අද දෙවැනි දිනයට පැවති තරගයක් වන මෙය B කාණ්ඩය යටතේ පැවැත්විණි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පානදුර ක්‍රීඩකයින් ප්‍රථම ඉනිම වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නියැලෙමින් ලකුණු 353ක් ලකුණු පුවරුවේ සටහන් කිරීමට සමත් විය. පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් නායක චාමර සිල්වා, සංජය චතුරංග සහ චරිත බුද්ධික අර්ධ ශතක වාර්තා කළහ. කළුතර නගර සමාජය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වුනු මංගල කුමාර ලකුණු 100ට කඩුලු 4ක් බිඳ හෙලීය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල කළුතර ක්‍රීඩකයින්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 166ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් ලෙස රිෂිත් උපමාල් සහ මංගල කුමාර ලකුණු 41 බැගින් රැස් කරන ලදී. පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වුනු ගයාන් සිරිසෝම ලකුණු 53ට කඩුලු 7ක් දවාලීය.

අසාර්ථක ප්‍රථම ඉනිම නිසා නැවත පිතිකරණයට කැඳවුම් ලද කළුතර ක්‍රීඩකයින් දෙවැනි දිනයේ නිමාව සනිටුහන් වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 112ක් ලබා සිටියි. විශ්වාසවන්ත පිති හරඹයක නියැලෙන තරිඳු සිරිවර්ධන මේ වනවිට නොදැවී ලකුණු 50ක් රැස් කරගෙන සිටියි. දෙවැනි ඉනිමේ මේ වනවිට බිඳ වැටුනු කඩුලු තුනේම හිමිකරුවා බවට පත්වීමට ගයාන් සිරිසෝම සමත් විය. හෙට තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.

පානදුර ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 353 (පන්දුවාර 80.1): චාමර සිල්වා 58, චරිත බුද්ධික 55*, සංජය චතුරංග 50, මංගල කුමාර 4/100.

කළුතර නගර සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 61.1): රිෂිත් උපමාල් 41, මංගල කුමාර 41, ගයාන් සිරිසෝම 7/53, සංජය චතුරංග 2/35.

කළුතර නගර සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 112 (පන්දුවාර 41): තරිඳු සිරිවර්ධන 50*, රිෂිත් උපමාල් 29, ගයාන් සිරිසෝම 3/34.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට