නාවිකයන් අපරාජිත වෙද්දී මහනුවරට තවත් පරාජයක්

850
Determined Navy crash the Kandy party translated

නාවික හමුදා කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයන්ගේ නොසැලෙන ගුණය හමුවේ පසු බැසි සටන්කාමී මහනුවර ක්‍රීඩකයන් හට මෙවර තරග වාරයේ දෙවන පරාජයත් අත් විඳින්නට සිදුවිය. ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 5 වන සති අන්තයට අදාලව වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේ පැවති තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ඉසිලු අතර සත්කාරකයන් ලකුණු 5ක තියුණු ජයග්‍රහණයක් සමගින් තවදුරටත් අපරාජිත බව රැක ගන්නට සමත් විය.

පසුගිය ලිපි: කරට කර සටනකින් පසු CR&FC ජයග්‍රහණය වෙත

මහනුවර කණ්ඩායම වෙනුවෙන් ප්‍රවීණ ක්‍රීඩක ෆාසිල් මරීජා තරගය ආරම්භ කළ අතර පිටිය සම්පූර්ණයෙන්ම පාහේ අරක්ගෙන සිටි නාවික හමුදා ආධාරකරුවන් නිහඬ කරමින් දෙවන මිනිත්තුවේදී ම ලකුණු පුවරුව පන ගන්වන්නට මහනුවර ක්‍රීඩකයන් සමත් විය. ඒ නාවික හමුදා විඟර් ක්‍රීඩක බුද්ධිම පියරත්න හට පන්දුව නිසි අයුරින් ගැනීමට නොහැකි වීමෙන් ලද අවස්තාව මැනවින් උපයෝගී කර ගනිමිනුයි. දිමිත්‍රි විජේතුංග පළමු උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර එහි ප්‍රවර්ථනය තිලිණ විජේසිංහගෙන් ගිලිහී යන ලදී. (නාවික හමුදාව 00 – 05 මහනුවර)

නොසිතු විරු ප්‍රහාරයක් හමුවේ නාවිකයන් මදක් සසල වූ බවක් පෙනුනද ඔවුන්ගේ ආරක්ෂක  පෙළ ඉන් අනතුරුව විශිෂ්ට අයුරින් තම ගෝල සීමාව රැකගන්නට සමත් විය. මහනුවර කණ්ඩායමේ පළමු සාර්ථකත්වයට මග විවර කල බුද්ධිම පියරත්න තම අතපසුවීමට වන්දි ගෙවුවේ නාවික හමුදාව වෙනුවෙන් ගෝල කණු අසලම උත්සාහක දිනුමක් වාර්තා කරමිනුයි. තිලිණ වීරසිංහ මෙම අවස්තාව පහසුවෙන් ප්‍රවර්තනය කළේ තම කණ්ඩායම පෙරමුණට ගෙන එමිනුයි. (නාවික හමුදාව 07 – 05 මහනුවර)

ඉදිරියට එල්ල කල පන්දුවක් හඹා යමින් සිටි නාවික හමුදා ක්‍රීඩකයෙකුට බාධා කිරීම හේතුවෙන් මහනුවර කණ්ඩායමට එරෙහිව ලබාදුන් දඬුවම් පහරක් සාර්ථක කරගත් නාවිකයන් තම ලකුණු වාසිය තවදුරටත් වර්ධනය කර ගන්නා ලදී.  (නාවික හමුදාව 10 – 05 මහනුවර)

මහනුවර ක්‍රීඩක අර්ශාඩ් ජමාල්ඩීන් අතින් ඉදිරියට යොමු වුනු පන්දුවක් නාවිකයන්ගේ ආධිපත්‍ය තවත් වර්ධනය කිරීමට හේතු වූයේ එතනින් සොරා ගැනුණු පන්දුව මද වෙලාවකට පසු රිචී ධර්මපාල අතින් උත්සාහක දිනුමක් බවට පත් වීමත් සමගයි. තිලිණ වීරසිංහ යලිත් සාර්ථක ප්‍රවර්ථනයක් එල්ල කිරීම මහනුවර කණ්ඩායම තව දුරටත් අඩපන කිරීමක් විය.  (නාවික හමුදාව 17 – 05 මහනුවර)

නාවිකයන් පළමු අර්ධය තුලදීම තරගය සොරා ගන්නා අයුරක් පෙන්නුම් කරද්දී අර්ශාඩ් ජමාල්ඩීන් දඬුවම් පහරක් මගින් ලකුණු පරතරය මදක් අඩු කරන්නට සමත් විය.  (නාවික හමුදාව 17 – 08 මහනුවර)

එම සතුට සුළු කාලයකට සීමා කරන්නට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් වුනේ, තරගය නැවත ආරම්භ කිරීමත් සමග මහනුවර අන්තය වෙත යොමු කල පන්දුව ලබාගත් අර්ශාඩ් ජමාල්ඩීන් එය නාවික හමුදා අන්තය වෙත යොමු කරන්නට අනවශ්‍ය තරම් කාලයක් වැයකිරීම ප්‍රයෝජනයට ගනිමිනුයි. ජමාල්ඩීන් සිය පා පහර එල්ල කරන අවස්ථාවේ ඔහු ඉදිරියට පැමිණි සුපුන් පීරිස් තම ශරීරයෙන් පන්දුව ආවරණය කර එය දර්ශනීය උත්සාහක දිනුමක් බවට පත් කර ගන්නට සමත් විය. එහි ප්‍රවර්ථනය සාර්ථක වුනේ ලකුණු පරතරය 16ක් දක්වා වර්ධනය කරමිනුයි. (නාවික හමුදාව 24 – 08 මහනුවර)

මෙම ලකුණු වාසිය ලබා ගැනීමෙන් පසු නාවිකයන් තමන් පිලිබඳ අධි තක්සේරුවක් ඇතිකරගත් බවක් දක්නට ලැබුනේ ඔවුන්ගේ ක්‍රීඩා විලාශය මදක් අලස තත්ත්වයකට පත්වීම හේතුවෙන්. නමුත්  එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්, කිසිසේත්ම සටන අත්හැර නොසිටි මහනුවර ක්‍රීඩකයන් ලකුණු පරතරය 2 දක්වා අඩුකර ගැනීමට සමත් විය.

නාවිකයන්ගේ වැරදි ස්ථානගත වීමක් නිසා ලද දඬුවම් පහරක් කිසිවෙකු සිතන්නටත් පෙර තමන් විසින්ම ලබාගත් මහනුවර නායක රොෂාන් වීරරත්න නාවික ආරක්ෂක පෙළ අතරින් රිංගා ගොස් ලබාගත් උත්සාහක දිනුම අර්ශඩ් ජමාල්ඩීන් සාර්ථකව ප්‍රවර්ථනය කරන ලදී. (නාවික හමුදාව 24 – 15 මහනුවර)

පළමු අර්ධය අවසන් වීමට මද වෙලාවක් ඉතිරිව තිබියදී ධනුෂ්ක රංජන් තවත් දර්ශනීය ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් නාවික හමුදා උත්සාහක දිනුම් රේඛාව ආක්‍රමණය කළ අතර ජමාල්ඩීන් එවරද සාර්ථක විය.

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 24 – 22 මහනුවර ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේදී යලිත් සේනා සංවිධාන කරගෙන සිටි නාවික හමුදා කණ්ඩායම හමුවේ මහනුවර ක්‍රීඩකයන්ගෙන් සිදුවූ වැරදි 2ක් සඳහා ලැබුණු දඬුවම් පහර දෙකම සාර්ථක කරගත් තිලිණ වීරසිංහ නාවික හමුදා කණ්ඩායම ලකුණු 30 සීමාවට ගෙන ගියේ මහනුවර කණ්ඩායම යලිත් අසරණ කරමිනුයි.  (නාවික හමුදාව 30 – 22 මහනුවර)

පළමු අර්ධයේ සිදුවූ පරිදිම යලිත් හොඳ ලකුණු පරතරයක් ලැබීමත් සමග නාවිකයන්ගේ අවධානය යලිත් බිඳී ගිය අතර යලිත් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ධනුෂ්ක රංජන් උත්සාහක දිනුමක් වාර්තා කළේ තම විශිෂ්ටත්වය සහ අත්දැකීම් මනාව ප්‍රදර්ශනය කරමින් ෆාසීල් මරීජා පිටියේ විවෘත කෙලවරට එල්ල කළ පන්දුවක් රැගෙන යමින්. එහි ප්‍රවර්තනය මෙන්ම ඊට මද වෙලාවකට පසු හිමිවූ දඬුවම් පහරක්ද නිවැරදිව එල්ල කල අර්ශාඩ් ජමාල්ඩීන් මිනිත්තු 40කටත් අධික කාලයකට පසු මහනුවර කණ්ඩායම ඉදිරියට ගෙන එන්නට සමත් විය. (නාවික හමුදාව 30 – 32 මහනුවර)

නාවිකයන්ගේ වාසනාවට මෙන් තම වරද නිවැරදි කර ගැනීමට ඔවුන්ට කාලය ඉතිරි වී තිබු අතර යලිත් සංවිධාන ගතවූ ඔවුන් තරග අවසානයට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී සිය 4 වන උත්සාහක දිනුම වාර්තා කරමින් යලිත් ඉදිරියට පැමිණෙන්නට සමත් විය.  දුලංජන විජේසිංහ තම හැකියාවන් විදහා දක්වමින් මහනුවර ක්‍රීඩකයන්ගේ ප්‍රභල අභියෝගය මැඩගෙන එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අත‍ර තිලිණ එම අවස්ථාවේ දී ද ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ තම කණ්ඩායමේ වාසිය ලකුණු 5ක් දක්වා වර්ධනය කර ගනිමිනුයි. (නාවික හමුදාව 37 – 32 මහනුවර)

තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුල නාවික හමුදා ගෝල සීමාව අසලම දැවැන්ත සටනක් දීමට මහනුවර ක්‍රීඩකයන් කටයුතු කළද, නාවිකයන් තම ආරක්ෂක පෙළ ශක්තිය ප්‍රදර්ශනය කරමින් විනිසුරුගෙන් තරග අවසන් බව කියවෙන නලා ශබ්දය නිකුත් වන තුරුම තම අන්තය රැකගන්නා ලදී. මේ අනුව මහනුවර කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු වටය තුලදීම තම දෙවන පරාජයටත් මුහුණ දෙන්නට සිදුවිය.

අවසන් ලකුණු තත්ත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 37 : මහනුවර ක්‍රීඩා සමාජය 32

ThePapare.com තරගයේ වීරයා සුපුන් පීරිස් (නාවික හමුදා ක්‍රී. ස.)

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

නාවික හමුදා ක්‍රීඩා සමාජය 37

  • උත්සාහක දිනුම් – බුද්ධිම පියරත්න, රිචී ධර්මපාල, සුපුන් පීරිස්, දුලංජන විජේසිංහ
  • ප්‍රවර්ථන – තිලිණ වීරසිංහ – 4
  • දඬුවම් පහර – තිලිණ වීරසිංහ – 3

මහනුවර ක්‍රීඩා සමාජය 32

  • උත්සාහක දිනුම් – දිමිත්‍රි විජේතුංග, රොෂාන් වීරරත්න, ධනුෂ්ක රංජන් (2)
  • ප්‍රවර්ථන – අර්ශඩ් ජමාල්ඩීන් – 3
  • දඬුවම් පහර – අර්ශඩ් ජමාල්ඩීන් – 2

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට