Main Logo

Sunday 4 December 2016

නොපෙනෙන මානය 2

නොපෙනෙන මානය 2

අප නොපෙනෙන මානය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ගැන අවබෝධයක් ඇති කර ගත යුතුයි. මෙහි දී මානය යනුවෙන් අදහස් කරන්නේ අවකාශයේ මාන තුන නොවෙයි. කාලය මානයක් ලෙස ගන්නේ නම් එය ද නොවෙයි. කොහොමටත් කාලය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. එය පඤ්ඤත්තියක් පමණයි. ඇතැමුන්ට අනුව අන්වීක්‍ෂයකින් හෝ දුරේක්‍ෂයකින් හෝ දැකගත හැකි එහෙත් පියවි ඇසෙන් දැකගත නොහැකි දේ නොපෙනෙන මානයයි. අප යොදා ගන්නා උපකරණ අපේ ඉන්ද්‍රිය පහේ විස්තීරණ, දික්කිරීම් පමණයි. අපට අතින් කැඩීමට නොහැකි දේ කැඩීමට අප කෙක්කක් යොදා ගන්නවා. අපට ඇවිදින්න පුළුවන්. වේගයෙන් යන කොට අප දුවනවා යනුවෙන් ද කියනවා. ගමන් කිරීම සඳහා අප කරත්ත, මෝටර් රථ, ආදිය ද අහසින් යෑම සඳහා ගුවන් යානා, රොකට් ආදිය ද යොදා ගන්නවා. ඉතා ඇතට කතාකිරීමට අප දුරකථන, ශබ්දවාහිනී ආදිය යොදා ගන්නවා. මේ සියල්ල අපේ ඓන්ද්‍රීය ක්‍රියාකාරකම්වල විස්තීර්ණ පමණයි.

මේ සෑම ක්‍රියාකාරකමක් ම අප කරන්නේ මනසේ ද සහායෙන්. පංචෙන්ද්‍රිය ක්‍රියා කරන්නේ මනසේ ආධාරයෙන්. බුදුදහමෙහි නාම රූප යන්නෙන් මෙය පැහැදිලි කෙරෙනවා. රූප මනස නොමැතිව, එනම් නාම නොමැතිව හට ගන්නේ නැහැ. එහෙත් රූප නොමැතිව නාම හට ගන්න පුළුවන්. මනස ප්‍රධානයි. මෙය ඊනියා විඥානවාදයක් නොවන්නේ මනස ද මනසින් ස්වායත්ත නැති නිසා. නාම රූප පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම රූපං යන්නෙහි දී මෙන් ම, නාම යන්නට වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ලෙස විඤ්ඤාණ ද ඇතුළත් වීමෙන් පැහැදිලි වෙනවා. මෙය දිය සුළියක් මෙන් චක්‍රීයයි.

උපකරණ යනු කිනම් අර්ථයකින් ගත්තත්, කුඩා වුවත් විශාල වුවත් පංචෙන්ද්‍රියවල විස්තීර්ණ, දිගු පමණයි. ඉතා විශාල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවලටත් (රිඇක්ටර්ස්)  මෙය අදාළයි.  උපකරණ යොදා ගැනීමේ දී ප්‍රවාද ද බලපානවා, සංකල්ප ද බලපානවා. එක්ස් කිරණ යන්ත්‍ර යොදා ගැනීමේදීත් අදාළ සංකල්ප හා ප්‍රවාද අවශ්‍ය වෙනවා. සංකල්ප නොමැතිව, ප්‍රවාද නොමැතිව ඊනියා තතුවලට (ෆැක්ට්ස්) පැවැත්මක් නැහැ. උපකරණ පමණක් නොව පංචෙන්ද්‍රිය යොදා ගැනීමේදීත් සංකල්ප බලපානවා. සංකල්ප නොමැති සංජානන නැහැ. ඒ නාම නොමැතිව රූප නැති බව වෙනත් අයුරකින් කීමක්.

අපට උපකරණ, පංචෙන්ද්‍රිය මගින් සංජානනය වන දේට සංකල්ප අවශ්‍ය නමුත් සංජානන නොමැතිව සංකල්ප හටගන්න පුළුවන්. එමෙන් ම උපකරණ ආධාරයෙන් අප දකින දේ උපකරණ නොමැතිව සංකල්ප මගින් ආධ්‍යාත්මික ව දැකගන්නත් පුළුවන්. ඈත අහසේ තිබෙන මන්දාකිණි දුරේක්‍ෂකයකින් දැක බලා ගන්නා අතර ඇතැමුන්ට දුරේක්‍ෂ නොමැතිව මනසින් දකින්න පුළුවන්. මුගලන් මහා රහතන් වහන්සේ චක්‍රාවට දහස් ගණනක් දැක්කේ දුරේක්‍ෂවලින් නො වෙයි. බෞද්ධ සාහිත්‍යයෙහි චක්‍රාවට දහස් ගණන් ගැන කියන්නේ හබල් දුරේක්‍ෂය නිපදවීමට අවුරුදු දහස් ගණනකට කලින්. බුදුන් වහනසේ ධර්ම දේශනා කෙළේ දෙවියන් බ්‍රහ්මයන් ආදීන්ට ද ඇසෙන ලෙසයි. අදත් අපේ හාමුුදුරුවරු ධර්ම දේශනා පටන්ගන්නේ සක්වළට ම ආරාධනා කර. වෛදිකයන් පොළොව සූර්යයා වටා යන බව දැක්කේ කොපර්නිකස්ට බොහෝ කලින්. කොපර්නිකස් ඒ බව දැක්කේ නැහැ. ඔහු වෛදිකයන්ගෙන් ලබාගත් දැනුමක් ඉතාලියට ගෙන ගියා පමණයි. බටහිර විද්‍යාවේ බිහිවීමට එක් හේතුවක් වූයේ කොපර්නිකස්ලාට, ගැලීලියෝලාට, නිවුටන්ලාට, මනසින් පමණක් ලෝකය දකින්න බැරි වීමයි.

අප නොපෙනෙන මානය කියා කියන්නේ පංචෙන්ද්‍රිය ආධාර නොකර මනසින් පමණක් දකින මානයකටයි. මෙය වැරදි ව්‍යවහාරයක්. නොපෙනෙන මාන පෙනෙන අය ඉන්නවා. කෙසේ වෙතත් එවැනි මාන එකකට වැඩිය තියෙන්න පුළුවන් කියා මට හිතෙනවා. එක් එක් අයගේ මනස වර්ධනය වීමත් සමග මේ මාන සංඛ්‍යාව වැඩි වන්න පුළුවන් කියා මට හිතෙනවා. මට නම් මේ කිසිම මානයක් පෙනෙන්නේ නැහැ. එහෙත් ඒ නොපෙනෙන මාන දැක ගන්න පුළුවන් අය ගැන මා දන්නවා. මා ඔවුන් විශ්වාස කරනවා. බුදුන් වහන්සේ හා ඇතැම් රහතන් වහන්සේ ද මේ නොපෙනෙන මාන දුටු බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙනවා. කසිකබල් ඉන්ද්‍රියානුභූතවාදයට යටවෙච්ච ඊනියා බෞද්ධයන් නම් බුදුන් වහන්සේ විශ්වාස නොකර මාක් නම් දාරශනිකයා විශ්වාස කරනවා විය හැකියි. මාක් බුදුදහම ගැන හරියට දැන සිටියේ නැහැ.

ඇතැම් පඬියන් දෙවියන් නැතැයි කියන්නේ බුදුන් වහන්සේ අනුව යමින් නොව මාක් වැනි ඉනදිය්‍රානුභූතවාදීන් අනුව යමින්. ඔවුන් මාක් ගැනත් එතරම් දෙයක් දන්නේ නැහැ. තරුණ අයින්ස්ටයින් මාක්ගේ ආභාසය ලැබුවත් පසුව මාක්ගේ දර්ශනය පිළිගත්තේ නැහැ. අයින්සටයින් යථාර්ථවාදි2යක්. මෙරට තම තමන් විද්‍යාඥයන් යැයි කියා ගන්නා අය තමන් ඉන්ද්‍රියානුභූතවාදීන් ද නැත්නම් යථාර්ථවාදීන් ද කියාවත් දන්නේ නැහැ. කාලෝ ෆොන්සේකාත් අයත් වන්නේ මේ ගණයටයි. බටහිර විද්‍යාවේ විශ්වාස කෙරෙන යථාර්ථවාදයට අනුව ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු, ගුරුත්වාකර්ෂණ බලය ආදිය පවතිනවා. ඒ ඔවුන්ගේ සත්බවට (ඔන්ටොලොජි) අනුව. ඒත් ඒ එකක්වත් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. කිසිම අයකු ගුරුත්වාකර්ෂණ බලය හෝ ක්‍ෂෙත්‍රය හෝ දැක නැතිවා පමණක් නොව කිසිම දිනක දැකගැනීමට උපකරණයක් නිපදවා ගැනීමටත් බැහැ. ඒ ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් නිසා. ඒත් බටහිර විද්‍යාවේ යථාර්ථවාදයට අනුව ගුරුත්වාකර්ෂණය පවතිනවා! අපේ පඬියන් ද ඒ ඇති බව විශ්වාස කරනවා, ඒත් ඉන්ද්‍රියානුභූතවාදයට අනුව පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ ගැන විශ්වාස කරන්නේ නැහැ. මාක් අවස්ථිති රාමුවලට හා ගුරුත්වාකර්ෂණ බලයට පමණක් නොව පරමාණුවලටත් විරුද්ධ වුනා. පඬියන් දෙවියන් නැහැයි කියන්නේ ඉන්ද්‍රියානුභූතවාදය අනුව යමින්. ගුරුත්වාකර්ෂණය ඇතැයි කියන්නේ බටහිර විද්‍යාවේ යථාර්ථවාදය අනුව යමින්. තමන් යථාර්ථවාදීන් ද ඉන්ද්‍රියානුභූතවාදීන් ද කියාවත් නොදන්නා පඬියන්ට කළ යුත්තේ කුමක් ද?


නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 04