කරට කර සටනකින් පසු CR&FC ජයග්‍රහණය වෙත

506
CR & FC vs Police SC

මෙවර තරග වාරයේ තම දෙවන සත්කාරක තරගයත් ජය ගන්නට CR&FC කණ්ඩායම සමත් විය. පොලිස් ක්‍රීඩා සමාජය සමග පැවැත්වුණු මේ තරගය වරින් වර දෙපසටම දෝලනය වූ තරගයක් වූ අතර අවසානයේ CR&FC ක්‍රීඩකයින් ජය තහවුරු කරගත්තේ ලකුණු 31 – 26 ක් ලෙසයි.

පසුගිය ලිපි: ගුවන් හමුදාව අහසින් පොලවට ඇද දැමු CR&FC මෙහෙයුම

CR&FC කණ්ඩායම මෙම තරගයට එක්වූයේ පසුගිය සති දෙක පුරා රග්බි කරලියේ වඩාත්ම කතා බහට ලක්වූ ක්‍රීඩකයා වන, ශ්‍රී ලංකාවේ උපන් ඕස්ට්‍රේලියානු ජාතික කනිෂ්ට කණ්ඩායම පවා නියෝජනය කල රෝවන් පෙරී හට මෙරට අන්තර් සමාජ තරග බිමේ පළමු වරට සිය නාමය සටහන් කිරීම සඳහා තම කණ්ඩායමේ ඉඩක් වෙන් කරමිනුයි.

CR&FC ක්‍රීඩකයන් තරගය ආරම්භයේ සිටම දැඩි අභියෝගාත්මක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කලද පළමුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ අවස්තාව හිමිවූයේ පොලිස් කණ්ඩායමටයි. හිටපු වෙස්ලි විදුහල් ක්‍රීඩක ජොයෙල් පෙරේරා පළමු උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගන්නට රජිත සන්සෝනි හට නොහැකි විය (CR&FC 00 – 05 පොලිස්).

පොලිස් කණ්ඩායමෙන් එල්ලවූ තර්ජනයට පිළිතුරු සපයන්නට CR&FC කණ්ඩායමට වැඩි වෙලාවක් ගත නොවීය. පොලිස් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්වම ඉතා අලංකාර ප්‍රයෝග මගින් මුලා කල සශාන් මොහොමඩ් CR කණ්ඩායමේ පළමු උත්සාහක දිනුමට හිමිකම් කියන ලදී. තරින්ද රත්වත්තටද පළමු ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට නොහැකි වුනේ ලකුණු තත්ත්වය සමාන කරමිනුයි (CR&FC 05 – 05 පොලිස්).

සශාන්ගේ සාර්ථකත්වයෙන් පසු CR&FC කණ්ඩායමේ අනෙක් විංග් ත්‍රී ක්‍රීඩක කවිඳු පෙරේරා ද සිය නම ලකුණු ලැයිස්තුවට ඇතුලත් කර ගන්නට සමත් වූයේ පොලිස් ආරක්ෂක ක්‍රීඩකයන් සමග පොර බදමින් ඉදිරියට ගොස් ලබාගත් උත්සාහක දිනුමක් සමගයි. මේ අවස්තාවේදී තම ඉලක්කය වරද්දා නොගත් තරින්ද රත්වත්තේ ඊට මද වෙලාවකට පසු ලැබුණු දඬුවම් පහරක් ද නිවැරදිව ගෝල කණු අතරින් යොමු කරන්නට සමත් විය (CR&FC 15 – 05 පොලිස්).

අනතුරුව තරගය මල්ලව පොරයක් සිහි ගන්වන තරම් තියුණු සටනක් බවට පත් වූයේ පොලිස් ඉදිරි පෙළ ක්‍රීඩකයන් සහ CR&FC ආරක්ෂකයන් අතර පන්දුව දිනා ගැනීමට පැවති තරගය හේතුවෙනුයි. කෙසේ වෙතත් CR&FC කණ්ඩායමේ විනය කඩ කිරීම් හේතුවෙන් පොලිස් කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර පිටියෙන් ඉවතට යොමු කර ඉන් අනතුරුව එය උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් සමත් වූ අතර රසිත් සිල්වා ගේ එම උත්සාහක දිනුමට අමතර ලකුණු එකතු කළ සන්සෝනි ලකුණු වෙනස 3 දක්වා අඩු කරන්නට පියවර ගන්නා ලදී (CR&FC 15 – 12 පොලිස්)

CR&FC කණ්ඩායමේ විනය විරෝධී ක්‍රියා දිගින් දිගටම ඔවුන්ගේ අවාසියට හේතු වූ, අතර තවත් දඬුවම් පහරක් ගෝල කණු වෙත එල්ල නොකර උත්සාහක දිනුමක් කරා ගෙන යාමේ ප්‍රයත්නය මෙවර සාර්ථක කර ගත්තේ පොලිස් කණ්ඩායමේ රදීෂ සෙනෙවිරත්න විසිනුයි. සන්සෝනි මෙම ප්‍රවර්ථනයත් සාර්ථක කර ගනිමින් පොලිස් කණ්ඩායමට ලකුණු 4ක වාසියක් හිමි කර දෙන ලදී (CR&FC 15 – 19 පොලිස්).

පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය තුල තම වාසිය යලි දිනා ගැනීමට ප්‍රබල උත්සාහයක් දැරූ CR&FC කණ්ඩායම සාර්ථකව එම අභියෝගය ජය ගත්තේ කවිඳු ද කොස්තා විසින් ලබා දුන් පන්දුව පිටියේ කෙලවර ප්‍රදේශයේදී උත්සාහක දිනුම් රේඛාව වෙත ගෙනයන්නට භානුක නානායක්කාර සමත් වීමත් සමගයි. රත්වත්ත හට මෙම ප්‍රවර්ථනය මගහැරුණු අතර එබැවින් පළමු අර්ධය තුල CR&FC ලකුණු වාසිය එක් ලකුණකට සීමා විය.

පළමු අර්ධය: CR&FC 20 – 19 පොලිස් ක්‍රීඩා සමාජය

පිටියේ අන්තයන් මාරු කිරීමෙන් පසු පළමුවෙන්ම ලකුණු ලබා ගැනීමට සමත් වූයේ පසුගිය තරගයේ මෙන්ම මෙම තරගයේ පළමු අර්ධයේ ද CR&FC කණ්ඩායමේ සාර්ථකත්වයේ උත්ප්‍රේරකය වන තරින්ද රත්වත්ත විසිනුයි. කවිඳු කොස්තා ඉදිරියට යොමු කල පා පහරක් හඹා ගිය ඔහු පිටියේ ඈත කෙළවරෙන් ලකුණු ලබාගත්තද එහි ප්‍රවර්තනය අසාර්ථක විය (CR&FC 25 – 19 පොලිස්).

මෙවර තරග වාරයේ සිය සාර්ථකම තරගය ක්‍රීඩා කරමින් සිටි පොලිස් කණ්ඩායමද සටන අත්හැරීමට සූදානම්ව නොසිටි අතර චූලා සුසන්ත මීටර් 50ක් පමණ දුරක් තනිව රැගෙන ගිය පන්දුව උත්සාහක දිනුමක් බවට පත් කර ගනිද්දී සන්සෝනිගේ ප්‍රවර්තනය සාර්ථක වූයේ පොලිස් කණ්ඩායම නැවත වරක් පෙරමුණට ගෙන එමිනුයි. (CR&FC 25 – 26 පොලිස්)

කරට කර සටනක් බවට පත්වූ මෙම තරගයේ දී පොලිස් කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් සහ CR&FC කණ්ඩායමේ පසු පෙළ ක්‍රීඩකයන් වඩාත් ඉහල දස්කම් දැක්වූ අතර, පසුගිය තරගයේ මෙන්ම මෙම තරගයේදීද CR කණ්ඩායමේ දවසේ තරුව බවට පත්වූ තරින්ද රත්වත්ත පොලිස් කණ්ඩායමේ ජයග්‍රහණ සිහිනය බොඳ කර දැමුවේ තරගයේ අවසන් භාගය තුල සාර්ථකව එල්ල කල දඬුවම් පහර දෙකක් මගිනුයි.

අවසන් ලකුණු තත්ත්වය: CR&FC 31 – 26 පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare තරගයේ වීරයා: තරින්ද රත්වත්ත (CR&FC)

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්.

CR&FC ක්‍රීඩා සමාජය

උත්සාහක දිනුම්

සශාන් මොහොමඩ්, කවිඳු පෙරේරා, භානුක නානායක්කාර, තරින්ද රත්වත්ත.

ප්‍රවර්තන

තරින්ද රත්වත්ත – 1

දඬුවම් පහර

තරින්ද රත්වත්ත – 3

පොලිස් ක්‍රීඩා සමාජය

උත්සාහක දිනුම්

ජොඑල් පෙරේරා, රසිත් සිල්වා, රදීෂ සෙනෙවිරත්න, චූලා සුසන්ත.

ප්‍රවර්ථන

රජිත සන්සෝනි – 03

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට