දික්වැල්ලගේ ප්‍රහාරාත්මක ඉනිම NCC ඉනිම බලගන්වයි

1092
SLC Premier League 2016/17 3rd December roundup

දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කරන ප්‍රිමියර් ලීග් තරග වාරයේ A කාණ්ඩය නියෝජනය කරමින් තරග 5ක් අද (03) ක්‍රියාත්මක විය. එහිදී වේගවත් පිති හරඹයක යෙදෙමින් ලකුණු 183ක් රැස් කල නිරෝෂන් දික්වැල්ල පිතිකරුවන් අතරින් කැපී පෙනුනු අතර, ලකුණු 41කට කඩුලු 6ක් බිඳ හෙලූ මලින්ද පුෂ්පකුමාර පන්දු යවන්නන් අතරින් කැපී පෙනුණි.

පසුගිය ලිපි: දිමුත් සහ ධනුෂ්ක ශතක ලබමින් SSC ඉනිම ස්ථාවර කරයි

SSC සහ ටැමිල් යූනියන් අතර තරගය

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් SSC ක්‍රීඩකයින් සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 503ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය. SSC කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න හතරේ පහර 19ක් සමගින් ලකුණු 149ක් ද, ධනුෂ්ක ගුණතිලක හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 117ක් ද රැස් කළහ. මීට අමතරව චරිත් අසලංක සහ දසුන් ශානක අර්ධ ශතක වලින් SSC ඉනිම සවිබල ගැන්වූහ.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ටැමිල් යූනියන් පිතිකරුවන් දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 171ක් ලබාගෙන සිටියි. ටැමිල් යූනියන් කණ්ඩායම වෙනුවෙන් තරංග පරණවිතාන ලකුණු 66ක් වාර්තා කල අතර නොදැවී පන්දුවට පහර දෙන දිනුක් වික්‍රමසිංහ හතරේ පහර 12ක් සමගින් ලකුණු 81ක් ලබා සිටියි.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 503 (පන්දුවාර 127.4): දිමුත් කරුණාරත්න 149, ධනුෂ්ක ගුණතිලක 117, චරිත් අසලංක 57, දසුන් ශානක 51, පුළිණ තරංග 2/67, චාමික කරුණාරත්න 2/104.

ටැමිල් යූනියන් – කඩුලු 2ක් දැවී ලකුණු 171 (පන්දුවාර 48): දිනුක් වික්‍රමනායක 81*, තරංග පරණවිතාන 66.


බදුරලිය ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

ඊයේ දිනයේදී හලාවත මේරියන්ස් ක්‍රීඩකයින් සියලු දෙනාම දැවී රැස්කල ලකුණු 235ට පිලිතුරු ලෙස අද බදුරලිය ක්‍රීඩා සමාජයට ලබාගත හැකි වූයේ ලකුණු 113ක් පමණි. බදුරලිය පිතිකරුවන් කිසිවෙකුට අඩුම තරමේ ලකුණු 30 සීමාවටවත් ලඟා වීමට ඉඩ නොදුන් හලාවත පන්දු යවන්නෝ සිය දඟ පන්දුවෙන් ඔවුන්ව අන්ත අසරණ කිරීමට සමත් වූහ. හලාවත ක්‍රිකට් සමාජය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වුනු මලින්ද පුෂ්පකුමාර ලකුණු 41කට කඩුලු 6ක් බිඳ හෙලීය. දකුණත් පිට දඟ පන්දු යවන මධූක ලියනපතිරණගේ ලකුණු 28ට කඩුලු 4යි.

බදුරලිය ප්‍රථම ඉනිමට වඩා ලකුණු 122ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ හලාවත ක්‍රීඩකයින් දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 196ක් ලබා සිටියි. ඒ වෙනුවෙන් මහේල උඩවත්ත ලකුණු 73කින් ආධාර විය. දැනටමත් හලාවත ක්‍රිකට් සමාජය බදුරලිය ක්‍රීඩා සමාජයට වඩා ලකුණු 318ක් ඉදිරියෙන් පසුවෙයි. ඒ අනුව හෙට දිනයේදී මෙම තරගය බේරා ගැනීම සඳහා බදුරලිය ක්‍රීඩා සමාජයට දැවැන්ත සටනක නියැලීමට සිදුවනු ඇත.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 79.3): මහේල උඩවත්ත 69, සචිත්‍ර සේරසිංහ 34, කසුන් විදුර 33, අලංකාර අසංක 5/102, නුවන් කරුණාරත්න 3/35.

බදුරලිය ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 113 (පන්දුවාර 44): ශෙහාන් ප්‍රනාන්දු 25, මතීෂ පෙරේරා 24, මලින්ද පුෂ්පකුමාර 6/41.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – (දෙවැනි ඉනිම) කඩුලු 5ක් දැවී ලකුණු 196 (පන්දුවාර 51): මහේල උඩවත්ත 73, විදුර අධිකාරි 45*.


සැරසන්ස් සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

අද දෙවැනි දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගයේදී දෙපිළටම සම වාසි හිමිව ඇත. ඊයේ BRC කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 195ට ප්‍රතිචාර වශයෙන් සැරසන්ස් පිතිකරුවෝ අද රැස් කලේ ලකුණු 173ක් පමණි. ඉරෝෂ් සමරසූරිය පමණක් අර්ධ ශතකයක් වාර්තා කල අතර ලහිරු ගමගේ සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

දෙවැනි ඉනිම ක්‍රීඩා කල CCC පිතිකරුවන් ලකුණු 208ට සියල්ලන්ම දැවී ගියේය. යොවුන් පිතිකරු වනිඳු හසරංග දෙවැනි ඉනිමේදීද සාර්ථක වෙමින් ලකුණු 64ක් වාර්තා කළේය. චතුර රන්දුනු ලකුණු 66ට කඩුලු 5ක් බිඳ හෙලීය. ලකුණු 231ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන සැරසන්ස් ක්‍රීඩකයින් දෙවැනි දිනය නිමාවන විට කඩුලු 2ක් දැවී ලකුණු 25ක් ලබා සිටියි.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 195 (පන්දුවාර 52.2): සචිත් පතිරණ 59, වනිඳු හසරංග 52, කුසල් මෙන්ඩිස් 24, කසුන් රාජිත 6/59, සුරාජ් රන්දිව් 2/53.

සැරසන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 52): ඉරෝෂ් සමරසූරිය 69, දෙනුවන් රාජකරුණා 29, ලහිරු ගමගේ 3/38, ලක්ෂාන් සඳකැන් 3/38.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) -සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 46.3): වනිඳු හසරංග 64, ලසිත් අබේරත්න 34, සචිත් පතිරණ 33, චතුර රන්දුනු 5/66, සුරාජ් රන්දිව් 3/33.

සැරසන්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 25 (පන්දුවාර 8).


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

පනාගොඩ දී දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වූ මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් යුධ හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 316ක් රැස් කිරීමට සමත් විය. යුධ හමුදාව වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් දියත් කල අසේල ගුණරත්න හතරේ පහර 19ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 158ක් වාර්තා කලේය. විකුම් බණ්ඩාර ලකුණු 73ට කඩුලු 6ක් බිඳ දමමින් BRC පිළ වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

BRC ප්‍රථම ඉනිම ලකුණු 219ක් තුලදී නිමාවිය. BRC නායක රුමේෂ් බුද්ධික ලකුණු 92ක් රැස්කල අතර විරාජ් පුෂ්පකුමාර ලකුණු 57ට කඩුලු 4ක් බිඳ හෙලන ලදී. දෙවැනි ඉනිම ක්‍රීඩා කරන යුධ හමුදා කණ්ඩායම මේ වන විට කඩුලු 2ක් දැවී ලකුණු 16ක් ලබා සිටියි.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 316 (පන්දුවාර 98.1): අසේල ගුණරත්න 158, ලක්ෂික මධුෂාන් 67, කසුන් ද සිල්වා 32, විකුම් බණ්ඩාර 6/73, දිනුක් හෙට්ටිආරච්චි 3/98.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 219 (පන්දුවාර 67.4): රුමේෂ් බුද්ධික 92, ලිසුර ලක්ෂාන් 60, විරාජ් පුෂ්පකුමාර 4/57.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 16 (පන්දුවාර 10).


NCC සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය

NCC කණ්ඩායම සත්කාරකත්වය දරන මෙම තරගය අද ක්‍රියාත්මක වූයේ ප්‍රථම දිනයටයි. එහිදී මුලින් පන්දුවට පහර දුන් NCC පිතිකරුවන් තමන්ට හොඳින් හුරුපුරුදු ක්‍රීඩාංගණයේ වාසියද උපයෝගී කර ගනිමින් ලකුණු 443ක් රැස් කිරීමට සමත් විය.

NCC ඉනිමේ ශක්තිය බවට පත්වූ නිරෝෂන් දික්වැල්ල අද හතරේ පහර 23ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 183ක් වාර්තා කලේය. ඔහුගේ වේගවත් ඉනිම සඳහා වැයවුනේ පන්දු 155ක් පමණි. සඳුන් වීරක්කොඩි, උපුල් තරංග සහ NCC නායක ෆර්වීස් මහරුෆ් අර්ධ ශතක වාර්තා කලහ. ඇඟිල්ලේ ආබාධ තත්වය සුවවීමෙන් අනතුරුව යළි ක්‍රීඩා කිරීම ඇරඹූ දිනේෂ් චන්දිමාල්ට අද ලබාගත හැකි වූයේ ලකුණු 3ක් පමණි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින් ප්‍රථම දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 9ක් ලබා සිටියි. කලක් ශ්‍රී ලංකා පිළේ වේග පන්දු බලාපොරොත්තුව බවට පත්ව සිට ආබාධයකට ලක්වුනු දුෂ්මන්ත චමීර මාස කිහිපයකට පසු අද දිනයේදී නැවතත් NCC කණ්ඩායම වෙනුවෙන් පන්දු යැව්මේ නිරත විය.

NCC – කඩුලු 9ක් දැවී ලකුණු 443 (පන්දුවාර 84): නිරෝෂන් දික්වැල්ල 183, ෆර්වීස් මහරුෆ් 67, සඳුන් වීරක්කොඩි 64, උපුල් තරංග 61, මලිත් ද සිල්වා 5/83.

බ්ලූම්ෆීල්ඩ් – කිසිවෙකු නොදැවී ලකුණු 9 (පන්දුවාර 4).

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට