ශ්‍රී ලංකාවට අවසන් තරඟය මඟ හැරෙන ලකුණු

287
IND v SL

ආසියානු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ සිව්වන තරගය, අද (01) ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායමට ‍එරෙහිව පැවතියේ බැංකොක් නුවර ආසියානු තාක්ෂණික ආයතන ක්‍රීඩාංගණයේදීය. එම තරඟයද ලකුණු 52කින් ජයග්‍රහණය කල ඉන්දීය කාන්තා කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා පන්දු යවන්නියන් යළි සාර්ථක වෙයි

ප්‍රසාද ලකුණු පුවරුවේ වැඩි ගෞරවය දිනාගෙන සිටින ඉන්දීය කාන්තා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. ඒ අනුව පිටියට පැමිණි මිතාලි දොරායි රාජ් හා ශ්‍රී නිවාස් මන්දහානා ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 46ක සුපිරි සබඳතාවයක් පළමු පන්දුවාර 10 ඇතුළත ගොඩනගන ලදි. ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ශ්‍රී නිවාස් මන්දහානා එක් 4 පහරක් සමඟ ලකුණු 21කට දවාලීමට චමරි ජයංගනී සමත් විය.

මිතාලි දොරායි රාජ් මෙම තරගාවලිය පුරාවට සුපිරි දස්කම් දක්වමින් පිතිකරණයේ නිරත වූ අතර  ඇය මෙම තරගයේ ද පන්දු 59ක් තුල මනරම් 4 පහර 6ක් සමඟ ලකුණු 62ක් ලබා ගනිමින් තම සුපුරුදු දස්කම් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේද එළි දක්වන ලදි. ඇය දුවද්දී දැවීයාමට හසුව තෙවන කඩුල්ල ලෙස දැවීයන ලදි.

වේඩා ක්‍රිශ්නමූර්ති මැදපෙළ පිතිකරණය තව තවත් බලගන්වමින් එක් 6 පහරක් සමඟ ලකුණු 21ක් ලබාගත් අතර ඇයට සහය දෙමින් නායිකා කවුර් බලූර් ලකුණු 10ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි.

ඉන්දීය කාන්තා කණ්ඩායම121/04 (20): මිතාලි දොරායි රාජ් 62, වේඩා ක්‍රිශ්නමූර්ති 21, ශ්‍රී නිවාස් මන්දහානා 21, උදේශිකා ප්‍රබෝදනී 1/20, ශ්‍රීපාලි වීරක්කොඩි 1/18

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙත ලකුණු 122ක අභියෝගාත්මක ලකුණු ප්‍රමාණයක්, තම තෙවන ජයග්‍රහණය සඳහා ලබා ගැනීමට නියමිතව තිබුණද, ලකුණු 16ක් තුල ආරම්භ පිතිකාරිනියන් යුගලම හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නියන් සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් මැදපෙළ ගොඩනැංවීමට මහේශිකා වීරක්කොඩි සමඟින් උත්සාහ කල ඩිලානි සුරංගිකා ලකුණු 20ක් ලබාගැනීමට සමත් වූ අතර ඇයගේ ඉණිමට කිසිදු 4 හෝ 6 පහරක් අන්තර්ගත නොවීය. මහේශිකා වීරක්කොඩි තම ලකුණු සංඛ්‍යාව ලකුණු 14ක් දක්වා වර්ධනය කරගත් අතර ඇය ඉන්දීය පන්දු යවන්නියන්ට 4 පහර 2ක් එල්ල කරන ලදි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම69/09 (20): ඩිලානි සුරංගිකා 20, මහේශිකා වීරක්කොඩි 14, එක්ටා බිශිට් 3/08, ප්‍රීටි බොසේ  3/14

අවසානයේ ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 52ක ජයග්‍රහණයක් ලබාගනිමින් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් ඉතිරිව ඇති බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ තරඟය වැඩි ලකුණු ප්‍රමාණයක් සහිතව ජයග්‍රහණය කිරීම අනිවාර්ය වන අතර එම තරඟය අනිද්දා (03) පැවැත්විමට නියමිතව ඇත. තවද මෙම තරගාවලියේ අවසන් මහා තරඟය සඳහා ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම බොහෝ දුරට සුදුසුකම් ලබාගැනීමට ඇති හැකියාව බහුලය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට