අතිසාර්ථක සිම්බාබ්වේ සංචාරයේ නිමාව සනිටුහන් කරමින් බ්ලූ-මවුන්ටන් තුන්කොන් එක්දින කුසලානය දෝත දැරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද (27) සමත් විය. බුලවායෝ හිදී පැවති අවසන් තරගයේදී ඔවුන් හමුවේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6ක පරාජයක් ලැබීය.

පසුගිය ලිපි: වර්ෂාවේ ආශිර්වාදයෙන් සිම්බාබ්වේ කණ්ඩායම අවසන් තරගයට

වැසිබර අහස් කුසත්, දිගු වේලාවක් වසා තැබූ තණතීරුවත් අඩු ලකුණු තරගයක් පිලිබඳ පෙරනිමිති පල කළත්, කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායකයා මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය.

නමුත් ඔවුන්ට රිසිසේ ලකුණු රැස් කිරීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සිම්බාබ්වේ ඉනිම ලකුණු 160කට සීමා කිරීමට සමත් වූහ. තම මංගල තරගයට ක්‍රීඩා කරන ටරිසායි මසකන්ඩා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 36ක් රැස් කළේය. ශෝන් විලියම්ස් ලකුණු 35යි. කලින් තරගයේදී නොදැවී ලකුණු 76ක් රැස් කරමින් සිම්බාබ්වේ කණ්ඩායමට නොසිතූ ජයග්‍රහණයක් උරුම කරදුන් සිකන්දර් රාසා අද ලකුණු 5ක් ලබා සිටියදී සචිත් පතිරණගේ පන්දුවකට ගොදුරු විය.

සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ දස්කම් ඉතාමත් ඉහළ මට්ටමක පැවතිණ. ඇඟිල්ලේ ආබාධය හේතුවෙන් කාලයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඈත්ව සිටි ජෙෆ්රි වැන්ඩර්සේ අද සුවිශේෂී පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 50ට කඩුලු 3ක් බිඳ හෙලීය. සචිත් පතිරණ ලකුණු 26ට කඩුලු 2යි. තම මද වේග පන්දුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිමය ලබා දුන් අසේල ගුණරත්නට අද කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ අවස්ථාව මග හැරී ගියේ අනූ නවයෙනි. ඔහු මුල් කඩුලු දෙක දවා ගැනීමෙන් අනතුරුව කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කර ගැනීම සඳහා බ්‍රයන් විටෝරි වෙත යැවූ පන්දුව නිලකුණු පන්දුවක් බවට පත්විය. නමුත් ඊලඟ පන්දුවෙන්ම ඔහුව දවාගෙන සිම්බාබ්වේ ඉනිම ලකුණු 160කට සීමා කිරීමට අසේල සමත් විය.

සිම්බාබ්වේ ඉනිම පන්දුවාර 36ක් තුල නිමාවීම නිසා දිවා විවේකයට පෙර පන්දුවාර 7ක් සඳහා මුහුණ දීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිදුවිය. එම කාලය තුලදී ඔවුන් පෙන්නුම් කලේ තරමක් දියාරු පිතිකරණ රටාවකි.

ඉනිමේ මුල්ම කඩුල්ල ලෙස ධනංජය සිල්වා කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. එම තීරණයට එරෙහිව ඔහු DRS අවස්ථාව ලබා ගත්තත් එය කෙලින්ම කඩුල්ලේ දැවටෙන පන්දුවක් බව පුනරූපන මගින් දැකගන්නට ලැබුණි. තරගාවලිය පුරා හොඳ රිද්මයක සිටි නිරෝෂන් දික්වැල්ල අද ලකුණු 16කට සීමා කිරීමට බ්‍රයන් විටෝරි සමත් විය. කුසල් පෙරේරාට අද ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 14ක් පමණි. දිවා විවේකයට පෙර බිඳ වැටුනු මෙම කඩුලු තුනේම හිමිකරුවා බවට පත්වීමට වමත් වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රයන් විටෝරි සමත් විය.

නමුත් දිවා විවේකයෙන් අනතුරුව තරගයේ පාලනය තමන් අතට ගත් කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග ශ්‍රී ලංකා පිළට අත්‍යවශ්‍යම මොහොතේ ලකුණු 75ක සබඳතාවයක් පැවැත්විය. කුසල් මෙන්ඩිස් තම කෙටි එක්දින දිවියේ සත්වෙනි අර්ධ ශතකය ලෙස ලකුණු 57ක් රැස් කලේ මනරම් හතරේ පහර 10ක් ඊට එක් කරමිනි. නායකත්වයේ වගකීම මැනවින් වටහා ගත් උපුල් තරංග තරග ජයග්‍රහණය ස්ථිර වනතුරුම ඉතාම ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 57ක් වාර්තා කළේය. තුන්කොන් තරගාවලියේ ජයග්‍රහණයද ඔහු එල්ල කල දැවැන්ත හයේ පහරක් සමගින් සනිටුහන් විය.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මානය ශ්‍රී ලංකාවේ නැගී එන යොවුන් ක්‍රිකට් තරුවක් වන කුසල් මෙන්ඩිස්ට හිමිවිය.

නිමාවූ සිම්බාබ්වේ සංචාරය ලෙස ආපසු හැරී බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් දැකගත හැකි ධනාත්මක කරුණු රාශියකි. ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් වැනි පරිණත පිතිකරුවන්ද ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද් වැනි ප්‍රවීණ වේග පන්දු යවන්නන්ද නොමැතිව සිම්බාබ්වේ බලා ගිය නවක ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම සැබවින්ම පැසසීමට ලක්විය යුතුය.

එසේම අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල වැනි නවකයින් තම වගකීම අකුරටම ඉටු කිරීම ශ්‍රී ලංකාව පැත්තෙන් ඉතාමත් සුබදායී සිදුවීම් වේ. එබැවින් දක්ෂතා අතර සිටින නවකයින් සහ කණ්ඩායමට නැවතත් එක්වීමට නියමිත ප්‍රවීණයින් සමඟින් නුදුරේදීම ඇරඹීමට නියමිත දකුණු අප්‍රිකා සංචාරයේදී දක්ෂතා දැක්වීම ශ්‍රී ලංකා පිළේ මීලඟ අභියෝගය බවට පත්ව ඇත.

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 160 (පන්දුවාර 36.3): ටරිසායි මසකන්ඩා 36, ශෝන් විලියම්ස් 35, ක්‍රේග් අර්වයින් 25, අසේල ගුණරත්න 3/10, ජෙෆ්රි වැන්ඩර්සේ 3/ 50, සචිත් පතිරණ 2/26.

ශ්‍රී ලංකා – කඩුලු 4ක් දැවී ලකුණු 166 (පන්දුවාර 37.3): උපුල් තරංග 57*, කුසල් මෙන්ඩිස් 57, අසේල ගුණරත්න 16*, බ්‍රයන් විටෝරි 3/52.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට