නාවික, යුධ ගැටුම එක් ලකුණින් විසඳෙයි

314
ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සතියේ පැවති යුධ හමුදා නාවික හමුදා තරගයේ ඡායාරූපයක් ©ThePapare.com

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් උණුසුම්කාරී තරඟයක්, ප්‍රබල නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර ඊයේ (26) පැවතියේ කොළඹ තුරඟ තරඟ පිටියේදීය. එම තරඟයෙන් ලකුණු 24-25ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

පසුගිය ලිපි: මහනුවර ක්‍රීඩා සමාජය තම සුපුරුදු දක්ෂතා අතරට

තරඟය ආරම්භ වූ සැනින් යුධ හමුදාව, නාවික හමුදාව පීඩනකට ලක්කරමින් දඩුවම් පහර අවස්ථාවක් ලබා ගත් අතර යුධ හමුදා ක්‍රීඩක ගයාන් සාලින්ද එය සාර්ථක කරගැනීමට සමත් විය (යුධ හමුදාව 3:0  නාවික හමුදාව).

එයින් මිනිත්තු කිහිපයකට පසු නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් චානක චන්දිමාල් ඩ්‍රොප් ගෝලයක් ලබා ගනිමින් ලකුණු පුවරුව සම කරන්නට සමත් විය (යුධ හමුදාව 3:3 නාවික හමුදාව)

ලී කීගල්, චානක චන්දිමාල්ගේ ද සහය ඇතිව මෙම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර තිලිණ වීරසිංහ එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි (යුධ හමුදාව 3:10 නාවික හමුදාව).

ඉන් අනතුරුව යුධ හමුදා ක්‍රීඩක සංජීව හපුගස්කුඹුර නාවික හමුදාවේ අභියෝග නොතකා පන්දුව ධවල රේඛාවෙන් එපිටට රැගෙන යමින් උත්සාහක දිනුමක් රැස්කල අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ගයාන් සාලින්ද සමත් විය (යුධ හමුදාව 10:10 නාවික හමුදාව).

නාවික හමුදා ක්‍රීඩක තිලිණ වීරසිංහ ලකුණු පුවරුව තව තවත් සවිමත් කරමින් තවත් දඩුවම් පහරකින් සාර්ථක කර ගන්නා ලදී (යුධ හමුදාව 10:13 නාවික හමුදාව).

පළමු අර්ධය නිමාවට තවත් මොහොතක් තිබියදී ලකුණු පරතරය 3ක සිට 10ක් දක්වා ඉහලට නංවා ගන්නට නාවික කණ්ඩායම සමත් විය. ඒ දුලංජන විජේසිංහගේ උත්සාහක දිනුම් අවස්ථාවත් සමගිනි. එහිද ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තිලිණ වීරසිංහ සමත් විය.

පළමු අර්ධය – යුධ හමුදාව 10 (1T, 1C, 1P) – නාවික හමුදාව 20 (2T,2C,1P,1DG)

ප්‍රේක්ෂකාගාරයේ උණුසුම් ප්‍රතිචාර මැද තරගයේ දෙවන අර්ධය ආරම්භ විය. නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් දෙවන අර්ධය තිලිණ වීරසිංහ විසින් ආරම්භ කල අතර දෙවන අර්ධයේ මුල් මිනිත්තු 18ක් තුල දෙපිලම කරට කර සටනක නිරත වෙමින් ලකුණු සොයා යන ලදී.

යුධ හමුදා කණ්ඩායමේ නායක අශෝක් ජයලාල් දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුම යුධ හමුදා කණ්ඩායම ඉදිරියෙන් සටහන් කර අතර ගයාන් සාලින්ද එහි ප්‍රවර්තනයද සාර්ථක කරගනිමින් තරගයේ උණුසුම්කාරී බව දෙගුණ තෙගුණ කරන ලදි (යුධ හමුදාව 17:20 නාවික හමුදාව).

තවද යුධ හමුදා කණ්ඩායම පළමු අර්ධයට සාපේක්ෂව වේගවත්ව හා උපක්‍රමශීලීව පන්දුව එකිනෙකා අතර හුවමාරු කරගනිමින් නාවික හමුදා කණ්ඩායම යම්තාක් දුරකට මානසිකව ඇද දැමීමට උත්සාහ කරන ලදි. එය සාර්ථක කරගනිමින් යුධ හමුදා වින්ගර් ක්‍රීඩක ඉරංග ආරියපාල වේගවත් උත්සාහක දිනුමක් තම කණ්ඩායම ඉදිරියෙන් වාර්තා කිරීමට සමත් වූ අතර ගයාන් සාලින්ද එහි ප්‍රවර්තනයද සාර්ථක කරගැනීමට සමත් විය (යුධ හමුදාව 24:20 නාවික හමුදාව).

ප්‍රසාද ලකුණු පුවරුවේ ප්‍රථම කණ්ඩායම් තුන අතර සිටින නාවික හමුදා කණ්ඩායමට තමන්ව අභිබවා යුධ හමුදා කණ්ඩායම ගමන් කිරීමට ඉඩ නොතබමින්, අවසන් මිනිත්තු කිහිපය ඉතා ආක්‍රමණශීලීව ක්‍රීඩා කරමින් ලකුණු සොය ගිය නාවිකයින් අතරින් චානක චන්දිමාල් එල්ල කල ප්‍රහාරය තම දෙවන උත්සාහක දිනුම දක්වා ගෙනයාමට ලී කීගල් සමත් වූයේ යුධ හමුදා කණ්ඩායම මවිත කරමිනි. අවසන් මොහොතේ තිලිණ වීරසිංහ හට එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට නොහැකි විය.

අවසාන ලකුණු තත්වය – යුධ හමුදාව 24 (3T, 3C, 1P) : නාවික හමුදාව 25 (3T,2C,1P,1DG)

ThePapare.com තරගයේ වීරයා – තිලිණ වීරසිංහ (නාවික හමුදා කණ්ඩායම)

යුධ හමුදා කණ්ඩායම

  • උත්සාහක දිනුම් – සංජීව හපුගස්කුඹුර, අශෝක් ජයලාල්, ඉරංග ආරිපාල, ගයාන් සාලින්ද
  • ප්‍රවර්තන – ගයාන් සාලින්ද 3,
  • දඩුවම් පහර –  ගයාන් සාලින්ද 1

නාවික හමුදා කණ්ඩායම,

  • උත්සාහක දිනුම් – ලී කේගල් 2, දුලංජන විජේසිංහ
  • ප්‍රවර්තන – තිලිණ වීරසිංහ 2,
  • දඩුවම් පහර තිලිණ වීරසිංහ 1
  • ඩ්‍රොප් ගෝල් 1 චානක චන්දිමාල්

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට

 Match Replay – Army SC v Navy SC – Dialog Rugby 16/17