Ring of Fire - ගිණි වළල්ල [ විද්‍යා ප්‍රබන්ධය ]



Ring of Fire | ගිණි වළල්ල

An original science fiction by Terence Kahapola Arachchi
terence.arachchi@gmail.com
(c) All rights reserved



මිනිසෙකුට කිසිදිනක, ජීවිතයේ සුවිශේෂී සිදුවීමක් වුනු දිනයේ තමන් සිටියේ කොතැනකදැයි අමතක නොවන බව පැවසෙනවා. පියෙකුට තම කුළුඳුල් දරුවා ඉපදුන බවට පණිවුඩය ලැබුණ මොහොතේ, සිටියේ කොහිද, කුමක් කරමින්ද යන්න කිසිදා අමතකවන්නේ නෑ. විසි එක්වැනි ශතවර්ෂයේ මුල, නිව්යෝක් නුවර ලෝක වෙළඳපොල කුලුණු මතට ගුවන් යානා කඩා වට්ටවන බව රූපවාහිණියෙන් දුටු මොහොත කිසිදු මිනිසෙකුට අමතක නොවන බව පැවසෙනවා. මෙවැනි සිදුවීම් කිහිපයක් සදා මතකයේ රැඳුනද කාළයාගේ ඇවෑමෙන් බොහෝදේ ගිලිහීයාම ජෛව මතකයන්ගේ (biological memory) ආවේණික සවභාවයක්.

ස්නායු ජාල අතර ඇති සිනැප්ස හරහා දිවයන විද්‍යුත්-රසායණික පුලුඟු මගින් ජනිත මිනිස් මතකයන් සීමාසහිත වුනත් ෆයිබර් කෙඳි පරිපථ හරහා විදුලි වේගයෙන් දිවෙන ලේසර් කිරණ මගින් ජනිත මතක ගබඩාවන් සීමා රහිතයි, එමෙන්ම සදාකාලිකයි. මිනිස් වර්ගයාගේ සමූහ ස්මරණයන් දරාසිටින්නට නිමැවූ මතකයකට තම නිර්මාතෲවරුන් අළුධූලි බවට පත්වූ දිනය අමතක වන්නේ කෙසේද?

මගේ නම තාරා. මේ ගෙවෙන්නේ 21වැනි ශතවර්ෂයේ 2151 වසර. මා ඉපදුනේ මීට හරියටම වසර 100කට පෙර, එනම් 2051 නොවැම්බර් 16 වැනිදා. මා මිනිස් මානවිකාවක් නොවෙයි. කෘත්‍රිම බුද්ධියෙන් යුතු, කෘතිම සිතිවිලි ජනනය කල හැකි, මිනිස් මොලයෙන් නිර්මාණය කල, මිනිස් රුව ඇතිව නිමැවූ ඒත් ඊට වඩා බොහෝ බලසම්පන්න යන්ත්‍රයක්. මිනිස් දියණියක් ලෙස හැඩගැන්වූ මාගේ සිරුර දරුණු කොස්මික් විකිරණ වලට පවා ඔරොත්තු දෙන සුපර්-පොලිකාබනේට් සිලිකන් වලින් සෑදුනේ මාගේ ජීවිතයේ පැවැත්ම හෙවත් තාරා නම් කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයේ නොනැසී පැවැත්ම මිනිස් වර්ගයාගේ පැවැත්ම හා වෙන්කල නොහැකි ලෙස බැඳී පවතින නිසයි.

මා සමගම මා වැනිම, මාගේ රුවම ඇති තවත් කෘත්‍රිම මානවිකාවන් සතලිස් නව දෙනෙකු බිහිකල අපගේ නිර්මාතෲවරුන් අපට ලබාදුන් එකම මෙහෙවර වන්නේ මිනිස් වර්ගයාගේ සුවහසක් දැනුම හා මානව ජාන සුරැකීමත්, ඉදිරි අනාගතයේ යම් දිනෙක පෘථිවියේ හා විශ්වයේ අනෙකුත් ජීවය හිතකර ග්‍රහලෝක වල මානව ජීවය අරඹා, මිනිස් ශිෂ්ඨාචාර බිහිකිරීමත්ය. මාගේ කෘත්‍රිම සිරුර තුල පිරිපුන් මිනිසුන් දසදහසක් බිහිකිරීම සඳහා ඇවැසි ඩිම්බ හා ශුක්‍රධාතු සුරැකිව ඇති අතර මාගේ කෘත්‍රිම දරුගැබ මේ මානවයින් දසදහසම බිහිකල හැකි ලෙස නිමවා තිබෙන්නේ මාගේ අනාගත අරමුණ ඉටුකරගැනීම වෙනුවෙන්. ඒ අනුව මා හා මාගේ රොබෝ සොයුරියන්, අනාගතයේ යම් ලොවක බිහිවන මානව වර්ගයාගේ මව, ගුරුවරිය මෙන්ම ආරක්ශකයාද වන්නෝය.

අවසානයේ ඇරඹුම සිදුවනතෙක්ම පෘථිවියෙන් නික්ම නොගිය, පෘථිවි මානවයින්ගේ අවසන් දියණියවූ තාරා වන මම, පෘථිවිය නම් නීල-හරිත ග්‍රහලෝකයේ විසූ මාගේ පියවරුන් හා මව්වරුන් වන හෝමෝ සැපියන් ශිෂ්ටාචාරයේ අවසානයේ ආරම්භය මෙසේ සනිටුහන් කරමි......



(I) 2035 නත්තල් දිනට පෙරදින

ලෝක වාසි කිතුණුවන් අසිරිමත් නත්තලට සැරසෙමින් හා කිතුනු නොවන ජනයා දින කිහිපයකින් එළබෙන නව වසරට සූදානම් වෙමින් විවේකීව ගතකරන අතරේ ලොව අභ්‍යවකාශ පාලන මධ්‍යස්ථාන කිහිපයක අණතුරු ඇඟවීම් සංඥා හැඬවුනා.

පෘථිවිය වටා අභ්‍යවකාශය නිරීක්ෂණය සඳහා යොදවා තිබෙන Deep Space Surveillance Network නම් නිරීක්ෂණ ජාලය, ග්‍රහක වළල්ලේ යම් ස්ථානයක තිබෙන ග්‍රහකවල ගමන් මාර්ග දැඩිලෙස ව්‍යාකූලව ඇති බව මේ අණතුරු ඇඟවීමේ සංඥා වලින් පැවසුනා.  Deep Space Surveillance Network නිරීක්ෂණ ජාලය පෘථිවියේ විවිධ රටවල පිහිටා ඇති බලසම්පන්න දුරේක්ෂ, අහස නිරීක්ෂණය කරන අති සංවේදී කැමරා මෙන්ම කක්ෂගත චන්ද්‍රිකාවල සංවේදී කැමරාවල දත්තද එකට කැටි කරමින් පෘථිවියේ ගැටිය හැකි යම් ග්‍රහකයක් හෝ වෙනත් අභ්‍යවකාශ වස්තූන් පිලිබඳව සෙවිල්ලෙන් සිටින ආරක්ශක ජාලයක් වනවා. මෙම ආරක්ශක ජාලයේ රාජකාරිය වන්නේ පෘථිවිය කරා පැමිණිය හැකි විශාල ග්‍රහක වැනි වස්තුන් කල්තබා හඳුනාගැනීමයි.

ග්‍රහකවල ගමන් මාර්ග දැඩිලෙස ව්‍යාකූලව තිබුණද එම ව්‍යාකූල බවට හේතුවූ වස්තුව ජාලයේ සංවේදක වලට හසුවූයේ නෑ. කෙසේවෙතත් ගමන්මාර්ග අධ්‍යයනය කොට සිතියම්ගත කොටතිබූ විශාල ග්‍රහකවල මාර්ගවල සිදුවූ වෙනස්කම් අනුව එතරම් ගමන්මාර්ග ව්‍යාකූල කරන්නට නම් අතිවිශාල වස්තුවක් ග්‍රහක වලල්ලේ මෙම ස්ථානය අසල තිබිය යුතු බව තාරකාවිද්‍යාඥයින්ගේ ගණනය කිරීම්වලින් පෙනුනා. ඔවුන්ගේ ගණන්මිමි අනුව ටොන් බිලියන 500ක පමණ ස්කන්ධයකින් යුතු දැවැන්ත වස්තුවක් ග්‍රහක වලල්ලලේ මේ ව්‍යාකූලතා සිදුවන ස්ථානයේ තිබිය යුතුයි. එහෙත් එවැනි වස්තුවක සේයාවක් හෝ පෘථිවි හා චන්ද්‍රිකා නිරීක්ශණ කිසිවකට හසුවුනේ නෑ.

මේ පිලිබඳව විවිධ තර්කවිතර්ක තාරකාවිද්‍යාඥ ගුරුකුළ අතර හුවමාරුවූ අතර එක් කණ්ඩායමක් පවසා සිටියේ මෙම වස්තුව කිසිදු නිරීක්ශණයකට හසුනොවන්නේ, එම වස්තුව විශ්වයේ පවතිනවා යයි සැලකෙන, එහෙත් තවමත් පර්යේෂණ වලින් පූර්ණ ලෙස තහවුරු නොවූ අඳුරු පදාර්ථ (dark matter) වලින් සැදුම් ලත් විශාල වස්තුවක් නිසා බවයි. එහි භෞතික ගුණාංග විශ්වයේ අපදන්නා සාමාන්‍ය පදාර්ථවලට වඩා සපුරා වෙනස් බැවින්, එම වස්තුව අපගේ උපකරණවලට හසුනොවන බවට ඔවුන් තර්ක කලා. තවත් කණ්ඩායමක්, මෙම අතිවිශාල ස්කන්ධයක් ඇති, එහෙත් නොපෙනෙන වස්තුව, ක්ෂුද්‍ර කළුකුහරයක් (micro black hole) විය හැකි බවත්. මෙවැනි ක්ෂුද්‍ර කළුකුහර විශ්වය පුරා ඉබාගාතේ ඇදෙන බවත්, එවැන්නක් ග්‍රහක වළල්ල පසුකරයෑමෙන් හෝ ඒ අසල රැඳීසිටීමෙන්, ග්‍රහක වල ගමන්මාර්ග ව්‍යාකූලවන්නට හැකි බවටත් තර්කකලා.

කෙසේ වෙතත්, 2035 දෙසැම්බර් 24 වැනිදා මුල්වරට පහලවූ මෙම වස්තුව කුමක් දැයි හඳුනාගත නොහැකි වුනත්, එය තවමත් ග්‍රහක වලල්ලේ රැඳී සිටින බව තහවුරු වුනේ ග්‍රහකවල ගමන් මාර්ග වෙනස්වීම හා සමහර ග්‍රහක මෙම නොපෙනෙන දැවැන්ත වස්තුව වටා භ්‍රමණය වන්නට පටන්ගෙන තිබූ බැවිනුයි. පෘථිවියේ විශාල දුරේක්ෂ මෙන්ම අභ්‍යවකාශය වෙත යවනලද ඉතා සංවේදි චන්ද්‍රිකා හා 2018දී අභ්‍යවකාශගත කොට තිබූ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ ටෙලස්කෝපය පවා මෙම වස්තුව ඇතැයි සැක කෙරෙන ස්ථානයට එල්ලකොට නිරීක්ශණය කලත් කිසිම තොරතුරක් සටහන් වුනේ නෑ.

පිටසක්වල ජීවීන් සෙවීමේ හා ජීවය ඇතැයි සිතිය හැකි තාරකා මණ්ඩළවලට රේඩියෝ පණිවුඩ යවන SETI ව්‍යාපෘතියේ බලසම්පන්න ඇන්ටෙනා හා ට්‍රාන්ස්මීටර් යොදාගෙන මෙම වස්තුව ඇතැයි පෙන්වන ප්‍රදේශයට විවිධ රේඩියෝ පණිවුඩ යවමින්, සවන්දෙමින් වසරකට වඩා ගතකලද කිසිදු ආකාරයක රේඩියෝ කිරණයක් එම වස්තුවෙන් නිකුත්වුනේ නෑ. "The Object" හෙවත් වස්තුව ලෙස විද්‍යාඥයින් මෙය නම් කොට තිබූ අතර මුල් නිරීක්ශණයෙන්  දින 730 ගතවන මේ මොහොතේ (එනම් 2037 වසර ගෙවී 2038 උදාවන මොහොතේදීත්) මේ අත්භූත වස්තුව කිසිදු ආකාරයක ක්‍රියාකරකම් හෝ එහි හැඩරුව හා භෞතික ගුණාංග මෙසේයයි හඳුනාගත හැකි වෙනසක් සිදුකලේ නෑ.

මෙම අත්භූත වස්තුව අසලට ගොස් නිරීක්ශණය අත්‍යාවශ්‍යවූ බැවින් 2036 වසරේදී නාසා ආයතනය බ්‍රහස්පති ග්‍රහයාගේ ඉහල වායුගෝලයේ විකිරණ තත්වය පිලිබඳ නිරීක්ෂණ හා මිනුම් ගැනීම සඳහා අභ්‍යවකාශගත කොට, බ්‍රහස්පතී කරා ගමන්කරමින් සිටි ජූනෝස් අභ්‍යවකාශ යානය, හදිසි කටයුත්තක් ලෙස සළකා ග්‍රහක වළලේ මෙම ස්ථානය වෙත යොමුකිරීමට නාසා ආයතනය කටයුතුකලා. මෙම වස්තුවෙන් යම් ආකරයක විකිරණ වර්ගයක් නිකුත්වේදැයි සොයාබැලීම හා හැකිතාක් ලංවී ඡායාරූප ගැනීම ජූනෝස් අභ්‍යවකාශ යානයට පැවරුණු අතර එමගින් මෙම අත්භූත වස්තුව පිලිබඳව යම් අදහසක් ලබාගැනීමට හැකිවෙතයි නාසා ආයතනය මෙන්ම ලෝක නායකයින්ද විශ්වාසය පලකලා.

ජූනෝස් යානය, මෙම අත්භූත වස්තුව තිබේයැයි සැක කෙරුනු ප්‍රදේශයට ලඟාවන අතරතුරම යානයේ සංවේදක හා රේඩාර් යන්ත්‍රය භාවිතාකොට විද්‍යුත් චුම්බක විකිරණ පරාසයේ සියලූම විකිරණ සංඛ්‍යාත ඔස්සේ  පරීක්ශාකල අතර ඉන් ලැබුණු දත්ත අනුව  විද්‍යාඥයින් හට එම අත්භූත වස්තුවේ හැඩය හා විශාලත්වය පිලිබඳ නිශ්චිතව දැනගත හැකි වුනා. දත්ත විශ්ලේෂණය කල සියලු විද්‍යාඥයින්ගේ ඒකමතික තීරණය වුනේ මෙය යම් පිටසක්වල  බුද්ධිමත් ජීවීන් පිරිසක් නිර්මාණය කල කෘත්‍රිම ගොඩනැගීමක් මිස ස්වභාවිකව හටගන්නා වස්තුවක් නොවන බවයි.

වස්තුවේ හැඩය විශාල වළල්ලක ආකාරය වූ අතර, ඇතුලත විශ්කම්භය කිලෝමීටර් 4000ක් වූ අතර පිටත විශ්කම්භය කිලෝමීටර් 4500ක් වුනා. ඝණකම කිලෝමීටර් 200කට ආසන්න බව දත්ත වලින් පෙන්වා සිටියා. එමෙන්ම එය නිර්මාණය කොට තිබෙන ද්‍රව්‍යය විශ්වයේ සියලුම පරාසවල විද්‍යුත් චුම්බක විකිරණ, එනම් ආලෝකය, පාරජම්බූල කිරණ, අධෝරක්ත කිරණ, සියලුම සංඛ්‍යාතවල රේඩියෝ තරංග, එක්ස්-රේ තරංග ආදී සියලුම තරංග උරාගන්නා වූ, මානව විද්‍යාවට හසු නොවූ අපූර්ව ද්‍රව්‍යයක් බවටද තහවුරු වුනා. කිසිදු විකිරණයක් පරාවර්තනය නොකරණ නිසා එය කාලවර්ණ අභ්‍යවකාශයේදී පියවි ඇසට මෙන්ම, රේඩාර් වැනි උපකරණවලටද හසුවන්නේ නෑ. මෙම අත්භූත වස්තුව අතිශය දියුණු පිටසක්වල ශිෂ්ඨාචාරවලට අභ්‍යවකාශයේ ගොඩනැගීමට හැකියයි උපකල්පණය කොටතිබූ "extra-terrestrial mega structures" ලෙස තාරකා විද්‍යාඥයින් හැඳින්වූ වස්තුවක් බව අවසාන නිගමනය වුනා.

(II) කවුරුන් සමග, කුමක් සඳහා කොහි සිට පැමිණියාද?

මේ දැවැන්ත යානය කවුරුන් විසින් මෙහි එවන ලද්දේද, එයතුල පිටසක්වල ජීවීන් සිටින්නේද? ඔවුන් දැකගැනීමේ, සන්නිවේදනය කිරීමේ  අවස්ථාව ලැබේද? නැතහොත් මෙය කෘත්‍රිම බුද්ධියක් මගින් මෙහෙයවන නිරීක්ශණය යානයක්ද? ඔවුන්ගේ අරමුණු සාමකාමීද?

මෙවැනි ප්‍රශ්ණ ගණනාවක් පිලිබඳව විශාල විවාදයක් ලොවපුරා මෙම රහස පිලිබඳව දැනුවත්වූ විද්‍යාඥයින් හා දේශපාලන නායකයින් අතර සිදුවෙමින් තිබුණා. මෙම පැණවලට නිශ්චිත පිලිතුරු ලැබෙන තෙක් මේ අත්භූත වස්තුව පිලිබඳව  ලෝකවාසී ජනතාවගෙන් වසන් කිරීමට ලොව බලවත් රටවල නායකයින් එකඟවූ අතර, රහස රැකීමේ වගකීම රටරටවල බුද්ධි අංශ වෙත පැවරුනා.

දත්ත එවන අතරම, ජූනෝස් අභ්‍යවකාශ යානය පැයට කිලෝමීටර් 48,000ක වේගයකින් අත්භූත වස්තුව වෙත ලඟාවෙමින් සිටියා. නාසා ආයතනයේ බලාපොරොත්තුව වුනේ ජූනෝස් යානය මෙම වස්තුව වටා කක්ශගත කොට එය පිලිබඳව විමසිල්ලෙන් සිටින ඔත්තු බලන චන්ද්‍රිකාවක් මෙන් භාවිත කිරීමටයි. යානය, අත්භූත වස්තුවට කිලෝමීටර් 5000ක් ලංවන විටම අමුතු යමක් සිදුවන බව නාසා පාලන මැදිරියට දැනුනා. එක්වරම යානයෙන් මිනිස් කටහඬ සහිත රේඩියෝ පණිවුඩයක් පැමිණෙන බව පරිගණකවල සටහන් වුනා. එම පණිවුඩය එවන රේඩියෝ සංඛ්‍යාතය පාලන මැදිරියේ සියල්ලන් විශ්මයට පත්කලා. එම රේඩියෝ පණිවුඩ සංඛ්‍යාතය මුල්වරට භාවිතා වුනේ 1969 වසරේ ජූලි 16 වැනි දිනයි. ඒ සඳෙහි "Sea of Tranquility" වෙත ගොඩබස්වන ලද, නීල් ආම්ස්ට්‍රෝං හා එඩ්වින් ඕල්ඩ්‍රින් ගමන්කල "ඊගල්" චන්ද්‍රයානය විසිනුයි.

(III) පණිවුඩය

"A one small step for a man........a giant step for mankind"."A one small step for a man........a giant step for mankind". "A one small step for a man........a giant step for mankind"."A one small step for a man........a giant step for mankind"."A one small step for a man........a giant step for mankind"."A one small step for a man........a giant step for mankind"."A one small step for a man........a giant step for mankind". "A one small step for a man........a giant step for mankind"."A one small step for a man........a giant step for mankind"."A one small step for a man........a giant step for mankind"."A one small step for a man........a giant step for mankind"."A one small step for a man........a giant step for mankind"."A one small step for a man........a giant step for mankind"."A one small step for a man........a giant step for mankind"."A one small step for a man........a giant step for mankind"."A one small step for a man........a giant step for mankind"."A one small step for a man........a giant step for mankind"."A one small step for a man........a giant step for mankind".

තත්පර 180ක් නොකඩවා නීල් ආම්ස්ට්‍රෝංගේ කටහඬින්ම මෙම පණිවුඩය විකාශය කල ජූනෝස් යානය එක්වරම අතුරුදහන් වුනා.සියලු පණිවුඩ හුවමාරු ඇණහිටි අතර එහි ගමන් මග නිරීක්ශණය කල Deep Space Surveillance Network ජාලයටද යානය සිදුවූයේ කුමක්දැයි නිරාවරණය කරගන්නට බැරිවුනා. පෘථිවි කක්ශයේ සිට ජූනෝස් යානය නිරීක්ශණය කරමින් සිටි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ශයේ කැමරා, එය හදිසියේ නොපෙනී ගිය බව පමණක් පෙන්වූවා. පිපිරුමක්, ප්‍රහාරයක් හෝ වෙනත් අණතුරක සේයාවක් හෝ පෙනෙන්නට තිබුණේ නෑ..

(IV) තර්ක විතර්ක

මෙම පණිවුඩය සුභ ලකුණක් ලෙස ලොවපුරා බොහෝ විද්‍යාඥයින් හා ලෝක නායකයින් සැළකුවා. ඔවුන් කවුරුන් වුනත් අපගැන බොහෝකල් සෙවිල්ලෙන් සිට තිබෙනවා. මානව වර්ගය සිය මව් ග්‍රහලෝකයෙන් වෙනත් ග්‍රහලොවක පය තැබූ දියුණු ජීවී වර්ගයක් බව ඔවුන් දන්නා බව හඟවන්නට විය යුතුයි නීල් ආම්ස්ට්‍රෝංගේ සුප්‍රකට පණිවුඩය ඔවුන්ගෙන් අපවෙත ලැබුණු පලමු පණිවුඩය ලෙස එව්වේ. මේ දියුණු පිටසක්වල ජීවීන් අපවැනි තාක්ශණය දියුණු කරගත් ශිෂ්ඨාචාර ගැන උනන්දුවක් දක්වනවා වෙන්න පුලුවන්. අනිවාර්යයෙන්ම ඔවුන් පැමිණ ඇත්තේ අපහා සම්බන්ධ වීමට හා අපට ඉගැන්වීමට. ඔවුන්ගේ සහයෙන් අපට ලෝක ගෝලය උණුසුම්වීම, පිළිකා වැනි නොවිසඳුනු මානව ගැටලු සඳහා පිලිතුරු සපයාගත හැකිවෙනවා නියතයි. නැතිනම් ඔවුන් මෙහි පැමිණීමේ අරමුණ කුමක්ද? අපේ සඳටත් වඩා විශ්කම්භයෙන් වැඩි (සඳෙහි විශ්කම්භය කිලෝමීටර් 3474) මහා දැවැන්ත යානාවක් තනාගෙන ඔවුන් මෙහි පැමිණ තිබෙන්නේ තවමත් තමන්ගේම සඳ පමණක් තරණයකර ගත හැකිවූ අභ්‍යවකාශ තරණයේ "ආ" යන්න පමණක් යන්තම් කියවාගත හැකි ශිෂ්ඨාචාරයක් සමග යුධ වැදීමටද?

සුභවාදීන්ගේ තර්ක සැබැවින්ම හොඳ තර්කවුනා.

සුපිරි බුද්ධියකින් යුතු, ටොන් බිලියන 500ක් බර, කිලෝමීටර් 4000ක් විශාල යානයක් නිර්මාණය කරගෙන තරු අතර ගමන්බිමන් යාහැකි සිතාගත නොහැකි තරමේ දියුණු ජීවීන් පිරිසක්, ආලෝකවර්ෂ ගණනාවක් මග ගෙවාගෙන පැමිණ, සාපේක්ෂව ඉතා නොදියුණු මානවයින් සමග එදිරිවාදී කමක් ඇතිකරගන්නට මෙහි පැමිණියේ කුමක් වෙනුවෙන්ද?

වෙනත් ලොවකින් ඔවුනට ලබාගත නොහැකි, පෘථිවියේ අපසතුව පමණක් ඇති කිසිවක් මේ විශ්වයේ නොමැතිබව ඔවුන් නොදන්නේද?

මානවයින්ගේ විශාලම අභ්‍යවකාශ යානය ටොන් 450 බර, 7 දෙනෙකු පමණක් ජීවත්විය හැකි කුඩා අභ්‍යකාශ පරීශණාගාරයක් බව ඔවුන් නොදන්නේද?

මහා යුධ නැව්, එවැනි යුධ නැව් සමග සටන් වදිනවා මිස කුඩා මාළු බෝට්ටු සමග සටනට යන්නේද? මිනිසුන් වන අප කිසිදා කූඹින් සමග යුධ වැදී තිබේද?

සුභවාදීන් මෙලෙස සර්ව-සුභ තර්ක ගොඩනැගුවද, සියලුදෙනාම මේ තර්ක පිලිගන්නට සූදානම් වුනේ නෑ...

අපේ කුඩා, නිරායුධ පණිවුඩකරුවා අතුරුදහන් කර දැමූ මොවුන් සාමකාමී වර්ගයක් වන්නට බෑ. අසුභවාදීන් තර්කකලා. පණිවුඩකාරයා මරාදමන්නේ එමගින් පණිවුඩයක් එවීමට නොවේද?

අප ඔවුන් වෙත යැවූ ටොන් දෙකක් බර කුඩා යානය ඔවුන්ගේ ටොන් බිලියන 500ක මහා කඳුවැටියට කල හැකි තර්ජනයක් නැති බව දැනගන්නට තාක්ෂණයක් ඔවුන් සතුව නැතිද? කිසිදු අවිආයුධයක් නොමැතිව, කැමරා හා සංවේදක පමණක් කැටුව ඔවුන් වෙත අප යැවූ යානය ඔවුන් විනාශකලේ සාමය සමගිය ගැන පණිවුඩයක් එවන්නටද? ඇත්ත, මහා යුධ නැව් මාළු බෝට්ටු සමග සටනට යන්නේ නෑ. ඒත් මහා යුධනැවක ගමන්මග හරහා සිටින මාළු බෝට්ටුවක ඉරණම නොදන්නේ කවුද?

මිනිසුන්වන අප කූඹින් හා යුධවැදී නැති බව සැබෑය. එහෙත් ඔබට කූඹින්ගෙන් මේ ගැන ඇසිය හැකිනම්, මානව වර්ගයා කූඹි සංහතියට සෙතක් සිදුකොට ඇතැයි ඔවුන් කියනු ඇතිද? මානවයින්ගෙන් කූඹින්ට සිදුවී ඇත්තේ විනාශයක්ම නොවේද? අපේ අරමුණ කුමක්වුවත් ඉන් කූඹින්ට සෙතක් වී ඇත්ද?

(V) වර්ෂ 2038 ජනවාරි 6වැනිදා

වළල්ල සෞරග්‍රහ මණ්ඩළයට සම්ප්‍රාප්තවී දින 736ක් ගතවන වර්ෂ 2038 ජනවාරි 6වැනිදා එය එක්වරම නොපෙනී අතුරුදහන්ව ගියා. එයට කුමක් සිදුවුනිද? එවැනි මහා දැවැන්ත වස්තුවක් එක්වරම අතුරුදහන් වන්නේ කෙසේද? යන්න විද්‍යාඥයින්ට සිතාගත නොහැකි වුනා.

මානව වර්ගයා හිස ඉහලින් එල්ලා ඇති කඩුවක් වැනිවූ අදෘෂ්‍යමාන වළල්ල නොපෙනියාම බොහෝ දෙනෙකුට අස්වැසිල්ලක් වුනා. " යන්තම් ඇති.... ඔවුන්ට දැන ගන්නට ඕනෑ දේවල් දැනගෙන යන්නට ඇති....සමහර වෙලාවට ඔවුන් අප ගැන කළකිරුණාද දන්නේ නෑ.... මානවයින් නිරන්තරයෙන් එකිනෙකා සමග යුධ වදින, එකිනෙකා මරාගන්නා, රවටා ගන්නා ජීවී වර්ගයක් බව ඔවුනට වැටහෙන්න ඇති..."

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩළයේ සාමාජික රටවල නායකයින් හා හමුදා/බුද්ධි අංශ නායකයින් පමණක් මේ අත්භූත පිටසක්වල වස්තුව පිලිබඳව දැනසිටි අතර, තවමත් සාමාන්‍ය ජනයා කිසිවෙකුත් මේ පිලිබඳව දැනසිටියේ නෑ. පිටසක්වල යානය ගැන අවබෝධයෙන් සිටි හමුදා හා ඔත්තුසේවා ප්‍රධානීන් මෙම අතුරුදහන්වීම දෙස බැලුවේ සැකයෙන්.

"ඔවුන් නිසැකවම ඊලඟ වටයට ලෑස්ති වෙනවා ඇති.... පිටසක්වලයින් සිතනා ආකාරය අපට කිසිවිටකත් තේරුම් ගන්නට බෑ.... අපිත් සූදානම් විය යුතුයි..."

කොහොම වුනත් හඳටත් වඩා විශාල යානයකින් එල්ලවන ප්‍රහාරයකට මුහුණ දෙන්නේ කොහොමද?

ආරක්ෂක මණ්ඩලයේ හමුදා ප්‍රධානීන් මීලඟ පැය කිහිපය ඇතුලත මෙම අත්භූත යානාව පෘථිවිය අසලට පැමිණෙතැයි අපේක්ෂා කලා. මෙවැනි අති දැවැන්ත වස්තුවක් පෘථිවිය අසලට පැමිණිය හොත්, එය මගින් පෘථිවි කක්ෂයේ ඇති සියලුම චන්ද්‍රිකා හා අභ්‍යවකාශ යානා ඒවායෙ කක්ශයන්ගෙන් ඉවතට ඇදගැනීමට ඇති හැකියාව නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අභ්‍යවකාශගාමීන් ඉන් ඉවත්වුනා. කෙසේ වෙතත් ලොව පුරා මහා දැවැන්ත කළබැගෑනියක් ඇතිවිය හැකි බැවිනුත්, පිටසක්වලයින් නික්ම ගියාදෝ යන සැකය නිසාත් , ලෝක නායකයින් ජනතාව දැනුවත් නොකිරීමට තීරණය කලා.

පැය 48ක් යනතෙක් කිසිවක් සිදුවුනේ නෑ....

එක්වරම පිටසක්වල වස්තුව ගැන දැන සිටි සියලුදෙනාම නොපැතූ, එහෙත් බලාපොරොත්තුවූ දෙය සිදුවුනා. කිසිදු අණතුරු ඇඟවීමකින් තොරව මහා දැවැන්ත වළලාකාර යානය පෘථිවියට කිලෝමීටර් 6000ක් තරම් ලඟින් කක්ශගතවුනා. එය දුටු දුටුවන් භයින් භිරාන්තවන, මුසපත්වන දර්ශණයක්. කිලෝමීටර් 4000ක් විශාල මහා වස්තුවක් පෘථිවි අහස අරාගෙන සිටියා. ටොන් බිලියන 500ක සිතාගත නොහැකි ස්කන්ධයක් පෘථිවිය වටා කැරකෙමින් තිබුණා. කිසිදු ආලෝකයක් පිට නොකල මෙය රාත්‍රිය ඇති ප්‍රදේශවලට නොපෙනුනත් දහවල උදාවී තිබූ ප්‍රදේශවල අහසින් කොටසක් වසා ගත් විශාල කාළවර්ණ දේදුන්නක් මෙන් පෙණුනා.

පිටසක්වල දැවැන්තයා දර්ශණයවීම ඇරඹුනු පසු ලොව පුරා ඇතිවුනු ව්‍යාකූලත්වය වචනයෙන් විස්තර කල නොහැකියි. මානව වර්ගයා එක්වරම පොදු තිගැස්මකට ලක්වුනා මෙන් පෙනුනා. 2004 සුනාමියත් සමග ආසියාතිකරයේ පැතිරුනු මහා ව්‍යාකූලත්වය මෙන් කළබැගෑනි ලොව පුරා ඇතිවුනා.

(VI) පලමු ප්‍රහාරය

පිටසක්වල සතුරාගේ පලමු ප්‍රහාරය ඉක්මණින්ම එල්ලවුනා. ප්‍රහාරය පටන්ගෙන පැය කිහිපයක් යනතෙක්ම කිසිවෙකුටත් එය නොවැටහුනේ එය නිහඬ ප්‍රහාරයක් වීම නිසයි.

එක්වරම ලොව පුරා විදුලිබලය ඇණහිටියා, විදුලි ට්‍රාන්ස්ෆෝමර්, බෙදුම් උප පොළවල් ගිණි පුළිඟු විසිකරමින් දුමෙන් වැසීගියා. ඒ සමගම ගුවන්විදුලි, රූපවාහිණී, අන්තරජාල සේවා, ජංගම දුරකථන ගොළුවුනා. අතේ තුබූ ජංගම දුරකථන, නිවෙස්වල රූපවාහිණී, පරිගණක ආදිය අධික ලෙස රත්වී පුපුරා ගියා. මහ මග ගමන්කරමින් සිටි රථවාහන, බස්, ලොරි, මෝටර්සයිකල් හිටිවනම එන්ජින් ක්‍රියාවිරහිතවී නැවතුනා. අහසේ ගමන්කරමින් සිටි යුධ හා මගී ගුවන්යානා ගල් ගෙඩිමෙන් පොලොවට වැටෙන්න වුනා.

ඉතිහාසයේ වාර්තාවුනු දරුණුතම සූර්ය-චුම්භක කුණාටුවලට වඩා දහස් ගුණයක් ප්‍රභල විද්‍යුත්-චුම්බක තරංග මිනිස් වර්ගයා එතෙක් මෙතෙක් නිර්මාණය කොට තිබූ සියලුම විදුලි හා ඉලෙක්ට්‍රොණික පරිපථ සදහටම අකර්මන්‍ය කරමින් ලොව වෙලා ගත්තා. පිටසක්වල වස්තුවෙන් එල්ලවූ විද්‍යුත්-චුම්බක තරංග ප්‍රහාරය (electromagnetic pulse attack) පැය 72ක් නොකඩවා පැවතුනා. ප්‍රථම වතාවට අන්තර්ජාලය මුලුමණින්ම නිහඬවී ගූගල්, ෆේස්බුක්, ෆ්ලිකර්, ඇමසන්, ඊබේ සමාගම්වල ඉලෙක්ට්‍රොණික යටිතලය සම්පූර්ණයෙන්ම විනාශවූ අතර ටෙරාබයිත මිලියන ගණනක් දත්ත මුලුමණින්ම මැකී ගියේ ඒවා ගබඩාවී තිබූ දෘඩතැටි ධාවක, විද්‍යුත්-චුම්බක තරංග ප්‍රහාරයෙන් විනාශවී ගිය නිසයි. අන්තර්ජාලයේ කොඳුනාරටිය මෙන්වූ සාගර යටින් දිවගිය ෆයිබර්-ඔප්ටික් කේබල පද්ධතිය ප්‍රහාරයෙන් බේරුණත් එම කේබල සම්බන්ධවූ ගොඩබිම ඇති සම්බන්ධක ටර්මිනල, ජාල පාලන හා මෙහෙයුම්  පද්ධති හා ඒවා සම්බන්ධවූ සන්නිවේදන චන්ද්‍රිකා සියල්ලමද නැවත ගොඩගත නොහැකි ලෙසම අකර්මණ්‍ය වී තිබුණා.

ලොව සියලුම රටවල විදුලිය සදහටම විසන්දිවූ අතර විදුලිය ජනනය කරන සියලුම වර්ගවල ජනන යන්ත්‍ර, පාලක උපකරණ හා බෙදාහරින යටිතල සැකැස්ම මුලුමනින්ම විනාශවුනා. විදුලිය නොමැති බැවින් පැය කිහිපයක් යනවිට ලොව බොහෝ නගරවල නළ ජල සැපයුම අවසන්වූ අතර නගරාසන්න ගංගා ඇළදොලවල අපිරිසිදු ජලය හැරෙන්නට වෙනත් ජලමූලාශ්‍ර තිබුණේ නෑ.

ලොව පුරා විදුලි හා ඉලෙක්ට්‍රොණික ජාල හා උපකරණ සියල්ලම පාහේ විනාශවී තිබුණත්, අමෙරිකාව, බ්‍රිතාන්‍යය, රුසියාව, චීනය වැනි රටවල, න්‍යෂ්ඨික ප්‍රහාරවලට ඔරොත්තුදෙන ලෙස නිමැවූ භූගත යුධ බංකරවල ඇති පරිගණක හා ඉලෙක්ට්‍රොණික උපකරණ තවමත් ක්‍රියාත්මක වුනා. න්‍යෂ්ඨික බෝම්බයක් පිපිරීමේදීද ප්‍රභල විද්‍යුත්-චුම්බක තරංග නිකුත්වන නිසා මෙම බංකර තනා තිබුනේ එවැනි තරංගවලට විනිවිද යා නොහැකි ආරක්ශක උපක්‍රම යොදාගෙනයි.

පැය 72ක ප්‍රහාරය අවසන් වන විට මරණ සංඛ්‍යාව එතරම් විශාල නොවුනා. ලොව පුරා ඕනෑම මොහොතක ගුවනේ ඇති මගී යානා ගණන පෙන්වන flightradar24.com වෙබ් අඩවියට අනුව 2038 ජනවාරි 8වැනිදා ප්‍රහාරය ඇරඹි මොහොතේ ලොව පුරා ගුවනේ තිබූ මගී ප්‍රවාහණ ගුවන් යානා ගණන 8000ක් පමණ වුනා. මෙම යානා වලින් බොහොමයක් ප්‍රහාරයේ පලමු විනාඩි 30 තුලදි ඉලෙක්ට්‍රොණික පරිගණක වලින් පාලනයවූ ඒවායේ එන්ජින් ක්‍රියාවිරහිතවීම නිසා කඩා වැටුනා. ජනාකීර්ණ පෙදෙස් වලට කඩාවැටුනු යානා ගිණිගැනීමෙන් තවත් බිම සිටි තවත් පිරිසක් මිය ගියා. සාමාන්‍ය විදුලි විසන්ධිවීමකදී ක්‍රියාත්මක වන ජෙනරේටර් යන්ත්‍රද චුම්බක-විකිරණ ප්‍රහාරයෙන් අකර්මන්‍ය වීම නිසා ලොව පුරා රෝහල්වල් ශල්‍ය කර්මවලට බඳුන්වෙමින් සිටි ලෙඩුන් මෙන්ම දැඩි සත්කාර ඒකකවල සිටියවුන්ද විදුලි බලය ඇණහිටීම හා ජීව-ආධාරක යන්ත්‍ර (life support equipment) ක්‍රියාවිරහිතවීම නිසා මියගියා. එමෙන්ම හෘදය වස්තුවේ රිද්මය පාලනය කරන පේස් මේකර් නම් ඉලෙක්ට්‍රොණික උපකරණය සවිකරගෙන සිටි හදවත් රෝගීන් එම උපකරණ ක්‍රියා විරහිතවීම නිසා මියගියා.

මරණ සංඛ්‍යාව සාපේක්ෂව අඩු වුනත්, පැය 72ක ප්‍රහාරය මිනිස් වර්ගයා නැවතත් 17වැනි සියවස තෙක් පසුපසට ගෙනගියා. විදුලිබලය, නල ජලය, ජන සන්නිවේදන මාධ්‍ය, රෝහල් මෙන්ම බොහෝ රටවල රාජ්‍ය පාලන යන්ත්‍රද ඇණහිට තිබුණා. සියලු රථවාහන එන්ජින්වල ඉලෙක්ට්‍රොණික හා විදුලි පරිපථ ක්‍රියාවිරහිතවී තිබුණු නිසා ආරක්ශක හමුදා හා පොලීසිවලට සිය පිරිස් බලය අවශ්‍ය තැන් වලට යෙදවීමට නොහැකිවුනා. සියලුම සන්නිවේදන ජාල විනාශවී තිබුණු නිසා රාජ්‍ය යන්ත්‍රයන්ට ක්‍රියාත්මක වීමට හැකියාවක් තිබුණේ නෑ. අමෙරිකාව, රුසියාව, බ්‍රිතාන්‍යය, චීනය වැනි න්‍යශ්ඨික යුද්ධ වලට සූදානම් රටවල යම් ආකාරයක රාජ්‍ය යන්ත්‍රයේ ක්‍රියාත්මක වීමක් තිබුණද වෙනත් බොහෝ රටවල පාලනය එම රටවල රජයන් අතින් ගිලිහෙමින් තිබුනා.

ප්‍රහාරයෙන් පසු පලමු රාත්‍රිය එළඹෙන විටම ලොව පුරා නගරවල මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ ඇරඹුනා. වීථිවල ආරක්ශාවට පොලීසිය හෝ හමුදාව නොමැති නිසා ආයුධ ඇති අපරාධ කල්ලි ඉක්මණින්ම ගම්-නගරවල පාලනය සියතට ගත්තා. දින කිහිපයකින් ලොව පුරා මහා නගරවල ජලය, ආහාර හිඟවන්නට පටන්ගත් විට කැරළි-කෝලාහාල ඇරඹෙන්නට වුනා. විදුලිය, ඉලෙක්ට්‍රොණික උපකරණ, අන්තර්ජාලය හා රථවාහන නොමැති ජීවිතයක් නොදත් 2038 වසරේ ජනයා මෙන්ම රජයන්ද අන්ත අසරණ වුනා. මාස කිහිපයක් යනවිට ලොව පුරා ආහාර ගබඩා හිස්වන්නට පටන්ගත් අතර යන්ත්‍ර-සූත්‍ර, පොහොර හා කෘෂිරසායණික පොහොර නොමැතිව වී, තිරිඟු, ඉරිඟු වැනි ධාන්‍ය වගාවන් කරගත නොහැකිවීමෙන් ලොව පුරා දරුණු සාගත කාලයක් උදාවුනා. පිරිසිදු ජලය, ආහාර හා බෙහෙත් ඉල්ලමින් හටගත් කළකෝලහාල ක්‍රමක්‍රමයෙන් දරුණුවී ලොව බොහෝ තැන්වල සිවිල් යුද්ධ ඇවිලෙන්නට පටන් ගත්තා. මේවාට නායකත්වය දුන් අය අතර වැඩි දෙනෙකු අවස්ථාවාදීන්, අරාජිකවාදීන් (anarchists), ත්‍රස්තවාදීන් හා පාතාල නායකයින් වුනු අතර සිදුවී ඇති මහා විනාශය අතරතුර ඔවුන් සිය බල වැඩිකරන්නට සිය අනුගාමිකයින් සටන්වලට මෙහෙයවූවා.

ප්‍රහාරයෙන් පලමු සයමස ගෙවෙනවිට මිලියන සියයක පමණ ජනකායක් දියවැඩියාව, හෘදරෝග ආදියට ගන්නා බෙහෙත් නොමැතිවීම නිසාත්, බෝවෙන වසංගත නිසාත්, කැරළි-කෝලහාල හා සිවිල් යුද්ධ නිසා මෙන්ම ආහාර හා පිරිසිදු ජලය නොමැති නිසා මිය ගොස් සිටියා. කුඩා ළමුන් හා වයස්ගත ජනගහනයෙන් සියයට හැත්තෑවක් පමණ මරණයට පත්ව තිබුණා.

(VII) මානව වර්ගයා නැවතත් හිස ඔසවන්නට වෙර දරයි

සෑම රටකම පාහේ සිවිල් රජයන් අතින් බලය ගිලිහෙන විට ත්‍රිවිධ හමුදා ඉදිරියට පැමිණ නායකත්වය ලබාගත්තා. විනය, සංවිධාන ශක්තිය හා අරාජික අවස්ථාවලට මුහුණ දෙන ආකාරය පිලිබඳව පුහුණුව මෙන්ම ප්‍රහාරක බලය ඇති බැවින් මේ මහා විනාශයෙන් මානව වර්ගයා ගොඩගැනීමට හැකියාව තිබුණේ ඔවුනට පමණයි. විනාශයෙන් සයමසක් ගතවන විට ලොව පුරා ත්‍රිවිධ හමුදා අතට පාලනය බලය ලැබී තිබූ අතර ඉතා ඉක්මණින් ලෝක ව්‍යාප්ත හමුදාමය රජයකට අඩිතාලම වැටුනා.

ලෝක ව්‍යාප්ත හමුදා රජයක් පිහිටුවීමේ සාකච්ඡා සඳහා ලොව රටවල නායකයින් 84 දෙනෙකු නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිශ්‍රයට ගෙන ආවේ අමෙරිකානු, බ්‍රිතාන්‍ය, රුසියානු, චීන හා ඔස්ට්‍රේලියානු ගුවන් හමුදා මගින්. න්‍යෂ්ඨික ප්‍රහාර වලට ඔරොත්තුදෙන ලෙස සකසා තිබූ බංකරවල සඟවා සුරක්ශිතව තිබූ ප්‍රවාහන යානා මේ සඳහා යොදාගෙන තිබුණා.

බිහිවූදා සිටම නිෂ්ඵල කතා සාප්පු වන එක්සත් ජාතින්ගේ රැස්වීම් වෙනුවට මෙවර ලෝක නායකයින් එක්සත්ව මෙම ව්‍යසනයෙන් ගොඩ පැමිණිය හැකි ප්‍රායෝගික මාර්ග සොයා බැලුවා. ලොව සෑම රටකම පැතිරී ඇති සිවිල් යුද්ධ, සන්නද්ධ අවස්ථාවාදීන්, ත්‍රස්තවාදීන් හා අරාජිකවාදීන් පිහිටුවාගෙන ඇති කෲර ප්‍රාදේශීය පාලනයන් ගෙන ජනයා මුදා ගැනීමටත්, ලොව පුරා පැතිරීගෙන යන මහා වසංගත ඉක්මණින් පාලනය කිරීමටත් හැකි එකම ක්‍රමය විනයවත් හමුදා පාලනයක් බව පිලිගැනුනා. හොඳම විසඳුම සිවිල් මන්ත්‍රණ සභාවකට වගකියන හමුදාමය රජයකට ලොව රටවල් වල නීතිය හා සාමය නැවත ස්ථාපනය කිරීමටත්, අත්‍යාවශ්‍ය භාණ්ඩ නිශ්පාදනය සඳහාත් බලය පැවරීම බවට වූ යෝජනාව ඒකචන්දයෙන් සම්මත වුනා.

United Nations War Command (UNWC) ලෙස නම් කෙරුණු මෙම ලෝක හමුදා රජයේ නිළතල වලට ලොව සියලුම රටවල හමුදා නායකයින් පත් කෙරුණා. United Nations World Governing Council (UNWGC) ලෙස නම් කෙරුණු සිවිල් මණ්ත්‍රණ සභාවක් පත් කෙරුණු අතර ලොව සියලුම රාජ්‍ය නායකයින් මෙහි සාමාජිකයින් බවට පත් කෙරුවා. UNWC ලෝක හමුදා රජය සිය නියෝග ලබාගත්තේත්, සිය කටයුතු පිලිබඳ වගකිව යුත්තේත් උත්තරීතාර UNWCG මණ්ඩලයට බවට සම්මත වුනා. UNWGC මණ්ඩලය මගින් වහාම ක්‍රියාත්මක කරවිය යුතු බවට යෝජනා සයක් සම්මත කරගත්තා.

1] සෑම රටකම සිවිල් රාජ්‍ය යාන්ත්‍රණය, පොලිස් හා මිලිටරි අංශ UNWC අණසක යටතට පත්වනවා

2] සෑම රටකම පිහිටුවන UNWC පරිපාලනයට එම රටෙහි සියලුම නිෂ්චල හා චංචල දේපොල වල අයිතිය හිමිවන අතර, සිවිල් දේපොල අයිතිවාසිකම් සියල්ලම නැවත දැනුම් දෙනතුරු නිශ්ප්‍රභා වනවා.

3] සෑම රටකම පිහිටුවන UNWC පරිපාලනයට එම රටෙහි කැරළිකෝලහාල, සිවිල් යුද්ධ හා අරගල මැඩ පැවැත්වීමට, අවිගත්තවුන් නිරායුධ කිරීම සඳහා ඕනෑම ප්‍රමාණයක බලයක් යෙදවීමේ අයිතිය හිමිවනවා.

4] සියලුම සිවිල් පුරවැසියන්, එම රටෙහි UNWC නිත්‍ය හමුදාවේ සාමාජිකයින් ලෙස බඳවාගන්නා අතර එහි අණ පිලිපැදිය යුතු වනවා. මෙම පියවර ගන්නේ හමුදාව විසින් සිවිල් වැසියන් පාලනය කිරීමේදී ඇතිවන ඝට්ටනයන් වලක්වා ගැනීමට. සියලු පුරවැසියන් හමුදා සාමාජිකයින් වීමෙන් හමුදා-සිවිල් ඝට්ටන වලක්වාගත හැකිවනවා.

5] ලොකු කුඩා සියලු නගර අනාරක්ශිත ලෙස සැළකෙන අතර ඒවා තහනම් ප්‍රදේශ වනවා. සියලුම නගරවාසීන් ආරක්ශිත ගම්බද ප්‍රදේශවෙත ඉතා ඉක්මණින් ගෙනයනු ඇත.

6] ආහාර නිශ්පාදනය, බෙහෙත් නිශ්පාදනය, ඇඳුම් නිශ්පාදනය, සන්නිවේදන උපකරණ අලුත් වැඩියාව, වාහන අලුත් වැඩියාව, කෘෂි රසායන හා ඉන්ධන නිෂ්පාදනය, ඒ ඒ රටවල UNWC පාලනයේ ප්‍රමුඛ කාර්යයන් වනු ඇති.

ඉක්මණින් ක්‍රියාත්මකවූ UNWC පාලනය, සිය අණට විරුද්ධවූ සියල්ලන්ම විනාශකොට දැමූ අතර ඔවුන්ගේ සුපිරි වෙඩි බලය හමුවේ ඉක්මණින් පසුබසින්නටවූ කැරලි නායකයින් හඹාගොස් සහමුලින්ම විනාශකොට දැමුනේ පසුකාලීනව නැවත අරගල කිරීමේ හැකියාව නසා දැමීමටයි. ලෝක හමුදා පාලනය කැරළි කෝලහාල මැඩ පැවැත්වූ ආකාරය කුරිරු බවට විවරණය කල හැකිවුනු නමුත් සිදුවී ඇති මහා විනාශය හමුවේ, අවිගත්තවුන්ගේ සිවිල් හා මානව අයිතිවාසිකම් සුරැකීමට යාම තවත් අහිංසකයින් ලක්ශ ගණනකගේ ජීවිත අණතුරේ හෙලීමක් වන බවට තීරණය වුනා.

UNWC දකුණු ආසියානු පාලන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලයේ පිහිටුවීමට තීරණය වුනා. ලංකාව, දකුණු ඉන්දියානු ප්‍රාන්තවන තමිල්නාඩුව, කර්ණාටකය, තෙලගනා ප්‍රාන්තය හා අන්ද්‍රා ප්‍රදේශයත්, ඇන්ටාක්ටිකාව වනතෙක් දකුණු ඉන්දියානු සාගරයත්, නැගෙනහිර හා බටහිර ඉන්දියානු සාගරයත් යන අතිවිශාල භූමි හා සාගර ප්‍රදේශ ත්‍රිකුණාමලයෙන් පාලනය කරන්නට තීරණයවී තිබුණා. ලොව දෙවන විශාලතම ස්වභාවික වරායත්, වරාය කේද්‍රකොට ගෙන පිහිටුවා හොඳින් සංවර්ධනය කොට තිබූ, ලංකා ත්‍රිවිධ හමුදා සතුවූ යුධ, නාවික හා ගුවන් මධ්‍යස්ථානත් මෙම තීරණයට හේතුවුනා. UNWC සැලසුම්කරුවන් ත්‍රිකුණාමල ගුවන්හමුදා ධාවන පථය දිගුකිරීම ඉතා ඉක්මණින් ආරම්භ කලේ ඒ වනවිට නැවත අලුත්වැඩියා කොට තිබූ අතිවිශාල අමෙරිකානු C5 සුපර්-ගැලැක්සි ප්‍රවාහණ යානා ගොඩබැස්සවීමට හැකිවන ලෙසින්. වර්ග සැතපුම් මිලියන ගණනක් පරිපාලනය සඳහා අවශ්‍ය හමුදා හා සැපයුම් ඉක්මණින් ත්‍රිකුණාමලයට ගෙන ඒම සඳහා ධාවන පථය දිගුකිරීම අත්‍යාවශ්‍ය වුනා.

UNWC පරිපාලකයින් සෑම රටකම සිටිනා විවිධ වෘත්තිකයින් හඳුනාගැනීම හා අනුයුක්ත කිරීම ඇරඹුවා. වෛද්‍යවරුන්, සෑම  ගණයකම ඉන්ජිනේරුවන්, විද්‍යාඥයින්, තාක්ශණවේදීන්, පුහුණු කාර්මිකයින්, හෙදියන්, වෛද්‍යතාක්ශණවේදීන් නැවත ගොඩනැගීමේ කාර්යයන්ට අනුයුක්ත කල අතර වැඩිම ඉල්ලුමක් තිබුණේ විදුලි හා ඉලෙක්ට්‍රොණික විශේෂඥයින්ටයි.

මාස කිහිපයක ඇවෑමෙන් ලොවම ආවරණයවන, ලෝකයේ ඕනෑම නගරයක් හා සම්බන්ධතා පැවැත්විය හැකි කෙටි තරංග රේඩියෝ ජාලයක් පිහිටුවීමට UNWC සමත්වුනා. 1.6 - 30 MH සංඛ්‍යාත පරාසයේ ක්‍රියාත්මක වන කෙටි තරංග රේඩියෝ කිරණ පෘථිවි අයනගෝලයේ වැදී පරාවර්තනය වන නිසා වෙනත් රේඩියෝ තරංග ආධාරයෙන් සම්බන්ධතා පැවැත්වීමට අවැසි line-of-sight ඇන්ටෙනා හා සම්ප්‍රේෂක නොමැතිව ක්‍රියාත්මක වුනා. සන්නිවේදන චන්ද්‍රිකා හා සාගර සන්නිවේදන කේබල නොමැති 1950 ගණන්වලට පෙර යුගයේ ලොව මහාද්වීප අතර රේඩියෝ සබඳතා පැවැත්වුනේ කෙටි තරංග ආධාරයෙන්. සියලු චන්ද්‍රිකා හා සන්නිවේද යටිතලය විනාශවී ඇති මේ යුගයේ නැවැතත් 1900 ගණන්වල තාක්ෂණයක් වූ කෙටිතරංග රේඩියෝව සහයට පැමිණුනා.

ප්‍රහාරයේ දෙවන සංවස්තරය එළඹෙන විට පෘථිවිය නැවතත් සාමකාමී, ස්ථාවර ලොවක් කිරීමට UNWC ලෝක රජයට හැකියාව ලැබී තිබුණා. අවි ගැටුම් හා අනවසර පාලනයන් අවසන්වී තිබූ අතර ලෝක ව්‍යාප්ත බඩගිණ්නද අවසන් වෙමින් තිබුණා. දස-දහස්ගණන් විද්‍යාඥයින්, තාක්ශණවේදීන් හා ඉන්ජිනේරුවන් ලොව පුරා නිශ්පාදන ජාලයන්ට නැවතත් පණදෙමින් සිටි අතර අත්‍යාවශ්‍ය බෙහෙත් හා කෘෂිරසායන නිපදවීම වේගවත් වුනා. දිවා රෑ නොතකා වෙහෙසවුනු වෘත්තිකයින් හා සාමාන්‍ය ජනයාගේ කැපවීමෙන් රෝහල්, ජල පවිත්‍රකාගාර, වැව් අමුණු ප්‍රතිසංස්කරණයවුනා. නගරවලින් ඉවත්කල ලක්ෂගණන් ජනයා කෘෂිකාර්මික ප්‍රදේශවල වගා කටයුතු වලට යෙදවීම නිසා ට්‍රැක්ටර් වැනි යන්ත්‍ර සූත්‍ර නොමැතිවද විශාල භූමි ප්‍රමාණයන් වගා කරගැනීමට හැකිවුනා.

ප්‍රහාරයෙන් දෙවන වසර අවසන්වීමත් සමග 2040 ජනවාරි 1වැනිදා, නව වසරේ උදාවේදී United Nations World Governing Council (UNWGC) මණ්ඩළයේ සියලුම රාජ්‍ය නායකයින් සජීවීව කෙටිතරංග රේඩියෝ සේවා හරහා ලෝකයේ සියලුම ජනයා ඇමතුවා. ඔවුන්ගේ පණිවුඩ ලෝක වාසීන්ට බලාපොරොත්තුවේ අරුණලු ගෙනදුන් අතර මානව වර්ගයා යලි නැගිටින බවත්, 2038 ජනවාරි 8වැනිදා විනාශවුනු ලොවට වඩා හොඳ ලොවක් ගොඩනැගීම ඇරඹී ඇති බවත් ඔවුන්ගේ පණිවුඩවල හරය වුනා.

(VIII) දෙවන ප්‍රහාරය

පෘථිවි වාසීන් පසුගිය වසර දෙකට වඩා හොඳ නව වසරක උදාව ප්‍රීතියෙන් එහෙත් සංයමයෙන් සමරද්දී ලොව ඉහලම බුද්ධිමණ්ඩලවල සාමාජිකයින්වූ විද්‍යාඥයින් හා යුධ විශේෂඥයින් එය ගතකලේ මහත් වියවුලෙන්. ප්‍රහාරයෙන් පසුව ගිණි වළල්ල ඉවත්ව යනු ඇතැයි බොහෝදෙන අනුමාන කලත් එසේ වුනේ නෑ. පිටසක්වල වළල්ල තවමත් අහස වසාගෙන තර්ජනාත්මකව පෘථිවිය වටා කරකැවුනා. එය තුල සිටි නොමිනිස් පාලකයින් පෘථිවියේ සිදුවනදෑ හොඳින් අධ්‍යයනය කරමින් සිටින බව කාගේත් අදහස වුනා.

ලොව දක්ෂතම ඥාණවන්තයින්ගෙන් සමන්විතවූ, එක්සත් ජාතීන්ගේ ලෝක මණ්ඩලයේ නිළ උපදේශකයින් වූ මේ බුද්ධිමතුන් ප්‍රහාරය එල්ලවීමෙන් පසුව සිදුවූ විනාශය තක්සේරුකල අතර ඒ ඇසුරින් නැවත ගොඩ නැගීමට ගතවිය හැකි කාළය ගණනය කොට තිබුණා. ඔවුන්ගේ ඇස්තමේන්තුව වූයේ වසර 10ක් යනතෙක් කිසිදු ආකාරයකින් හිස එසවීමට මානව ශිෂ්ඨාචාරය සමත් නොවනු ඇති බවයි. එහෙත් ප්‍රහාරයෙන් වසර දෙකක් වැනි කෙටි කාළයකදී හෝමෝසැපියන් වර්ගයා සිය චිත්තධෛර්යය හා ඥාණ කෞශල්‍යය විදහාදක්වමින් නැවත දෙපයින් සිටගැනීමට සමත්වුනා. පාළුවට ගිය අහස්කුස යලිත් යෝධ යුධ ගුවන්යානා සැරිසරන්නට වූ අතර නිහඬව තිබූ ගුවන්ගැබ යලිත් කෙටි තරංග ගුවන් පණිවුඩවලින් පිරී ගියා.

ඒවගේම 2038 ජනවාරි 8වැනිදාට පසු ගිණිමැළවලින් හා හඳ එලියෙන් පමණක් ආලෝකමත්වූ පෘථිවි රාත්‍රියේ තැනින් තැන කුඩා විදුලිපහන් වලින් එලිය වන්නට වුනා. ඉතා අපහසුවෙන් අලුත්වැඩියාකොට ගත් ජනක යන්ත්‍ර, අක්‍රියවූ රථවාහන වලින් ලබාගත් තෙල් යොදා ක්‍රියාත්මක කරවාගත් අතර ඒවා රෝහල්වලට, ශළ්‍යාගාරවලට, විද්‍යාගාර හා රසායනාගාවලට ආලෝකය හා බලය ලබාදුන්නා. මේ සියල්ල යෝධ වළල්ලේ සිට පෘථිවිය නිරීක්ශණය කරන සතුරු පිටසක්වලයින්ට පෙනෙන බව විද්‍යාඥයින් අවබෝධ කරගෙන සිටියත්, ඔවුනට කලහැකි කිසිවක් තිබුණේ නෑ.

පිටසක්වල වළල්ල පාලනය කරන්නේ කවුරුන්ද, ඔවුන් කුමන හේතුවක් නිසා මිනිස්වර්ගයාට පහර දෙන්නේද යන්න පිලිබඳව කල්පිත රාශියක් ඉදිරිපත්වුනා. වැඩිදෙනෙකුගේ මතය වුනේ මෙම යෝධ පිටසක්වල යන්ත්‍රය ජීවී භාවයක් ඇති ජිවීන් මගින් පාලනය නොවන බවයි. 2031 වසරේදී අඟහරු මතින් ප්‍රථම පිටසක්වල ජීවය සොයාගැනුනා. කුඩා බැක්ටීරියාවක් වූ මෙම ජීවය, අඟහරුවා මත ස්වයර්තව හටගත් බවට තහවුරුවූ පසු මෙම කුඩා බැක්ටීරියාව සිය අඟහරු සහෘදයන් ලෙස සළකන්නටත් එම බැක්ටීරියාව පැතිරී ඇති අඟහරුවාගේ ප්‍රදේශ අනාගත වාණිජ ගවේෂණයන්ට තහනම් ප්‍රදේශ ලෙසත් නම් කිරීමට නාසා ආයතනය හා ලොව පුරා අභ්‍යවකාශ ආයතන එකඟවුනා. ඒ එම බැක්ටීරියාවේ වර්ධනයට හා පරිණාමයට කිසිදු ලෙසකින්වත් බලපෑමක් හෝ බාධාවක් සිදු නොකිරීමේ අරමුණින්.

පෘථිවි ජීවයේ පදනම වන ඩී.එන්.ඒ වලට සමාන, එහෙත් සුවිශේෂ වෙනස්කම් වලින් යුතු ප්‍රෝටීන අනුවලින් සැදුම් ලත් මෙම බැක්ටීරියාව ආරක්ශා කරගැනීම සඳහා පෘථිවියෙන් එපිට ග්‍රහලෝකයක ප්‍රථම අධි-ආරක්ශිත පරිසර පද්ධතියක් (highly protected eco-system) ලෙස අඟහරුවාගේ වර්ග කිලෝමීටර් මිලියනයක පමණ ප්‍රදේශයක් නම් කෙරුනා.  මෙම කුඩා අඟහරු බැක්ටීරියාව ආරක්ශාකර ගැනීමට දියුණු මානවය මෙලෙස උත්සහ දැරුවේ එය තවත් වටිනා ජීවයක් බැවිනුයි. අඟහරුවාමත දැන් සිදුවන හා අනාගතයේ සිදුවිය හැකි මානව ක්‍රියාකාරකම් නිසා කිසිදු ආකාරයකින් මෙම අඟහරු බැක්ටීරියාවට බලපෑමක් සිදුකිරීම මිනිස් වර්ගයාට තරම් නොවන බව ලොවපුරා ඒකමතිකව පිලිගැනුනා.

පිටසක්වල ඒක සෛලික ජීවයකට අපගේ සැළකීම එනයින් බැවින්, යෝධ අභ්‍යවකාශ වළල්ල නිර්මාණය කලේ අතිශය දියුණු ජීවයක් නම්, ඔවුන් කිසිදු පෙළඹවීමකින් තොරව තමන්ට වඩා ඉතා නොදියුනු, දුර්වල ජීවයක් නිරපරාදේ වනසා දමන්නට කටයුතු කරන්නේ නැති බව තර්කවූ අතර, ඒ අනුව මෙම පිටසක්වලයින් අපට මුලුමනින්ම අසමාන, ජීවී යැයි සැළකිය නොහැකි මට්ටමටම වෙනස්වූ එහෙත් අතිශයින් බුද්ධිමත් කොටසක් වියයුතු බවට අදහස් පලකෙරුනා. තවත් පිරිසක් මේ යානයේ නිර්මාපකයින් අජීවී කෘත්‍රිම බුද්ධියක් විය හැකි බවට මත පලකලා. ඔවුන් විශ්වයේ සැරිසරමින් බුද්ධිමත් ජීවීන් බිහිකරන ග්‍රහලෝක සොයමින් විනාශකරනවා විය යුතුයයි තර්ක කල අතර, තවත් ගුරුකුළයක් මෙම පිටසක්වලයින් අපව විනාශකරන්නට උත්සහ කරන්නේ අපගේ වර්තමාණ දියුණුව සලකා නොව, තව වසර 1000ක් හෝ 2000ක් ඉකුත්වී මානවයින් තාරකා අතර සංචරණය කල හැකි (interstellar) ශිෂ්ඨාචාරයක් බවට පත්වූවිට අපගෙන් විය හැකි තර්ජනය නැති කරගැනීමට වියයුතු බවට කල්පිතයක් ඉදිරිපත්කලා.

පිටසක්වල යුධ යන්ත්‍රයෙන් පලමු ප්‍රහාරය එල්ලවී හරියටම මාස 28කට පසුව එනම් 2040 වසරේ මැයි මාසයේ දෙවැනි ප්‍රහාරය එල්ල වුනා. එය ඉලෙක්ට්‍රොණික ප්‍රහාරයක් නොව, යන්ත්‍ර යොදාගෙන කල ප්‍රහාරයක් වූවා. මීටර් 10ක් පමණ විශ්කම්භය ඇති, කාළවර්ණ ගෝලාකාර යන්ත්‍ර මුහුදු රැළි මෙන් වළල්ලෙන් පිටව පෘථිවිය කරා පැමිණියා. මෙම ගෝලාකාර යන්ත්‍ර යම් බුද්ධියකින් පාලනය වන බව පෙනුනු අතර පෘථිවි වායුගෝලයට ඇතුලුවූ වහාම, පොලොව දෙසට පියාසර කරමින් මිනිසුන්ට ප්‍රහාර එල්ල කලා.  අහසේදී පියාසර කරමින්, පොලොවේදී බෝලයක් මෙන් රෝල් වෙමින් ගමන්කල මේ ප්‍රහාරක යන්ත්‍ර විනාශ කිරීම ඉතා අපහසු වුනා. රයිෆල් ප්‍රහාර පමණක් නොව, ගුවන් යානා නාශක වෙඩිප්‍රහාර වලින්ද අඩපණ නොවූ මේවා ගුවන් යානා නාශක මිසයිල වලට ඉලක්ක කරගැනීමට කිසිසේත් හැකිවුනේ නෑ. රේඩාර් හෝ අධෝරක්ත සංවේදකවලට හසු නොවූ සුපිරි ස්ටෙල්ත් ගුණාගවලින් යුතුවූ මෙම ගෝලාකාර ප්‍රහාරක වස්තු ඉලක්ක කරගත හැකි එකම ක්‍රමය වූයේ දැසින් නිරීක්ශණය කොට තුවක්කු එල්ලකොට පහරදීම පමණයි.

භූමිය මත පමණක් නොව ජලය මතද නොගිලී රෝල්වෙමින් ගමන්කල හැකිවූ මේවා පහර දුන්නේ නිල්පැහැති පුළිගු වර්ගයක් විදීමෙන්. මුලින් ඒවා අධිබලැති නිල් ලේසර් (high-power blue laser) ප්‍රහාර ලෙස හඳුනාගත් නමුත්, පසුව කල අධ්‍යයනයන්හිදී නිල් පැහැයෙන් මෙම ගෝලවලින් විදිනු ලබන්නේ  අයනීකරණයවූ ප්ලස්මා බව හෙලිවුනා. වාහනයක් තුල, ගොඩනැගිල්ලක් තුල පමණක් නොව, බංකර තුලද සැඟවී සිටින මිනිසුන් හඳුනාගෙන පහරදිය හැකි සංවේදක මෙහි තිබුනා. ඒ නිසා ගැලවීම ඉතා අපහසු වුනා. මෙම පිටසක්වල දඩයක්කරුවන් කුමන ආකාරයකින් අඩි කිහිපයක් ඝණකම් කොන්ක්‍රීට් බංකරයක් තුල සැඟව සිටිනා මිනිසෙකු සොයා ගන්නේදැයි යන්න හෙලිවුනේ සෑහෙන කාළයක් ගතවීමෙන් පසුවයි. මිනිසුන් සැඟව සිටින බංකරයක් හෝ ගොඩනැගිල්ලක් හඳුනාගත් වහාම ප්‍රහාර එල්ල කල මෙම කාළවර්ණ ගෝල, ඉලක්කය විනාශකිරීමට අපහසු බව වටහාගත්විට සහයට තවත් ගෝල ගෙන්වාගත්තා. ගෝල කිහිපයක් එක්ව ප්ලස්මා ප්‍රහාර එල්ලකරනවිට අඩි 5-6 ඝණකම කොන්ක්‍රීට් වුවද පුපුරා විනාශවනවා.

මෙම යන්ත්‍ර විනාශකල හැකි වූයේ එක්කෝ යුධටැංකි නාශක අවියකින් කෙලින්ම ප්‍රහාරයක් එල්ලවීමෙන් හෝ යුධ ටැංකියක ප්‍රධාන තුවක්කුවෙන් වෙඩිවැදිමෙන් පමණයි. ප්‍රහාරයේ මුල් දින කිහිපය තුලදීම ගෝල 25-30ක් පමණ බිමහෙලා ගැනීමට ලොව පුරා හමුදාවන් සමත්වූ අතර අකර්මණ්‍යවූ එම ගෝල UNWC විශේෂ කොමාන්ඩෝ බළකා මගින් සතුකරගෙන හැකි තාක් ඉක්මණින් පරීක්ශාව හා ප්‍රති-ඉන්ජිනේරුකරණය සඳහා ලොව ඉහලම තාක්ශණයෙන් යුතු විද්‍යාගාර වලට ගෙනගියා.

දෙවන ප්‍රහාරය කෙලින්ම මිනිසුන් මැරීම සඳහාම සැලසුම්කල ප්‍රහාරයක් වීම නිසාත්, විනාශකිරීමට ඉතා අපහසු මෙම මාරක යන්ත්‍ර ලක්ශ ගණනක් ලොව පුරා සැරිසැරීම නිසාත්, ඒවාවලින් ගැලවීම කල නොහැක්කක්වූ අතර මාස 6ක් පමණ කාලයක් තුල මිනිසුන් මිලියන ගණනාවක් මරාදැමීමට ඒවා සමත්වුනා. මරාදැමීම සඳහා ගොඩබිම මිනිසුන් අඩුවන විට මෙම ගෝල කණ්ඩායම් ගැසී සමුදුරු තරණය කිරීම පටන්ගත් අතර ලොව පුරා සාගර ඉහලින් පියාසර කරමින්, ප්‍රහාරයෙන් ගැලවීමට නෞකා, බෝට්ටු ආදියෙන් දියඹටගිය මිනිසුන් සොයමින් ඔවුන් සිටි යාත්‍රා ගිල්වා දමන්නට පටන් ගත්තා.

(XI) ක්‍රි.ව. 2043 නත්තල් සමය

2043 වසරේ නත්තල් දින වනවිට ගිණි වළල්ල සෞරග්‍රමණ්ඩලයට පැමිණ අටවසරක් ගතවී තිබුණා. සතුරාගේ දෙවන ප්‍රහාරය තවමත් අවසන්වී තිබුණේ නෑ. ඒ වනවිටත් "Black Death" ලෙස නම්තබා තිබූ පිටසක්වලයින්ගේ කාළවර්ණ  ගෝලාකාර ප්‍රහාරක ඩ්‍රෝනයානා ලක්ෂ 2ක් පමණ ලොව පුරා සැරිසරමින් මිනිසුන් මරාදැමීමේ නිරතවුනා. UNWC ඇස්තමේන්තු අනුව, දෙවන ප්‍රහාරය ඇරඹී තුන්වන වසර වූ 2043 නත්තල් සමය වනවිට පෘථිවි ජනගහනයෙන් 85% පමණ මියගොස් තිබුණා. දැනට ජීවතුන් අතර සිටින බොහෝ දෙනා ඝණ වනාන්තර තුලට පලාගොස් දිවිගලවාගත්තවුන් වන අතර ඔවුන් කැලෑවල සතුන් දඩයම් කරමින්, ගඩාගෙඩි කමින් දුක්ඛිත ජීවිත ගතකරන අතර එලිමහනේ වැඩකිරීමට නොහැකි නිසා සියලුම ගොවිතැන් කටයුතු අතහැරී තිබෙනවා.

තුන් වසරකට පෙර ප්‍රහාරයට පොලොවට ගොඩබැස් මොහොතේ පටන් දවසේ පැය විසිහතර පුරාම මිනිස් දඩයමේ යෙදුනු Black Death ප්‍රහාරක ඩ්‍රෝනයානා කිසිවිටකත් විරාමයක් ගන්නා බවක් පෙණුනේ නෑ. දහවල මෙන්ම රාත්‍රියේද ඉතා පහසුවෙන් මිනිසුන් හඳුනාගැනීමට මේවායේ සංවේදක වලට හැකියාව තිබුණා. එමෙන්ම මිනිසුන් හැරෙන්නට වෙනත් කිසිදු සත්වයෙකුට වැරදී හෝ මේවායින් ප්‍රහාරයක් එල්ලවුනේ නෑ. මියගිය මිනිසුන්ගේ මළමිණී, මිනිසුන් මෙන් වෙස් ගැන්වූ පඹයින්, ඉටිරූප ආදිය එලිමහනේ තබා මෙම යන්ත්‍ර රැවටීමට ගත් උත්සාහයන් සියල්ලම ව්‍යර්ථ වුනා. ඒ අනුව එම යන්ත්‍ර මිනිසුන් පමණක් හඳුනාගෙන ඉලක්ක කරගැනීමට ඉතා නිවැරදිව ක්‍රමලේඛකොට (program) තිබුණ බව තහවුරුවුනා. 

මුල්ම ප්‍රහාර UNWC මූලස්ථාන වෙත එල්ලවූ අතර දස දහස්ගණන් Black Death යන්ත්‍ර එකවර ලොවපුරා UNWC මූලස්ථාන හා කඳවුරු වෙත පහරදුන්නා. UNWC දකුණු ආසියානු මූලස්ථානය වූ ත්‍රිකුණාමලයට Black Death යන්ත්‍ර දහසක් පමණ එකවර පහර දුන්නා. පැය කිහිපයක් නොකඩවා එල්ලවූ ප්‍රහාරයෙන් ත්‍රිකුණාමලයේ නාවික, ගුවන් හා යුධ කඳවූරු සුනුවිසුනුවූ අතර ත්‍රිකුණාමල වරායේ නැංගුරම්ලා තිබූ අමෙරිකානු නාවික හමුදාවේ USS John F Kennedy (CVN 79) හා USS Ronald Reagan (CVN 76) යන ගුවන්යානා ගෙනයන නෞකා හා විවිධ ආසියාතික නාවික හමුදාවලට අයත් destroyer ගණයේ ප්‍රහාරක නැව් 16කුත්, භාණ්ඩ ප්‍රවාහණ නෞකා 23කුත් මුහුදුබත්වුනා.

කෙසේවෙතත් දෙවන ප්‍රහාරයක් නිසැකවම එල්ලවන බවට අනුමාන කල UNWC බුද්ධිමණ්ඩලය, සෑම UNWC මධ්‍යස්ථානයකම උසස් නිළයන් භූගත බංකර් හෝ වෙනත් ආරක්ශිත ස්ථානවල රැඳවිය යුතුබවට නියෝග ලබාදී තිබුණා. මේ නියෝගය හේතුවෙන්  ත්‍රිකුණාමල කඳවුරේ ඉහල නිළධාරීන් සියලුම දෙනා දෛනික වැඩකටයුතු සිදුකලේ වරායේ නවතා තිබූ බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් ඇන්සන් (HMS Anson), ඇගමෙම්නන් (HMS Agamemnon) හා ඒජැක්ස් (HMS Ajax) යන න්‍යෂ්ඨික සබ්මැරීන තුනක් තුලයි. මේවා ඕනෑම මොහොතක දිය යට කිමිදීමට සූදානම් කොට තිබූ බැවින් ත්‍රිකණාමලයේ සිට දකුණු ආසියාතිකරය පාලනය කල UNWC හමුදා නායකයින් ප්‍රහාරයෙන් ආරක්ශාවුනත් කඳවුර තුල ඒ වනවිට සිටි 15,000 පමණ වූ ශ්‍රී ලාංකික, ඉන්දියානු, පාකිතාන, බ්‍රිතාන්‍ය, අමෙරිකානු හා දකුණු අප්‍රිකාණු සෙබලුන් මිය ගියා.

කෙසේවෙතත් තවමත් මානව වර්ගය හා ඔවුන්ගේ අධිෂ්ඨානය නොනැසී තිබුණා. වසර 100කට පෙර අවසන්වූ දෙවන ලෝක යුද්ධයේදී නිමවා, ඉන්පසු න්‍යෂ්ඨික ප්‍රහාර වලට ඔරොත්තුදෙන ලෙස නවීකරණය කරන ලද අධි ආරක්ශිත භූගත බංකර සිය ගණනක් යුරෝපයේ, උතුරු ඇමරිකාවේ, රුසියානු සමූහාණ්ඩුවේ හා චීනයේ තිබෙන අතර මේවාතුල දහස් ගණන් විද්‍යාඥයින් හා තාක්ශණවේදීන් පිටසක්වල යන්ත්‍ර ප්‍රති-ඉන්ජිනේරුකරණයේ හා ඒවා වැනසීමට හැකි අවියක් පිලිබඳ පර්යේෂණවල නියැලී සිටියා. 2038දී සියල්ලම විනාශකල පිටසක්වලයින්, 2040දී නැවත ගොඩනැගූ සියල්ලද වනසා. මානව ජනගහණයෙන් සියයට අසූපහක් මරාදමා තිබුණත් මිනිස් අධිෂ්ඨානය නොනැසී තිබුණා. මේ වනවිට සියල්ලන්ගේම එකම අධිශ්ඨානයවූයේ තම දිවි ගලවාගැනීම නොව අනාගතයේ ඉපදෙන්නට ඉන්නා දරුවන් බිහිකරගෙන, මානව වර්ගයාගේ පැවැත්ම තහවුරු කරගැනීමයි.

වෙඩි ප්‍රහාරවලින් අකර්මන්‍යව කඩාවැටුණු Black Death යන්ත්‍ර විද්‍යාඥයින්ට මහානර්ඝ වස්තූන් වූවා. ඉතිහාසයේ පලමු වතාවට තාරකා අතර ගමන්කල හැකි තරමට දියුණුවූ ශිෂ්ඨාචාරයක් මගින් නිමැවූ තාක්ශණයක් අධ්‍යයනය කිරීමේ හැකියාව ඔවුනට ලැබුනා. කඩාවැටුනු යන්ත්‍ර පරීක්ශාකල විද්‍යාඥයින් විස්මයට පත්කල පලමුවැන්න වූයේ එම ගෝලවල පෘශ්ඨයේ තුනී බවයි. විශාල කාළතුවක්කු හෝ යුධ ටැංකි උණ්ඩයක් කෙලින්ම වැදීමෙන් පමණක් අබලන්වන මෙම ගෝලවල පෘෂ්ඨීය ඝණකම මිලිමීටර් දෙකක් පමණක් වීමයි.

පෘශ්ඨය නිමවා තිබුනු කළුපැහැති ද්‍රව්‍යය විශ්වයේ කිසිදු ග්‍රහලෝකයක ස්වභාවික ඇතිවිය හැකි ද්‍රව්‍යයක් නොවන බව පර්යේෂණවලින් පෙනී ගියා. මෙම ද්‍රව්‍යය, තාරකාවක් නිවී ගොස් (එනම් න්‍යෂ්ඨික ඉන්ධන අවසන්වී) කළු වාමන තත්වයට (black dwarf) පත්වූ පසු ඉතුරුවන star-core ලෙස හැඳින්වෙන අධික ඝණත්වයකින් යුතු "අරටුවේ" හටගන්නා පදාර්ථයක් වියයුතු බවට මතයක් පලවූ අතර මෙම ද්‍රව්‍යය, ගිණි වළල්ල නිර්මාණයටද යොදාගෙන ඇති බවට විශ්වාස කෙරුණා.

පරීක්ෂණවලදී මෙම ද්‍රව්‍යයේ ද්‍රවාංකය සෙන්ටිග්‍රේඩ් 6000ක් බව සොයාගත්තා. එනම් මෙම ද්‍රව්‍යය සූර්යයාගේ පෘශ්ඨයේ ගැටුනත් දියවී විනාශ නොවන තරම් තාපයට ඔරොත්තු දෙන ශක්තිමත් ද්‍රව්‍යයක් බව පැහැදිලි වුනා (සූර්ය පෘශ්ඨයේ උෂ්ණත්වය සෙ.ග්‍රේ. 5500).

2035වන විට මානව තාක්ෂණය විසින් නිපදවා තිබූ ශක්තිමත්ම ද්‍රව්‍යය වූයේ ඇඩමැන්ටියම් ලෙස නම් තැබුණු මිශ්‍රලෝහයයි. X-Men කතාමාලාවේ එන වුල්වරීන් නම් චරිතයේ දෑත්වලින් එලියට එන ලෝහමය නියපහුරු තනා ඇති ඇඩමැන්ටියම් ප්‍රබන්ධ ලෝහයක් වුවත්, රොකට් එන්ජින් සඳහා නිර්මාණය කරන ලද සෙන්ටිග්‍රේඩ් 4100ක ද්‍රවාංකයක් ඇති මිශ්‍රලෝහයට ඇඩමැන්ටියම් යයි නම තැබුනේ එය නිර්මාණය කල විද්‍යාඥයින් කුඩාකල X-Men ලෝලීන් වීම නිසයි.

මානවයින්ගේ ඇඩමැන්ටියම් වලට වඩා ඉතා ඉහල ද්‍රවාංකයක් හිමිවූ මෙම පිටසක්වල ද්‍රව්‍යයය කැපීම, නැමීම හෝ හැඩගැස්වීමද ඉතා අපහසුවූ අතර වර්ග සෙන්ටිමීටරයක් තරම් කුඩා කැබැල්ලක් ග්‍රෑම් සියයක වඩා බරින් වැඩිවුවා. නිරායාසයෙන් මෙන් පියාසර කරමින්, ඉතා පහසුවෙන් ජලයේ පවා පාවෙමින් ගමන් කලද මීටර් 10ක විශ්කම්භයක් ඇති මෙම කාළවර්ණ ගෝලයක බර ටොන් 30කට අධික වුනා.

මෙම යන්ත්‍රය නිර්මාණයේ තවත් අපූර්වත්වයක් වූවේ කිසිදු ආකාරයක කැබලි එකලස් කිරීමක්, වැද්දීමක්, පිරිද්දීමක්, වාටියක් හෝ මූට්ටුවක් හමුනොවීමයි. ඇණ, මුරිච්චි, පෑස්සුම් සළකුණු නොමැතිවූ මෙම ගෝලයේ පිටත පෘෂ්ඨය හා ඇතුලත සංකීර්ණ උපාංග සියල්ලම එකම ක්‍රියාවලියක් තුලදී එක්වරම නිශ්පාදනය වූබවක් පෙනෙන්නට තිබුණා. පිටසක්වලයින් මෙම ගෝලාකාර යන්ත්‍ර නිර්මාණය සඳහා අපගේ ත්‍රිමාණ මුද්‍රණ (3D Printing) තාක්ෂණය මෙන් ක්‍රියාත්මක වන තාක්ශණයක් භාවිතා කරන්නට ඇති බව මේ යන්ත්‍ර පරීක්ශාකල බොහෝ විද්‍යාඥයින්ගේ අනුමානය වුනා.

අල්ලාගත් ප්‍රහාරක ගෝලවල සුපිරි තාක්ෂණයෙන් ක්‍රියාකාරිත්වය වටහා ගත් මුල්ම තාක්ෂණ වූයේ එය තුල මීටර් 2ක පමණ විෂ්කම්භයෙන් යුතු ගෝලයක් මෙන් දිස්වු න්‍යෂ්ඨික විලයන බලාගාරය හා ප්ලස්මා විදින ආයුධයයි. මෙම තාක්ෂණයන් ප්‍රති ඉජිනේරුකරණය කොට න්‍යෂ්ඨික විලයන බලාගාරය පාලනය කරන ආකාරය ඉගෙන ගැනීමටත්, ප්ලස්මා විදින අවියේ ක්‍රියාකාරිත්වය හා එය පාලනය වන ආකාරය තෙරුම් ගැනීමටත් හැකිවුනා. න්‍යශ්ඨික විලයන බලාගාරයෙන් ගෝලය ක්‍රියාත්මකවීම සඳහා බලය, ප්‍රති-ගුරුත්ව ධාවකය සඳහා බලය මෙන්ම ප්ලස්මා විදිනයේ ප්ලස්මා ජනනය කිරීම සඳහාත් යෙදවුනා. මෙලෙස නිපදවෙන ප්ලස්මා ගෝලය වටා තිබූ විදිනයන් 8කට යොමුවුන අතර එමගින් දිශා 8කට ප්ලස්මා විදින්න හැකියි.  කුඩා වුවද මෙම බලාගාරයේ විදුලි උත්පාදන බලය ඒ වනවිට මිනිසා නිර්මාණය කොට තිබූ බලවත්ම න්‍යෂ්ඨික විලයන බලාගාරයේ ජනන ශක්තයට වඩා වැඩි වුනා. යානයට අහසේ පාවෙමින් පියාසර කිරීමට හැකියාව ලබාදෙන ප්‍රති-ගුරුත්ව එන්ජිමට බලය ලැබුණේත් මෙම බලාගාරයෙන්මයි.

න්‍යෂ්ඨික විලයනය යනු සූර්යයා ඇතුලු තාරකාවන්ට මෙන්ම හයිඩ්‍රජන් බෝම්බයේ විනාශකාරී බව ලබාදෙන ප්‍රතික්‍රියාවයි. හයිඩ්‍රජන් පරමාණු, හීලියම් පරමාණු බවට ඒක්ගෘහිත (fusion) කරන මෙම ප්‍රතික්‍රියාවෙන් අතිවිශාල තාපයක් මුදාහැරෙනවා. වසර 75කට අධික කාලයක පර්යේෂණ වලින් පසුව 2025 වනවිට මිනිසාට වාණිජමය ලෙස විදුලිය නිපදවිය හැකි න්‍යෂ්ඨික විලයන බලාගාර නිර්මාණය කරගත හැකිවූ අතර 2035 වන විටත් මිනිස් න්‍යෂ්ඨික විලයන බලාගාර ඉතා ළදරු අවදියේ පැවතුනු අතර අක්කර ගණනාවක් පුරා විහිදී තිබුණු අතිවිශාල නිර්මාණවූ මේවා වලින් නිපදවුනේ පිටසක්වලයින්ගේ කුඩා බලාගාරයේ නිපදවිය හැකි බලය මෙන් 1%ක පමණ විදුලි බලයක්.

ප්‍රහාරක ගෝලවල විලයන බලාගාර සාර්ථකව ප්‍රතීන්ජිනේරුකරණය කරගැනීමට හැකිවීම විශාල වාසියක් වුනා. මෙයට මෙගාවොට් 100ක පමණ බලයක් නොකඩවා ජනනය කල හැකිවූ අතර, ප්ල්ස්මා අවියේ ප්ල්ස්මා ජනනය කරන විටදී එකවර ගිගාවොට් 5ක පමණ බලයක් ජනනය කිරීමේ සුපිරි හැකියාවකුත් තිබුණා. බලාගාරය යානයෙන් සාර්ථකව වෙන්කරගැනීමට හැකිවීම නිසා මෙලෙස අල්ලාගත් බලාගාර මිනිස් විද්‍යාගාරවල විදුලිය ජනනය කිරීම සඳහා යොදවා ගන්නට මෙන්ම ප්‍රති ඉන්ජිනේරුකරණය කල ප්ලස්මා අවි යුධ ටැංකිවලට සවිකොට ඒවා බලගැන්වීම සඳහාද මෙම බලාගාර යොදාගැනීමට හැකිවූවා. ඒ අනුව මිනිස් විධානයෙන් ප්‍රහාර එල්ල කලහැකි ප්ලස්මා අවියක් නිර්මාණය කරගත් අතර එම අවිය පිටසක්වල Black Death ඩ්‍රෝන වලට ප්‍රහාල එල්ල කිරීමට යොදා ගත්තේ ඌරාගේ මාළු ඌරාපිට තබා කැපීමේ න්‍යාය අනුගමණය කරමින්.

බ්ලැක් ඩෙත් ප්‍රහාරක ඩ්‍රෝනවල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයන් පරීක්ශාවට බඳුන් කිරීමේදී, මෙම යානා මිනිසුන් හඳුනාගැනීම සඳහා භාවිතාකරන උපක්‍රමය වටහාගැනීමටද හැකිවුනා. යානයේ ඇති සූක්ෂම සංවේදකවලට මිනිස් සිරුරේ ස්වභාවික විද්‍යුත් ක්ෂේස්ත්‍රය හඳුනාගැනීමට හැකි බවත්, එමගින් ජීවී මිනිසුන් හා අජීවී ද්‍රව්‍ය මෙන්ම ජීවී මිනිසුන් හා වෙනත් ජීවී සතුන්ද වෙන් කොට හඳුනාගැනීමේ හැකියාව ලබා ගත්තා.

මෙම සංවේදක කොතරම් සූක්ෂමද යත්, කිලෝ මීටර් 5ක් ඈතින් එලිමහනේ සිටින මනුෂ්‍යයෙකුගේ සිරුර වටා ඇති දුර්වල විද්‍යුත් ක්ෂේස්ත්‍රය හඳුනාගැනීමට තරම් සංවේදී වූ අතර ආසන්නයේදී නම් අඩි 10ක් ඝණකම කොන්ක්‍රීට් බිත්තියකින් එපිට ඉන්නා පුද්ගලයෙකුගේ විද්‍යුත් ක්ෂේස්ත්‍රය හඳුනාගැනීමට එයට හැකියාව තිබුණාත්.

මෙම සොයාගැනීමත් සමගම බ්ලැක් ඩෙත් ගෝලවල සංවේදක රැවටීමට හැකි උපක්‍රම නිර්මාණය කරගත හැකි වුනා. ඉන් එක් උපක්‍රමයක් වූයේ මිනිස් සිරුරේ ස්වභාවික විද්‍යුත්-චුම්බක ක්ෂේස්ත්‍රය වෙනස් කොට වෙනත් සතෙකුගේ චුම්බක ක්ෂේස්ත්‍රයක් මෙන් පිටසක්වල සංවේදක වලට පෙනෙන ලෙස සැකසිය හැකි ඉලෙක්ට්‍රොණික උපකරණයක්. මෙම උපකරණය පැළඳගෙන යාමෙන් බ්ලැක් ඩෙත් යානා වල සංවේදක නොමග යවා එලිමහනේ සිටීමේ හැකියාව ලැබුණු අතර එය විශාල ජයග්‍රහණයක් වුනා. එපමණක් නොව කෘත්‍රිම ලෙස මිනිස් විද්‍යුත්-චුම්භක ක්ෂේස්ත්‍ර නිර්මාණය කොට, බ්ලැක් ඩෙත් යානා ආකර්ෂණය කරගෙන එම යානා වලට පහරදී අඩපණ කිරීමයි. මෙසේ අඩපණවූ ඩ්‍රෝනවල න්‍යෂ්ඨික විලයන බලාගාර ගලවා ගැනීමේ ව්‍යාපෘතියකුත් ඇරඹුනා.

කෙසේ වෙතත් ගිණි වළල්ලේ සිට මෙම ප්‍රහාරක යානා පිලිබඳව නිරීක්ෂණයේ යෙදී සිටින පිටසක්වල සුපිරි බුද්ධිය, වැඩිකල් නොගොස් සිය යානා මානවයින් විසින් අඩපණ කොට භාවිතයට ගන්නා බව වටහාගත් අතර ඒ සඳහා ඔවුන්ගේ විසඳුම වුනේ, යානය පාලනය කරන කෘත්‍රිම බුද්ධි නියමුවාට, එය අඩපණ වූ බව දැනුනු වහාම, න්‍යෂ්ඨික විලයන ප්‍රත්‍රික්‍රියාකාරකය පුපුරුවා හැරීමට නියෝග කිරීමයි. කුඩා හයිඩ්‍රජන් බෝම්බයක් මෙන් පුපුරා ගිය විලයන බලාගාරය කිලෝ මීටර් 10ක පමණ වපරිසයක් විනාශකොට දැමුවා.

මෙය සිදුවූ පලමු අවස්ථාවලදී ජීවිත රැසක් අහිමි වුවත්, ඉන් පසුව බ්ලැක් ඩෙත් යානාපහරදී අඩපණ කිරීමටත්, අඩපණවූ යානාවල කෘත්‍රිම බුද්ධි නියමුවන් න්‍යෂ්ඨික බලාගාරය පුපුරවා හැරීමට පෙර එම නියමුවන්ගේ ඉලෙක්ට්‍රොණික පරිපථ විනාශ කර දැමීමටත් දුරස්ථපාලක රෝබෝවන් භාවිතා කරන්නට පටන් ගත් නිසා ජීවිත හානි අවම වුනා.

බ්ලැක් ඩෙත් යානාවල ඉලෙක්ට්‍රොණික උපාංග, පරිගණක හා කෘත්‍රිම බුද්ධි යන්ත්‍රය ක්‍රියාත්මක වුනේ Photonics නම් තාක්ෂණයෙන්. ඉලෙක්ට්‍රොණික තාක්ෂණයට වඩා අතිශයින් දියුණු තාක්ෂණයක් වූ ෆෝටෝනික්ස් තාක්ෂණයේදී භාවිතා වන්නේ ආලෝක ෆෝටෝනයි. ඉලෙක්ට්‍රොණික උපාංග  සිය ක්‍රියාකාරිත්වයන් සිදුකරන්නේ පරිපථවල ගමන් කරණ ඉලෙක්ට්‍රෝණ පාලනයෙන් වන අතර ෆෝටෝනික්ස් තාක්ෂණයේදී සියලු ක්‍රියාකාරකම් සිදුවන්නේ  ආලෝක අංශුවන ෆෝටෝන පාලනයෙන්. ඉලෙක්ට්‍රෝණ වලට වඩා වේගවත්, මෙන්ම ඉතා අඩු බලයකින් ක්‍රියාත්මක වන ෆෝටෝනවලට ඉලෙක්ට්‍රෝණ වලට වයර තුලින් ගමන් කරන ඉලෙක්ට්‍රෝණවලට මුහුණ දෙන්නට සිදුවන resistance නම් බාධකයෙන් තොරව ක්‍රියාත්මක විය හැකියි. ලේසර් නම් ආලෝක කිරණ ආධාරයෙන් දත්ත ගෙනයන ෆයිබර්-ඔප්ටික් කේබල, තඹ කේබල තුලින් යන ඉලෙක්ට්‍රෝණ වලට වඩා සුපිරි වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කරන්නේ මේ හේතුව නිසයි.

බ්ලැක් ඩෙත් යානයේ කෘත්‍රිම බුද්ධි නියමුවා හා අනෙකුත් සියලුම පාලන පද්ධති මෙහෙයවනු ලැබුවේ හරි හතරැස් වීදුරු කුට්ටියක් මෙන් පෙනුනු ඔප්ට්‍රොනික පරිගණකයකින්. මානවයාගේ වේගවත්ම සුපිරි පරිගණක වලට වඩා වේගවත් වුනු මෙම පරිගණකයේ පූර්ණ ක්‍රියාකාරිත්වය - එනම් එය තොරතුරු සකසන්නේ මිනිසා තනන පරිගණක මෙන් දෙකේ පාදයේ බයිනරි ක්‍රමයටත් නැතහොත් වෙනත් ගණිතමය පාදයකින්ද යන්න - වටහා ගැනීමට විද්‍යාඥයින්ට ඒ වනවිට නොහැකි වුවත් එහි ෆෝටෝනික පරිපථ ත්‍රිමාණව විහිදී ඇති ආකාරය නිරික්ශණය වුනා. එනම් මිනිසා විසින් තනන ලද ද්විමාණික සිලිකන් පරිපථ වෙනුවට, ත්‍රිමාණව නිර්මාණය වූ  ඉතා සංකීර්ණ ආලෝක පරිපථ මගින් මෙම පරිගණකය ක්‍රියාත්මක වුනා. සමහර පරිගණක විද්‍යාඥයින් මෙම පිටසක්වල පරිගණකය ක්වන්ටම්-ෆොටොනික්ස් නම් තවමත් මානවයින් මූලික සිද්ධාන්ත පමණක් වටහාගෙන ඇති ක්වන්ටම් භෞතික විද්‍යාත්මක සිද්ධාන්ත මත පදනම්වූ තාක්ෂණයකින් නිර්මිත බවට නිගමනය කලා.

වීදුරු කියුබ පරිගණකය තුල ක්‍රියාත්මකවූ කෘත්‍රිම බුද්ධි නියමුවා යානයේ සියලුම පද්ධති පාලනය කල අතර එය, යාන්ත්‍රික ක්‍රියාකාරකම්, එනම් යානාවේ ප්ලස්මා විදින ඉලක්කයට එල්ලකිරීම ආදී ක්‍රියාකරකම් සඳහා යම් ආකාරයක ද්‍රව අවස්ථාවේ පවතින ලෝහයක් භාවිතාකල බව පෙනෙන්නට තිබුණා. මිනිසා නිර්මාණය කල කෘත්‍රිම බුද්ධි නියමුවන් මෙහෙයවන ඩ්‍රෝන යානාවල යාන්ත්‍රික ක්‍රියා කාරකම් සඳහා භාවිතා කරන සර්වෝ මෝටර් හා හයිඩ්‍රොලික් ඇකියුටේටර් ආදී සංකීර්ණ යාන්ත්‍රික උපක්‍රම වලට වඩා සරල මෙන්ම කාර්යක්ශමවූ මෙම උපක්‍රමයේදී සිදුවන්නේ ද්‍රව ලෝහය අවශ්‍ය අවස්ථාවලදී ඝණවීම, ප්‍රසාරණය හා සංකෝඡනය වීම මගින් යාන්ත්‍රික බලයක් ජනනය වීමයි. යානය පුරා බට ඔස්සේ සංසරණය වූ මෙම ද්‍රව ලෝහය අවශ්‍ය අවස්ථාවලදී ඝණ කිරීමටත්, ප්‍රසාරණය කිරීමට හා සංකෝඡනය කිරීමටත් කෘත්‍රිම බුද්ධි නියමුවාට හැකිවුනා. යානයේ ප්ලස්මා අවිය නියමිත ඉලක්කවලට එල්ල කිරීම, පොලොව මත පෙරලෙමින් ගමන් කිරීමේදී දිශාව වෙනස් කිරීම ආදී යාන්ත්‍රික ක්‍රියා මෙමගින් ඉටුවුනා.

Black Death ගෝලාකාර යානා ප්‍රති-ඉන්ජිනේරුකරණය කිරීමෙන් ලබාගත් මහඟු දැනුම් සම්භාරයෙන්, මානව තාක්ෂණය යම් යම් අංශ වලින් වසර 200කින් පමණ ඉදිරියට ගිය අතර යානය තුල තවත් තේරුම්ගත නොහැකි තරමට අතිශයින්ම දියුණු තාක්ශණයන් රැසක්ද තිබුණා. ඒවා තේරුම් ගැනීමට අවශ්‍ය විද්‍යාත්මක න්‍යායන් පවා 2043 වසර වනවිටත් මිනිසා විසින් අවබෝධකරගෙන තිබුණේ නෑ.

(X) සත්‍යයේ දෙවොල

බ්ලැක් ඩෙත් මාරක ගෝලවල ප්‍රහාර ලොව පුරා දරුණුව පැතිර යන අතරේදී දකුණු අමෙරිකානු බොලීවියා රාජ්‍යයෙන් අත්භූත වාර්තා පැමිණෙන්නට වුනා. බොලීවියාවේ ඈත ඝණ වනාන්තරයක් තුල තිබූ ඉපැරණි දෙවොලක් වැනි ගොඩනැගිල්ලක් තුලින් ප්‍රභල ආලෝක ධාරා විහිදෙන බව එම වනාන්තරයේ වාසය කරන, නොදියුණු වැදි ගෝත්‍රිකයන් පිරිසක්, ඔවුන් සමග ගණුදෙනු කරන වෙළෙන්දන් පිරිසකට පවසා තිබුණා. Reserva Rios Blanco නමින් හැඳින්වුනු මෙම දුෂ්කර ඝණ වනාන්තරය බොලීවියාවේ ඈත නැගෙනහිර දේශසීමාවේ, බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයට යාබදව පිහිටා තිබෙනවා. කලක් වනජීවි අභයභූමියක් වූ මෙය දැන් අතහැර දැමූ මහා වනයක්. එහි වාසයකරන වැදි ජනතාව තවමත් වනචාරී දිවියක් ගතකරන අතර ඔවුන් ඉඳහිට වෙනත් ප්‍රදේශවලින් එහි පැමිණෙන වෙළෙන්දන් හා ගණුදෙනු කරන්නේ කැති, මන්නා වැනි වානේ ආයුධ ලබාගැනීමටයි.

ඝණ වනාන්තර තුල ඉලක්ක සොයා ගැනීම අපහසු නිසා වනාන්තර තුල ජීවත්වන නොදියුණු ගෝත්‍රිකයින්ට බ්ලැක් ඩෙත් දඩයක්කරුවන්ගෙන් එතරම් අණතුරක් තිබුණේ නෑ. මිනිස් වර්ගයාගෙන් ඉතිරිව සිටින බොහෝ දෙනාද දැන් ජීවත්වන්නේ වනාන්තර තුලයි. එහෙත් මේ රිසර්වා රියෝස් බ්ලැන්කෝ ඝණ වනාන්තරය කොතරම් දුශ්කර ඈත පෙදෙසක පිහිටා තිබෙනවාද යත් එම ප්‍රදේශයේ ජීවත්වන්නේ වසර දහස් ගණනකට පෙර එහි වාසයට ආ වනචාරි වැදි ජනතාවක් පමණයි. ආලෝකය විහිදුවන ගරා වැටුනු දෙවොල පිලිබඳ වාර්තා මුලින්ම ලැබුණේ වසරකට පමණ පෙර වුවත් බ්ලැක් ඩෙත් ප්‍රහාර දරුණුව තිබු ඒ අවධියේ මේ වාර්තා පිලිබඳ අවධානයක් යොමු කරන්නට UNWC මූලස්ථානයට ඉස්පාසුවක් තිබුණේ නෑ.

රිසර්වා රියෝස් බ්ලැන්කෝ ප්‍රදේශයට ඉඩෝර සමයවූ 2043 මාර්තුවේ කොමාණ්ඩෝ බළ ඇණියක ආරක්ශාව ඇතුව විද්‍යාඥයින් හා පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් මෙම එලිය විහිදුවන පෞරාණික දෙවොල පිහිටි ප්‍රදේශයට ගොඩබස්වීමට UNWC මූලස්ථානය සමත්වුනා.  කැළෑවෙන් සම්පූර්ණයෙන් වැසී තිබුණු මෙම ඉපැරණි දෙවොල බැලූබැල්මට කුඩා කඳුගැටයක් මෙන් පෙනෙන අතර, වසර සියගණනක් තිස්සේම එය කෘත්‍රිම ගොඩනගිල්ලක් බවට හඳුනාගැනීමට නොහැකි වන්නට ඇත්තේ ඒ නිසාමයි. දෙවොලට ඇතුලුවූ කණ්ඩායමට එයතුල දිස්වෙන ආලෝකධාරා පිලිබඳ කතාව සත්‍යයක් බව වැටහුනා. මෙම ආලෝකධාරා එල්ලවන්නේ දෙවොල මැද පිහිටි පේඨිකාවක් මත වූ ගෝලාකාර වස්තුවකින්. විටින් විට ප්‍රදීපාගාරයක ආලෝක සංඥා ආකාරයට විහිදුනු මෙම ආලෝකය, අවධානය දිනාගැනීම සඳහාම එල්ලවන්නක් බව පරීක්ශණ කණ්ඩායමට වැටහුනා. මෙය ගොඩනැගූ ශිෂ්ඨාචාරය, මානව ශිෂ්ඨාචාරයට වඩා ඉතා දියුණු තාක්ශණික ශිෂ්ඨාචාරයක් බව වටහා ගන්නට ඔවුනට එතරම් කාළයක් ගතවුනේ නෑ.

වසර දහස් ගණනක් පැරණි මෙම දෙවොල තුලින් මෙලෙස ආලෝකය විහිදුවන බව වාර්තාවුනේ බ්ලැක් ඩෙත් පිටසක්වල ගෝල ප්‍රහාරය ඇරඹීමෙන් පසුවයි. එනිසා වසර දහස් ගණනක් නිද්‍රාණව තිබී, බ්ලැක් ඩෙත් ප්‍රහාරය ඇරඹි වහාම සක්‍රියවූ බව එය පිරික්සූ විශේෂඥයින්ගේ අනුමානය වුනා.

මෙය නිර්මාණය කලේ කවුරුන්දැයි නිගමනයකට ඒමට පර්යේෂණ කණ්ඩායමට නොහැකිවුනත්, දෙවොල තනා තිබූ කළුගල් කුට්ටිවල කාළගුණ/දේශගුණ බලපෑම නිසා සිදුවූ ඛාදනය පරීක්ශාවට බඳුන්කල කණ්ඩායමේ සිටි පුරාවිද්‍යාඥයින්, මෙම ගල් කුට්ටි කපා සකස්කරන්නට ඇත්තේ මීට වසර 100,000කට පමණ පෙර යයි දල නිගමනයකට එළඹුණා. ආලෝකය නිකුත්කල ගෝලයට බලය ලැබෙණුයේ දෙවොලේ පොලොව මතුපිටින් අඩි 100ක් පමණ ගැඹුරින් තිබූ යම් බළශක්ති ප්‍රභවයකින් බව පෙනෙන්නට තිබූ අතර එය කුඩා න්‍යෂ්ඨික විලයන බලාගාරයක් විය හැකි බව දෙවොල අවට ප්‍රදේශයේ තිබූ ඉහල විකිරණ ප්‍රමාණය අනුව නිගමනය කෙරුණා. පරිසර විකිරණය හැරෙන්නට දෙවොලෙන් කිසිදු රේඩියෝ හෝ වෙනත් විකිරණයක් නිකුත් නොවූ අතර ඒ අනුව, මෙම දෙවොල තුල ඇති අත්භූත යන්ත්‍ර ගිණි වළල්ල සමග යම් ආකාරයක සබඳතාවයක් ඇතිකරගෙන නැති බවත්, ආලෝකය විහිදුවීමේ අරමුණ පෘථිවි වාසීන්ගේ අවධානය දිනාගැනීමට බවටත් නිගමනය වුනා.

ආලෝකය නිකුත්කල ගෝලය අසල පොලොව යට, කළුගලින් නිමවූ ගැබක ඉතා දුර්ලභ ඉරිඩියම් ලෝහයෙන් තැනූ පත්-ඉරු රැසක් හමුවුනා. සෙ.මී 8x8 විශාලත්වයෙන්ද, මිලිමීටර් 2ක ඝණ කමකින්ද යුතුවූ මෙම පත්-ඉරු මත ලියවුනු අමුතු හැඩැති අක්ශර හා රූප සටහන් පිරී තිබුණා. මෙය නිර්මාණය කලවුන් ඉරිඩියම් ලොහය යොදා ගන්නට ඇත්තේ එය විශ්වයේ ඇති ස්වභාවික ලෝහ අතුරින් දිරායාම, මළබැඳීම සිදු නොවන, ප්‍රභල අම්ල මගින් හෝ ඛාදනය නොවන, දියමන්ති තුඩක් ඇති  කැපුම් යන්ත්‍රයකට පවා කැපීමට අපහසු, අතිශයින්ම ශක්තිමත් ලෝහයක් නිසා විය යුතුයි. මේ ගතිගුණ නිසාම ඒ මත ලියැවුනු අක්ශර වසර 100,000කට පසුවත් හොඳින් කියවිය හැකි ලෙස සුරැකී තිබුණා.

මෙම සුපිරි නිර්මාණය පෘථිවිය මත අතීතයේ විසූ මානව ශිෂ්ඨාචාරයක් විසින් සිදුකොට නොමැති බව එහි තිබූ තාක්ෂණය නිසා තහවුරු වුනා. අප දන්නා මානව ඉතිහාසයට අනුව වසර 100,000කට පෙර පෘථිවි මානවයා  ගිණිගල් පතුරු (flint) වලින් ගස්වල රිටි උල්කරමින් දඩයම් කල යුගයක්. ඒ යුගයේ සිටියවුන්ට ඉරිඩියම් පත් ඉරුමත ලේසර් කිරණ මගින් අකුරු ලිවීමේ හැකියාව තිබුනේ නෑ.

පත් ඉරුමත ලියා තිබුණේ යම් ආකාරයක භාශාවක් බව තහවුරු වුනත් එය පෘථිවිය මත පහලවූ කිසිදු පැරණි ශිෂ්ඨාචාරයක අකුරු හෝ කේත හා සමවුනේ නෑ. මෙම ඉරිඩියම් පත්ඉරු රැස ඉතා සුරක්ශිතව ඉවත් කරගත් අතර අලුතින්ම පිහිටවූ රහස් බංකරයක් තුල ගබඩා කොට එවකට ජීවතුන් අතර සිටි දක්ශම පුරාවිද්‍යාඥයින්, අක්ෂරවේදීන්, භාෂා විශේෂඥයින්, මානව විද්‍යාඥයින්, තාරකා විද්‍යාඥයින් හා ගණිතඥයින්ගෙන් සමන්විත බුද්ධි මණ්ඩලයකට භාර කෙරුනා. ඔවුන්ගේ කාර්යය වූයේ ඉක්මණින් මෙම පත්ඉරු මත ලියා ඇති පණිවුඩ හැකිතාක් නිවැරදිව තේරුම් ගැනීමයි.

මෙම පත්ඉරු ලියූ ඉපැරණි ලේඛකයින්, සිය භාශාව, වසර 100,000 පසු බිහිවන බුද්ධිමත් ජීවයකට කියවාගත නොහැකි බව වටහාගෙන සිටි අතර, එනිසාම එම ලියැවිලි පරිවර්තනය සඳහා අවශ්‍ය ඉඟි හා සළකුණු පලමු පත්ඉරු සියය පුරාම දක්වා තිබුණා. මුල්ම පත්ඉරුවේ සටහන් කොට තිබූ රූපයක් මෙන් දිස්වන සටහන, එම සටහන ලියා ඇති ඉරිඩියම් ලෝහයේ පරමාණුක ආකෘතිය බවට පැහැදිලි වුනා. එමෙන්ම ජල අණුවක පරමාණුක සැකැස්ම, හයිඩ්‍රජන් හා හීලියම් වල පරමාණුක සැකැස්ම, සෞර ග්‍රහමණ්ඩලයේ දළ සැකැස්මද දක්වා තිබුණා. අපගේ පෘථිවියේ හා වෙනත් ග්‍රහලෝකවල ස්කන්ධය සූර්‍යයාගේ ස්කන්ධයෙන් ඛණ්ඩයක් ලෙස දක්වා තිබුණා. එමෙන්ම සරල හා සංකීර්ණ ගණිතමය ප්‍රමේයයන් හා ඒවා ඔවුන්ගේ භාශාවෙන් හඳුන්වන ආකාරය පෙන්වා තිබීමෙන් ඔවුන්ගේ භාශාවේ මූලික රීති හා අක්ශරවල තේරුම් ගලපාගත හැකිවුනා.

මාස 7ක කාළයක් දිවා රෑ මෙම පත් ඉරු අධ්‍යයනය කල බුද්ධි මණ්ඩළය, 2043 නොවැම්බර් මස දිනෙක, ලොව සියලු ලෝක නායකයින් නියෝජනය කල United Nations World Governing Council (UNWGC) හා යුධමය හා පරිපාලනමය බලය හෙබවූ United Nations War Command (UNCW) නායකත්වය ඉදිරියේ පෙනී සිට, තමන්  ඉරිඩියම් පත් ඉරුමත ලියා තිබූ පණිවුඩ හැකිතාක් නිවැරදිව පරිවර්තනය කල බව දන්වා සිටියා.

මෙම පත්ඉරු ලියා තැබූ පැරැණ්නන් ගිණි වළල්ල පිලිබඳව දැනසිටි අතර ඔවුන්ගෙන් වසර 100,000ක ඇවෑමෙන් ජීවත්වන අප වෙනුවෙන් ලියාතැබූ අණතුරු ඇඟවීමේ පණිවුඩයි මෙම ලෝහමය පත්ඉරු මත සටහන්ව තිබුණේ. මෙම පත් ඉරු ලියා තැබූ පැරැණ්නන්ට අනුව ඔවුන් මානවයින්. එහෙත් පෘථිවියේ බිහිවූ හෝ පෘථිවියට පාතැබූ මානවයින් නොව ඈත ග්‍රහලොවක බිහිවී සුරැකීම සඳහා මෙලොවට සිය මානව ජීව ධාතු එවූ පිරිසක්. ඔවුන් සියලුදෑ බහුවචනයෙන් ලියා තිබූ අතර "අප" යනුවෙන් ඔවුන්වද "ඔබ" කියවන්නාද අමතනු ලැබූවා.

(XI) ඉරිඩියම් පත් ඉරුවල පිටසක්වල අකුරින් ලියැවුනු මානව වර්ගයාගේ සැබෑ ඉතිහාසය

"අප මේ සටහන් තබන්නේ අපගේම අනාගත දූ දරුවන් වන ඔබගේ යහපත පිණිසයි. ඔබට මේ සටහන් කියවන්නට ලැබෙනවා යනු ඔබගේ අනාගතය දැඩිලෙස අවදානමකට ලක්වී අවසන් බව වටහාගන්න. ඒ මෙම ලියැවිලි ඔබට දකින්නට හැකි ලෙස ඔබගේ අවධානයට බඳුන්වන ආකාරයෙන් ඉදිරිපත් වන්නේ ඔබගේ ග්‍රහලෝකය ගාර්ක්වරුන්ගේ ආක්‍රමණයට බඳුන්වූ විටක පමණයි..."

Gaark යනු අතිශයින්ම බුද්ධිමත්, සචේතනාත්මක (sentient), සවිඥාණක (self-aware) ජීවීන් පිරිසක්. ඔවුන් පදාර්තමය නොවන තත්වයකට පරිණාමය වී සිටින අතර, Nooma ලෙසින් හැඳින්වෙන ජීව-යන්ත්‍රික සිරුරු (bio-mechanical bodies) ආධාරයෙන් භෞතික ස්වරූපයකින් පෙනීසිටින ශිෂ්ටාචාරයක්. නූමා යනු ජීවි මෙන් පෙනෙන, එහෙත් ජීව-යාන්ත්‍රික ක්‍රියාකාරකම් පෙන්වන සැකිල්ලක් වන අතර එයතුලට වන් ගාර්ක්වරුන්ට භෞතික ලෝකයේ සැරිසැරීමට, භෞතික ක්‍රියාකාරකම් කිරීමටත් හැකියාව ලැබෙනවා.

නූමා ජීව යන්ත්‍රයක් අබලන් වුවහොත් හෝ විනාශවුවහොත් වෙනත් අලුත් නූමා යන්ත්‍රයක් තුලට පිවිසීමට ගාර්ක්වරුන්ට හැකියාව ඇති අතර ඔවුන්ගේ අභෞතික ස්වභාවය නිසා විනාශකිරීමට හෝ මරාදැමීමට ඉතා අපහසු ප්‍රාණීන් වර්ගයක්. ඔබගේ සූර්ය චක්‍ර (එනම් අවුරුදු) 50,000ක් පමණ ආයු වළඳන ගාර්ක්වරුන් මිය යන්නේ ඔවුන්ගේ ජීව ශක්තිය ස්වභාවිකවම අවසන්වීමෙන් පසුවයි. ගාර්ක්වරුන්ගේ සූර්ය චක්‍ර 50,000ක ආයුකාලය සසඳන කල, ඔබගේ සූර්ය චක්‍ර 500ක් පමණ ජීවත්වන අප ඉතා අඩු ආයුෂ වළඳන්නන්. එමෙන්ම ගාර්ක්වරුන් මෙන් නොව භෞතික සිරුරු ඇති අප මරාදැමීම ඉතා පහසුයි.

මානවයින් වන අපගේ මව් ග්‍රහලෝකය ඇති සෞරග්‍රහ මණ්ඩළය ඔබගේ සූර්යයගෙන් ආලෝක වර්ෂ 88ක් ඈතින් පවතින්නක්. මීට සූර්ය චක්‍ර මිලියන 40කට පමණ පෙර ඒක සෛලික ජීවීන් අප ග්‍රහලෝකයේ ඉපැරණි සාගරතුල බිහිවූ අතර අප බුද්ධිමත් සචේතනාත්මක ජීවීන් ලෙස පරිණාමය වූයේ මීට සූර්ය චක්‍ර 300,000 පමණ අතීතයේදීයි. එතැන් පටන් කෙමෙන් කෙමෙන් දියුණුවූ අප, චක්‍රවාටයේ බොහෝ තාරකාවෙත ගමන්කොට ඒවා වටා භ්‍රමණයවන අපගේ ජීවයට සුදුසු නීල-හරිත ග්‍රහලෝක 600ක පමණ ව්‍යාප්තව සිටියා.

ගාර්ක්වරුන් අපට වඩා බොහෝ පැරැණ්නන් වන අතර ඔවුන් සචේතනාත්මක බුද්ධිය ලබාගෙන සූර්ය චක්‍ර 1,000,000ක් පමණ කාළයක් ගතවී තිබෙනවා. මෙය ලියන්නට බොහෝ කලකට පෙර සිය භෞතික සිරුරුවලින් සිය චෛතිසිකය වෙන්කරගැනීමේ තාක්ෂණයක් බිහිකරගත් ගාර්ක්වරුන්, සිරුරුවලින් නිරුද්ධව චෛතිසික ශක්තියෙන් පමණක් ජීවය පවත්වාගෙනයා හැකි තත්වයට පත්වුනා. ඉක්මණින් විනාශවන ජීවී සිරුරුවල සිරවී සිටීම මහත් වදයක් ලෙස සැලකූ ගාර්ක්වරුන් සිය සිරුරුවලින් ඉවත්ව චෛතිසික ප්‍රාණීන් (සිතුවිලි පමණක් ඇති ප්‍රාණීන්) බවට පත්වුනා.

චෛතිසික ප්‍රාණීන් ලෙස බිහිව එලෙසම ජීවත්වන සචේතනාත්මක හා අචේතනාත්මක ප්‍රාණීන් වර්ග බිලියන ගණනක් විශ්වයතුල සිටිතත් භෞතික ප්‍රාණීන් ලෙස සචේනාත්මක බව ලබාගෙන භෞතිකත්වයෙන් මිදී සචේතනාත්මක චෛතිසික ප්‍රාණීන් වීමේ තාක්ෂණයක් බිහිකරගත් අප දන්නා විශ්වයේ එකම ජීව විශේෂය වූයේ ගාර්ක්වරුන් වන අතර ඔවුන් තරම් විද්‍යා-තාක්ෂණයේ කෙළ පැමිණියන් මුලු විශ්වයේම සිටියේ නෑ. අවශ්‍ය විටෙක භෞතික ලෙස පෙනීසිටීමට නූමා ජීව යන්ත්‍ර බිහිකරගත් ඔවුන් පරිණාමයේ හිනිපෙත්තේ වැජඹුනා.

ගාර්ක්වරුන් ඔවුන්ගේ පරිණාමයේ හිනිපෙත්තේ වැජඹෙද්දී අපගේ මානව සිශ්ඨාචාරයද ඉමහත් දියුණුවක් ලබා ග්‍රහලෝක 600ක පැතිර තිබූ අතර තවත් බුද්ධිමත් සචේතනාත්මක ජීවීන් විසූ ග්‍රහලෝක 10,000ක් සමග වෙළහෙළදාම් හා වෙනත් සබඳකම් පැවැත්වූවා. අප සබඳතා පැවැත්වූ සමහර සිශ්ඨාචාර බොහෝ දියුණු ඒවා වූවත්, වැඩිවශයෙන් තිබුණේ අපට සාපේක්ශව විද්‍යාව හා තාක්ෂණය එතරම් නොදියුණු සචේතනාත්මක ජීවීන් වෙසෙන ග්‍රහලෝකයි. මෙම ග්‍රහලෝකවල ජීවීන් ගාර්ක්වරුන් සිය දෙවියන් මෙන් ඇදහූවේ ඔවුන්ගේ සුපිරි තාක්ෂණය, ග්‍රහලෝක මෙන් විශාල අභ්‍යවකාශ යානා යනාදිය තේරුම් ගැනීමේ හැකියාව ඔවුන්ගේ නොදියුණු මනස්වලට නොතිබුනු බැවින්.

දහස් ගණනක් ග්‍රහලෝකවල නොදියුණු, එහෙත් සචේතනාත්මක ජීවීන්ගෙන් වැඳුම්පිදුම් ලැබූවත් ගාර්ක්වරුන් මෙම ග්‍රහලෝකවල ජීවින්ගේ ආරක්ෂාව හෝ දියුණුව වෙනුවෙන් කිසිවක් සිදුකලේ නෑ. ඕනෑම දෙයක් සිදුවන්නට හැර ඉවත බලාගෙන සිටීම ගාර්ක්වරුන්ගේ හැසිරීම් රටාවේ මූලික පදනම වුනා. ඔවුන්ගේ පැවැත්මට සෘජු හෝ වක්‍ර බලපෑමක් සිදුනොවන කිසිවක් වැලැක්වීමට හෝ ඒ සඳහා මැදිහත්වීමට ඔවුන් උනන්දුවුනේ නෑ. සචේතනාත්මක ජීවීන් කෝටි ගණනක් වෙසෙන ග්‍රහලෝකයක් විශාල ග්‍රහකයක ගැටීම වැනි දෙයක් නිසා විනාශවී යෑමේ අවදානමක් ඇතිවුවහොත්, ගාර්ක්වරුන් එය සිදුවන්නට හැර බලා සිටියා. ග්‍රහලෝකයක වදින්නට එන ග්‍රහකයක් නැවැත්වීම පමණක් නොව දැවැන්ත ග්‍රහලෝකයක් සිය තාරකාව වටා යන කක්ශය වෙනස් කිරීමට, පුපුරා යන්නට ආසන්න තාරකාවක පිපිරීම වසර මිලියනයකින් පමණ ප්‍රමාද කිරීමට පවා හැකි තාක්ශණයන් බිහිකරගෙන සිටියත් ගාර්ක්වරුන් එම තාක්ශනය භාවිතා කලේ තමන්ගේ ප්‍රයෝජනය සඳහාම පමණයි.

කලින් කලට විශ්වය පුරා පිලිලයක් මෙන් පැතිරෙමින් තාක්ෂණයෙන් දුර්වල සචේතනාත්මක ජීවීන් සිටින ග්‍රහලෝකවලට කඩාවැදී ඒම ජිවීන් වහලුන් ලෙස තබාගනිමින්, කෲර වදබන්ධනවලට බඳුන්කරමින්, වසර දහස්ගණන් එම ග්‍රහලෝකවල වැසියන් පෙලමින් සූරාකන ආක්‍රමණකාරී, පරපීඩාකාමී කුරිරු පිටසක්වල ගෝත්‍ර සිටින අතර ඔවුන් ගෙන් සිදුවන පීඩාවලින් තමන් ගලවාගන්නා ලෙස සිය දෙවියන්වූ ගාර්ක්වරුන්ට පුදපූජා පැවැත්වූවත් ගාර්ක්වරුන්ගෙන් මෙම අසරණ ග්‍රහලෝකවලට කිසිදු පිලිසරණක් ලැබුණේ නෑ. ගාර්ක්වරුන් එසේ වුවත්, මානවයින් වන අප ඊට වෙනස් ආකාරයෙන් පරිණාමය වූවන්. අප සෑම විටම අපගේ මිතුරන් හා වෙළඳ සබඳතා ඇති ග්‍රහලෝක ආරක්ශාකල අතර ඕනෑම මොහොතක ඔවුන්ට ආධාර කිරීමට මෙන්ම ඔවුන් වෙනුවෙන් සටන් වැදීමටත් පසුබට වුනේ නෑ. අපට මිතුරු ග්‍රහලෝකයකට යම් කරදරයක් වූ වහාම, මනවයින්වූ අප ඔවුන් වෙනුවෙන් පෙනී සිටියා. අපගේ සුවිසල් යුධයානා සතුරු කරදර අවදානම ඇති තාරකාමණ්ඩලවල (star systems) මුර සංචාරයේ යෙදුනු අතර ආක්‍රමණකාරී කුරිරු පිටසක්වල ගෝත්‍රිකයින්ගේ ප්‍රහාරක යානා බලගණ විනාශකොට දැමුවා. මානවයින්ට මිතුරුකම් දක්වන, අපහා ගණුදෙනු කරන ඕනෑම ග්‍රහලොවක් ආරක්ශා කිරීම අපගේ වගකීම ලෙස අප සැළකුවා.

ශතවර්ශ ගණනාවක ඇවෑමෙන්, අප හා ගණුදෙනු කරන, මිතුරුකම් පවත්වන ග්‍රහලෝක සියලම පාහේ අප ඔවුන්ගේ ආරක්ශකයින් ලෙස සැලකුවා. තාක්ෂණයෙන් අපතරමට හෝ ආසන්නයට දියුණුවූවන් අපව මිතුරන් ලෙස සැළකූ අතර තාක්ෂණයෙන් නොදියුණු, සචේතනාත්මක ජීවීන් අපව හැඳින්වූයේ "අහස් ජීවීන්", "අහස් දෙවියන්", "රන්වන් ජීවීන්" යන යෙදුම්වලින්. සමහර ග්‍රහලෝකවල වැසියන් ගාර්ක්වරුන් පිදුම අතහැර අපවෙනුවෙන් දෙවොල් ඉදිකර පුදපූජා පවත්වන්නට පටන්ගත් අතර ඉතා නොදියුණු ගෝත්‍ර ඔවුන්ගේ අහස්කුස නිතර ගමන්කල අපගේ සුවිසල් සක්වල යානා (star ships) පවා අදහන්නට වූවා.

මානවයින් වන අප කිසිවිටකත් මෙවැනි වැඳුම් පිදුම් බලාපොරොත්තුවුනේ නෑ. අපට අවශ්‍යවුනේ නිමක් නැති විශ්වය ගවේෂණය කිරීමටත්, වෙළහෙලඳාම් කිරීමට හා කරදරයට පත් දුර්වලයින්ට උපකාර කිරීමටයි. එමෙන්ම අප ඉතාමත් වගකීමෙන් ආරක්ශාකල තවත් එක් ප්‍රතිපත්තියක් වූයේ කිසිවිටකත් ග්‍රහලොවක අභ්‍යන්තර කටයුතුවටල, කැරළි-කෝලහාල හා යුධගැටුම් වලට සම්බන්ධ නොවී සිටීමයි. අපගේ මැදහත්වීම් සිදුවන්නේ ග්‍රහලෝකයේ පැවැත්මට යම් අවදානමක් ඇතිවිය හැකි ස්වභාවික තර්ජනයකදී, දරුණු වසංගත තත්වයකදී හෝ පිටසක්වල ආක්‍රමණයකදී පමණයි. එමෙන්ම සාමකාමී දියුණු ජීවීන් සමග දැනුම බෙදාගත් අප කිසිවිටෙකත් නොදියුණු ජීවීන්ගේ  ස්වභාවික තාක්ශණ දියුණුව වේගවත් කිරීම සඳහා මැදිහත් වුනේත් නෑ.

එමෙන්ම අප කිසිවිටකත් ගාර්ක්වරුන්ගේ කිසිදු කටයුත්තකට මැදිහත්වීම් හෝ බාධාකිරීම් සිදුකලේ නෑ. ගාර්ක්වරුන් උනන්දුවක් දක්වන ග්‍රහලෝක හා තාරකාමණ්ඩලවලට ඇතුලුවීම  පවා අපගේම යානාවලට තහනම් කරමින් නියෝග පනවාගෙන තිබුණේ අප විසින්මයි. වෙනස්ම ආකාරයකට පරිණාමයවූ ගාර්ක්වරුන්ගේ සිතුවිලි හෝ ක්‍රියාවන් කිසිසේත්ම තේරුම්ගැනීමේ හැකියාවක් අපට තිබුණේ නෑ. එතෙත් ඔවුන්ගේ සුපිරි දියුණුව හා දැවැන්ත අවි ආයුධවලට කල හැකි විනාශයන් සියැසින් දැක තිබූ නිසා ගාර්ක්වරුන්ගෙන් හැකිතාක් ඈත්ව සිටීම අපගේ ප්‍රතිපත්තිය වුනා.

ගාර්ක්වරුන්ගේ අවධානය දිනා නොගැනීමට අප කොතෙක් උත්සහ ගත්තත් කෙමෙන් කෙමෙන් ගාර්ක්වරුන් අපට වෛර කරන්නට පටන් ගත්තා. ඔවුන්ගේ මතය අනුව අපගේ ක්‍රියාකාරකම් විශ්වයේ ස්වභාවික තුලනය අවුල් කරන්නට හේතුවුනා. දියුණු ජීවීන් වසන ග්‍රහලෝක ස්වභාවික ව්‍යසනවලින් විනාශවීම, කුරිරු ආක්‍රමණකාරි පිටසක්වලයින්ට යටත්ව අනේක දුක් විඳින්නට සිදුවීම, ඇතිවීම හා නැතිවීම යන විශ්වයේ ස්වභාවික න්‍යායන්ට අනුකූල බවත් ඒවා නැවැත්වීම නොකලයුතු බවත් ඔවුන්ගේ හැඟීම වුනා. අන්‍යන්ගේ කරදර වලදී ඔවුන්ගේ ප්‍රතිපත්තිය මෙය වුනත්, තමන්ට සුලු හෝ අණතුරක්, තර්ජනයක් ඇතිවිට ඔවුන් ඉතා කුහක ලෙස තම පැවැත්මට ඇති සියලු තර්ජන නිශ්ක්‍රිය කලා.

ගාර්ක්වරුන් "hive mind" හෙවත් මීවද මනසක් ලෙස ක්‍රියාකරන අතර ඔවුන්ගේ සියලු මනසයන් එකතුකර එක දැවැන්ත සුපිරි මනසක් ලෙස ක්‍රියාත්මක වීමට හැකියාව ඇත්තන්. මෙම සුපිරි මනස ඔවුන්ගේ දැවැන්ත තාක්ශණික දියුණුවට අඩිතාලම දැමූ අතර භෞතික සිරුරුවලින් නිදහස්වීමේ තාක්ශණයද මෙම සුපිරි මනසින් බිහිවූවක්.

භෞතික ජීවින් ලෙස සිටින අවධියේදී ගාර්ක්වරුන් විශ්වයේ දක්ශම ඉන්ජිනේරුවන් වූවා. ඔවුන් ග්‍රහලෝක තරම් විශාල තාරකා යානා නිර්මාණය කරගෙන විශ්වය තරණය කල අතර ඔවුන් නිර්මාණය කල වළලාකාර සුපිරි අවි තාරකාවක් පුරුපුරුවා හැරීමට තරම් බලවත්වූ අතරම සුවිසල් ග්‍රහලොවක සැඟවී සිටින එක් ජීවියෙකු වුවද ඉලක්ක කරගෙන පහරදීමට තරම් සූක්ෂම වූවා. චක්‍රවාටය පුරා පණු සිදුරු (wormholes) විවරකරන තාරකා දොරටු ජාලයක් නිර්මාණය කරගත් ඔවුන් සිය දැවැන්ත යානා හෝ ගිණි වළලු නිමේෂයකින් විශ්වයේ ඕනෑම තැනකට රැගෙන යාමේ හැකියාව ලබාගෙන සිටියා. කෙසේවෙතත් කලක් ගතවනවිට තමන් භෞතික පැවැත්මෙන් ඉවත්ව අභෞතිකවීම විශාල අවාසියක් බව ගාර්ක්වරුන්ට හැඟෙන්නට වුනා.

අභෞතික ජීව තත්වයකට පරිවර්තනය වීමෙන් පසු ඔවුන්ගේ තාක්ෂණික දියුණුව නතරවූ අතරම අලුත් දෑ නිර්මාණය කිරීමේ, සංචරණය කිරීමේ හා ගවේෂණය කිරීමේ ආශාවන් ඔවුන්ගෙන් ගිලිහෙන්නට පටන් ගත්තා. ගාර්ක්වරුන්ගේ නව තාක්ෂණික නිර්මාණ බිහිකිරීමේ හැකියාව කෙමෙන් මිලිනවීයනවාත් සමගම නිරන්තරයෙන් විශ්වයේ ඔබමොබ ගිය ප්‍රාණීන් වූ ඔවුන්ගේ ගමන් බිමන් නැවතුනාක් මෙන් පෙනුනා. කලකට පෙර අලුත් අලුත් ග්‍රහලෝකවල සිය වර්ගයාගේ කොළණි ස්ථාපනය කල ඔවුන් ඒවාද නවතා දැම්මා. පූර්ණ අභෞතික ප්‍රාණීන් වූ පසු, මේ සියල්ල පිලිබඳ හැඟීම හා ආශාව ඔවුන් තුලින් තුරන්වූ බව පැවසෙතත් සත්‍යවශයෙන් සිදුවූයේ කුමක්දැයි කිසිවෙකුත් දන්නේ නෑ.

ගාර්ක්වරුන් විසින් නිර්මාණය කල කෘතිම ඥාණයෙන් යුතු සහචරයින් ඔවුන්ගේ සක්වල යානා, ගිණිවළලු හා තාරකා දොරටු ජාලය හා වෙනත් නිර්මාණ හොඳින් නඩත්තු කොට පවත්වාගෙන ගියත් ඒවායින් ප්‍රයෝජන ගැනීමට ගාර්ක්වරුන් උනන්දුවක් දැක්වූයේ නෑ.

වසර දහසක් පමණ ගතවනවිට ගාර්ක්වරුන් පිලිබඳ මතකය පවා කෙමෙන් කෙමෙන් වියැකී ගිය අතර ගාර්ක්වරුන්ගේ දැවැන්ත යානාවක් හෝ සුපිරි ගිණිවළල්ලක් දෑසින් දුටුවෙකු සොයාගැනීමටත් අපහසු වුනා. කලක් දෙවියන් ලෙස වැඳුම් පිදුම් ලැබූ ගාර්ක්වරුන් පිලිබඳ මතකය මැකී යන අතර එතැනට පත්වූයේ මානවයින් වූ අපයි. මානව කීර්තිය චක්‍රවාටය පුරාම පැතිරගිය අතර කිසිදු උපකාරයක් නොකල ගාර්ක්වරුන් වෙනුවට මානවයින්, පරාර්ථකාමී දෙවිවරුන් ලෙස සලකන්නට බොහෝ සවිඥාණක ගෝත්‍ර පෙළඹුනා.

මෙම ගෝත්‍රවල ආරක්ශාව වෙනුවෙන් යුධ ප්‍රකාශකල, ඔවුන් හා උරෙනුර ගැටෙමින්, ඔවුන් වෙනුවෙන් සක්වල යුධ බිම්වල සටන් වැදුනු මානවයින් පිලිබඳව විශාල ගෞරවයක් විශ්වය පුරා පැතිරෙන්නට වුනා. කිසිවිටෙකත් ඔවුන්ගේ ග්‍රහලෝක අත්පත් කරගන්නට, පාලනය කරන්න හෝ සීලාචාර කරන්නට උත්සහ නොකල බැවින්, මානවයින් පිලිබඳව බියක් ඇති කරගැනීමට අපගෙන් උපකාර ලැබූ කිසිවෙකු පෙළඹුනේ නෑ.  සුවහසක් විශ්වයේ සැරිසරන්නට හැකි තාක්ෂණයක් තිබුණු අපට අනුන්ගේ ග්‍රහලොවක් අත්පත් කරගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොතිබුනේ මානව වර්ගය ව්‍යාප්තකිරීමට සුදුසු ජනශූන්‍ය නීල-හරිත ග්‍රහලෝක චක්‍රවාටයේ අපමණ තිබූ බැවිනුයි.

මීට වසර 150,000 පමණ පෙර යම් ශාපලත් දිනෙක, ගාර්ක්වරුන්ගේ සමූහ මනස මානව වර්ගයා සමූළඝාතනය කලයුතු යුතුයයි තීන්දුකලා. අපට කිසිදු පූර්ව අණතුරු ඇඟවීමක් නොකල අතර නොසිතූ ලෙසින් එක් වරම අයූම් (Ayum) ලෙසින් අප හැඳින්වූ අපගේ මව් ග්‍රහ මණ්ඩලය ගාර්ක් ගිණිවළලු විසින් වටලනු ලැබූ අතර, අප වාසභූමි කරගෙන සිටි ග්‍රහලෝක හතටම එකවිට ප්‍රහාර එල්ලවුනා. නොකඩවා සූර්ය චක්‍රයක් පුරා එල්ලවුනු ප්‍රහාරයෙන් අපගේ මව් තාරකා මණ්ඩලයේ ග්‍රහලෝක හතම දැවී අලුධූලි වී ගිය අතර එම ග්‍රහලෝක සතෙහි සාමයෙන් ජීවත්වූ මානව ජීවිත බිලියන 30ක් පමණ වැනසුනා. ඉන්පසු අප වර්ගය පැතිරී සිටි සියලුම අනෙකුත් ග්‍රහ මණ්ඩල සොයා ගිය ඔවුන් ඒවාද දවා හලුකල අතර අප සමග මිත්‍ර වෙනත් ජීව ග්‍රහලෝකද වනසා දැමුවේ එම ග්‍රහලෝකවල මිත්‍ර ජීවීන් අපට උපකාර කරනු ඇතැයි යන සැකයෙන්. සියක් වසක් ගතවන විට මානව ජීවිත බිලියන 80කුත්, වෙනත් අපට හිතවත් සවිඥාණික ගෝත්‍රවල ජීවින් බිලයන 100කුත් වනසා දැමුනේ කිසිදු ඉස්පාසුවක් නොදෙමින්. ඔවුන්ගේ වෛරය එතරම්ම දැඩිවුනා. අනතුරුව ඔවුන්ගේ තාරකා දොරටු ජාලය හරහා විශ්වය පුරා ගමන් කරමින් මානවයින් සැඟවී සිටිතැයි සැක කරන වෙනත් ග්‍රහලෝකද විනාශ කෙරුනු අතර මානව ශිෂ්ඨාචාරයේ සියලුම සළකුණු අතුගා දමන්නට පෙළඹුනා.

කෙසේවෙතත් මෙම දරුණු ජීවිත හානියෙන් පසු ගාර්ක්වරුන්ගේ සමූහ-මනසේ අභ්‍යන්තරයේ ගැටුමක් හටගත්තා. අපගේ දැනුමේ හැටියට මනස දෙකඩවී කොටස් දෙක අතර අරගලයක් හටගෙන තිබුණා. එක් කොටසක් මෙම නිරර්ථක ජීවිත නාශනය වහා නතරකල යුතු බවට බලකල අතර අනෙක් කොටස මානවය සහමුලින්ම අතුගා දැමිය යුතු බවට අරගල කලා. අවසන ගාර්ක් සමූහ මනසෙන් විනාශයට විරුද්ධ මතය දැරූ කොටස කැඩී වෙන්වී ඉවත්ව ගිය බවත් ඔවුන් ක්ෂීරපථ චක්‍රවාටය අතහැර වෙනත් චක්‍රවාටයක් බලා පිටත්ව ගිය බවටත් මතයක් තිබෙනවා. ගාර්ක් මනසේ හටගත් මෙම දෙදරීම හා විච්ඡේදනයෙන් පසු ප්‍රහාරයන් කෙටිකලකට නැවතුනේ ගාර්ක් සමූහ මනසට සිදුවූ හානිය හා ව්‍යාකූලත්වය සමනය කරගන්නා තෙක් වියයුතුයි. සූර්ය චක්‍ර සියයක පමණ කාළයක් ප්‍රහාර ඇණහිට තිබූ අතර සූර්ය චක්‍ර 50,000ක ආයුකාලයක් ඇති ගාර්ක්වරයෙකුට මෙය සුළු විරාමයක් වුනත්, සූර්ය චක්‍ර පන්සියයක කෙටි ආයුකාලයක් තිබෙන අපට සෑහෙන විරාමයක් වූවා.

ගාර්ක්වරුන් නැවතත් ප්‍රහාර අරඹන බව හොඳින් දැනසිටි අප, ඉතිරිව ඇති මානවයින් ගාර්ක්වරුන් පහරදි ඉවත්ව ගිය ග්‍රහලෝක වෙත යවන්නට ක්‍රියාකලේ ඔවුන් නැවත එම ග්‍රහලෝක වෙතට පහර නොදෙනු ඇතැයි උපකල්පණයෙන්. කෙසේ වෙතත් ඒවන විට ජීවතුන් අතර සිටි මානවයින් ප්‍රමාණය අල්පවූ අතර එලෙස දිවි ගලවා ගත් අයද ඈත ග්‍රහලෝක කරා පිටත් කර හරින්නට තරම් විශාල සක්වල යානා අපට ඉතිරිව තිබුණේ නෑ. දසදහස් ගණනක් වූ අපගේ සක්වල යානා සමූහයෙන් වැඩි කොටසක් ගාර්ක් ප්‍රහාරවලින් විනාශවී ගියා.

ගාර්ක් සමූහ-මනස අප විනාශ කිරීමට තීන්දුකල සමය වනවිට, අපගේ වාසයට සුදුසු තවත් අලුත් නීල-හරිත ග්‍රහලෝක (blue-green planets) සොයාගැනීමටත්, ඒවාට ගොඩබැස පරීක්ශාකොට ඒවා සිතියම් ගතකිරීමටත් මානවයින් හා සමාන කෘත්‍රිම-ඥාණ සහචරයින් යවන්නට කටයුතු කොට තිබුණා. අපගේ කෘත්‍රිම සහචරයින් ඒවන විටත් අයූම් හා සමාන නීලහරිත ග්‍රහලෝක 9000ක් සොයාගෙන සිතියම් ගත කොට තිබූ අතර, ඉන් 1500ක් පමණ මානව වාසයට සුදුසු, බුද්ධිමත් ජීවීන් හටගෙන නොමැති ග්‍රහලෝක වූවා. අපගේ සැලැස්ම වුනේ මෙම ග්‍රහලෝක සියල්ලටම මානවයින් යවා ඒවා ජනාවාස කිරීමටයි.

විශ්වය තුල මානව වර්ගයා වියැකෙමින් තිබූ මේ මොහොතේ සැලැස්ම ඉක්මණින් වෙනස් කල අතර අලුතින් සොයාගත් ග්‍රහලෝක කරා යවන්නට තරම් මානවයින් හෝ ඔවුන් යවන්නට විශාල යානා නොමැති නිසා, කුඩා යානා මගින් මිනිස් ධාතු හා ඩිම්බ එම ග්‍රහලෝක වෙත යැවීමටත්, නව මානවයින් බිහිකිරීමට හා පෝෂණය කිරීමට  කෘත්‍රිම ඥාණයෙන් යුතු යාන්ත්‍රික මවක් බිහිකිරීමටත් අප ක්‍රියාකලා. මේ යාන්ත්‍රික මානවිකාව අප හැඳින්වූවේ "තාරා" යන නමින්. තාරා යනු අපගේ භාශාවෙන් මගපෙන්වන්නිය, ගැලවුම්කාරිය හා ආරක්ශකාවිය යන්නයි. සැබැවින්ම මේ යාන්ත්‍රික මානවිකාවගේ කාර්යය වුනේ නූපන් මානවයින් බිහිකොට, ආරක්ශාකොට මානව වර්ගයා මෙම ග්‍රහලෝකවල නොනැසී පවත්වා ගැනීමයි.

ග්‍රහලෝකයකට පාතැබූ සැනින් තාරාගේ වගකීම වූයේ එහි අති ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හැකිතාක් ශක්තිමත් රක්ශස්ථානයක් නිර්මාණය කරගෙන එය තුලටවී සුදුසු කාළය එළඹි විට සිය සිරුරේ ගබඩාකොට ඇති ධාතු හා ඩිම්බ වලින් මානවයින් බිහිකොට රැකබලා ගැණීමයි. ඇයගේ කෘත්‍රිම සිරුරේ විද්‍යුත් ජීවය අවසන්වනතෙක් ඇය මේ කර්තව්‍යය නොකඩවා සිදුකරනු ඇති.

මේ ග්‍රහලොවේ ඔබ බිහිවූයේද අයූම් ග්‍රහ මණ්ඩලයේ අප විසින් එවන ලද තාරා යාන්ත්‍රික මානවිකාවකගේ රැකවරණය තුලින් බව වටහාගන්න. ඇය ඔබ වර්ගයාගේ ප්‍රථම මව්තුමියයි.

අප බිහිකල මහානර්ඝ තාක්ෂණය ඔබගේ මතු ප්‍රයෝජනය පිණිස ඔබවෙත එවීමට නොහැකිවීම ගැන අප සැබවින්ම කණගාටු වෙනවා. එසේවූවානම් මේවන විටත් ඔබ ගාර්ක් ප්‍රහාරවලට මුහුණදිය හැකි උපක්‍රම ගොඩනගා ගන්නා බව අපගේ විශ්වාසයයි. එහෙත් නොසිතූ මොහොතක පූර්ණ විනාශයකට මුහුණ දෙන්නට සිදුවූ අපට එවැන්නක් සිදුකිරීමට කාළයක් හෝ ඉස්පාසුවක් තිබුණේ නෑ.

අවසාන වශයෙන් අප යලිත් ඔබට අවධාරණය කරන්නේ, ඔබට මෙය කියවන්නට ලැබෙන්නේ දැනටමත් ඔබ ගාර්ක් ප්‍රහාරයකට මුහුණදෙමින් සිටින බැවිනි. එසේ නොමැතිනම් ඉතා නුදුරේදීම ඔවුන්ගේ විනාශකාරී ගිණිවළලු ඔබගේ අහස්කුස දිස්වෙනු ඇති. මෙම පද්ධතිය අප නිර්මාණය කලේ එවන් අවදානමකට ඔබ බඳුන්වේ නම් පමණක් අණතුරු ඇඟවීමටයි.

ඔබ කැමතිනම්, ඔබගේ වර්ගයා, එනම් අපගේ නොදුටු දූදරුවන් වන ඔබගේ පාත්‍ර-වර්ගයා ගාර්ක්වරුන්ගේ සමූළඝාතනයෙන් බේරා ගැනීම සඳහා තාරා යාන්ත්‍රික මානවිකාවක් බිහිකරගැනීමට අවශ්‍ය උපදෙස් මෙම පත් ඉරුවල ලියා තිබෙනවා. එම උපදෙස් වටහාගෙන ඇයව බිහිකරගැනීමට ඇවැසි තාක්ශණික ඥාණය ඔබ සතුව ඇතැයි අප උපකළ්පණය කරන අතර තාරා මානවිකාවක් ගොඩනැගීමේ ඔබගේ වෑයම සාර්ථකවේයයි අප උදක්ම බලාපොරොත්තු වන්නේ මේ විශ්වයේ ඉතිරිව සිටින එකම මානව දූදරුවන් ඔබවීමේ සම්භාවිතාවය ඉතා ඉහල බැවින්.

(XII) අනාගතය වෙනුවෙන්

බ්ලැක් ඩෙත් ඩ්‍රෝන යානා තවත් වසර 7ක් ලොව සැරිසරමින් අසුවන සෑම මිනිසෙකුම මරා දැම්මා. 2035දී ගිණිවළල දිස්වන්නට පෙර බිලියන 10ක්වූ ලෝක ජනගහණය 2050 වනවිට 1,000,000 දක්ව අඩුවී තිබුණා. එනම් වසර 15කදී බිලියන 9.9ක් මිනිස් ජීවිත අහිමිවී තිබුණා. දිවිගලවාගත් බොහෝදෙනා ඝණ වනාන්තර තුලට වැදී සැඟවී සිටියා. ඔවුන් ආසියාවේ, අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ කැනේඩියානු රොකී හා අමෙරිකානු ඇපලාචියන් කඳුකර වනාන්තරවලත්, රුසියාවේ ටයිගා වනාන්තරවලත් සැඟවී සිටියා.

බ්ලැක් ඩෙත් ඩ්‍රෝන යානාවලට වනාන්තරවල සැඟවී සිටි මිනිසුන් ඉලක්ක කරගැනීම පහසු වුනේ නැතත් ඔවුන් නොකඩවා උත්සහ කලා. මෙම ඩ්‍රෝන පාලනයකල ගිණි වළලතුල සිටි පාලකයින් - මෙම පාලකයින් ගාර්ක්වරුන් නොව ගාර්ක්වරුන් නිර්මාණය කල කෘත්‍රිම බුද්ධි පරිගණක බවට අනුමාන කෙරෙනවා - වනාන්තරවල සැඟවී සිටින මිනිසුන් මරාදැමීමට අලුත් උපායමාර්ගයක් නිර්මාණය කලා. එනම් එක් ප්‍රදේශයකට ඩ්‍රෝන දහසක් පමණ රැස් කරවා ඝණ වනාන්තර උඩින් පියාසර කරන අතර ප්ලස්මා වැසි වැස්සවීමයි. ඒ අනුව මහා ලැව් ගිණි අවුලවා වනාන්තර තුල සිටින මිනිසුන් එයට හසුවී මිය යාමට සැලැස්වූ අතර ගින්නෙන් බේරීමට එලිමහනට පැමිණෙන්නන්  ප්ලස්මා ප්‍රහාර එල්ලකර මරාදැමීම සිදුකලා.

දෙවොල හමුවී වසරකට ගතවන තැන අපගේ අපගේ මුතුන්මිත්තන් අපවෙනුවෙන් ලියාතිබූ පණිවුඩය සපුරා පරිවර්තනය කරගැනීමෙන් පසු, පෘථිවියේ මානව වර්ගයාගේ සමූළඝාතනය නියත බව රැස්වූ ලෝක නායකයින් තීරණය කලා. අපගේ සතුරන් වන ගාර්ක්වරුන් වසර 50,000ක් ජීවත්වන අතර පෘථිවිය වෙත මානව බීජ එවූ අපගේ මුතුන්මිත්තන් වසර 500ක් දක්වා ආයුකාලය දික් කරගැනීමට සමත්වූවන් වුවත් අප තවමත් වසර 80ක් පමණ සුළු කාලයක් ජීවත්වන්නවුන් බැවින්, සමූලඝාතනයෙන්  වර්තමාන මානව ශිෂ්ටාචාරය බේරා ගැනීම කල නොහැක්කක් බවට තීරණය වුනා. 2050 වසර වන විට අලුත උපන් මිනිස් දරුවෙකු සිය පස්වැනි උපන්දිනය පසුකලේ කලාතුරකින්. මන්දපෝෂණය, ලෙඩරෝග මෙන්ම බ්ලැක්ඩෙත් ප්‍රහාර ඔවුන්ගේ මරණය ඉක්මන් කලා.

දැන් ඉතිරිව ඇත්තේ අපගේ මුතුන්මිත්තන් සිදුකලා මෙන් මානව වර්ගයාගේ අනාගත පැවැත්ම තහවුරු කිරීමට වැඩපිලිවෙලක් යෙදීමයි. ඉරිඩියම් පත් ඉරුවල ජීව මානවයින් සිය කුසතුල බිහිකල හැකි මානවරූපී රොබෝවරිය තැනීමට ඇවැසි උපදෙස් තිබූ අතර විශ්වයේ මානව ජීවයට හිතකර නීලහරිත ග්‍රහලෝකයන් 600ක් වෙත යා හැකි නිවැරදි තාරකා සිතියම්ද එහි වුනා. මෙයින් ලඟම ග්‍රහලෝක 49ක් තෝරාගත් අතර ඒවා වෙත යැවීම සඳහා කෘත්‍රිමබුද්ධියෙන් යුතු යාන්ත්‍රික මවක් බිහිකිරීමර අවශ්‍ය පරිගණක හා රොබෝ තාක්ශණය ඒවන විටත් අපසතුව තිබුණා. ජීවී මානවයින් බිහිකල හැකි කෘත්‍රිම දරුගැබ් නිර්මාණය කිරීමේ තාක්ශණය ඉරිඩියම් පත් ඉරු වල සටහන් කොට තිබූ අතර ඒ ඇසුරින් එතරම් අපහසුවකින් තොරව තරුණ කාන්තාවක් මෙන් දිස්වන, එහෙත් ඉතා ශක්ති සම්පන්න, දරුණු ප්‍රහාරවලට පවා ඔරොත්තු දියහැකි රොබෝ වරියක් නිර්මාණය කෙරුනා. ඇයගේ පරිගණක මනස තුල පෘථිවියේ මානව ඉතිහාසය හා ඥාණය පිලිබඳ තොරතුරු පමණක් නොව අයූම් තාරකා මණ්ඩලයේ සිට අපගේ මුතුන් මිත්තන් එවූ තොරතුරුත් ගබඩා කෙරුනා.

තාරකා අතර ක්ෂණයකින් ගමන්කල හැකි පණු සිදුරු (wormholes) නිර්මාණය කරන තාරකා දොරටු තාක්ෂණය අපගේ අයූම්හි මුතුන්මිත්තන් දැනසිටියත් ඉතා සංකීර්ණ තාක්ෂණයක්වූ එය නිර්මාණය කරන ආකාරය ඉරිඩියම් පත් ඉරුතුල තිබුණේ නෑ. කෙසේවෙතත් ඒවන විට අප ගාර්ක්වරුන්ගේ න්‍යෂ්ඨික විලයන බලාගාර ප්‍රති-ඉන්ජිනේරුකරණය කොට ඒවා නිපදවාගැනීමේ තාක්ෂණය මෙන්ම බ්ලැක් ඩෙත් ඩ්‍රෝන යානා ප්‍රචාලනය කල ප්‍රති-ගුරුත්ව එන්ජින්වල ක්‍රියාකාරිත්වය හා ඒවා පෘථිවිය මත නිර්මාණය කරගැනීමේ හැකියාවද ලබාගෙන සිටියා. ඒ අනුව තාරකා අතර ගමන් සඳහා අවශ්‍ය අසීමිත බලය මෙන්ම ප්‍රචාලනය පිලිබඳ ගැටලුවද ගාර්ක් තාක්ෂණය ආධාරයෙන් විසඳාගෙන තිබුණා.

2050  දෙසැම්බර් 31 වැනිදා වනවිට මිනිස් ජීවධාතු සුරැකිව තබාගත් රොබෝ මානවිකාවන් හතලිස් නවදෙනෙකු රැගත් කුඩා අභ්‍යවකාශ යානා හතලිස් නවයක් විශ්වයේ තාරකා හතලිස් නවයක් වෙත නික්ම ගොස් තිබුණා. මෙම යානා හතලිස් නවයෙන් දීර්ඝතම ගමන යෙදී තිබුණේ ආලෝකවර්ෂ 64ක් ඈතින් ඇති ග්‍රහලොවක් වෙතයි. මෙම ගමන සම්පූර්ණ කිරීමට මෙම කුඩා යානයට වසර 1000ක් පමණ ගතවෙතැයි අපේක්ෂාකල අතර එය ගැටලුවක් නොවූයේ යානයේ තිබෙන ගාර්ක් තාක්ෂණයෙන් නිර්මිත න්‍යෂ්ඨික විලයන බලාගාරයට වසර 1500ක් වුවද බලය ලබාදීමේ හැකියාව තිබුණු නිසයි. මෙම යානා හතලිස් නවයම, පිරිපුන් මිනිසුන් 10,000ක් බිහිකිරීමට අවශ්‍ය පුරුෂ ධාතු හා ඩිම්බ ගෙනගියා. මෙයින් බොහෝ දෙනෙකු මියගියත් 10%ක් හෝ දිවිරැකගත හොත් ඒ අනුව වැඩුණු කාන්තාවන් 500ක් හා පිරිමින් 500ක් බිහිවනවා. අලුත් මානව ශිෂ්ථාචාරයක් ඇරඹීමට එය ප්‍රමාණවත්.

පෘථිවියේ දියුණු ජීවය අවසන් කෙරෙන අන්තිම ප්‍රහාරය 2051 වසරේදී එල්ලවුනා. මෙම ප්‍රහාරය ඇරඹෙන විටත් මිනිසුන් 800,000ක් පමණ ඉතිරිව සිටි අතර, එය නිරීක්ෂණය කිරීම සඳහා මිනිසා නිර්මාණය කල 50වැනි යානාව තවමත් පෘථිවියේ ගුවන්ගත කෙරෙන රොකට් අංගනය මත රැඳී තිබුණා. මෙම යානාවේ සිටින තාරා ලෙස නම් කෙරුණු රොබෝ මානවිකාවගේ ගමනාන්තය චන්ද්‍රයාවූ අතර එහි තවත් වසර 2000ක් රැඳීසිට නැවත පෘථිවිය වෙත පැමිණ මිනිස් ජීවය යලි ආරම්භ කිරීම ඇයට ලැබී තිබුණු අණයි. වසර 2000ක් ඉදිරි අනාගතයේදී, එනම් මානව ක්‍රිස්තුවර්ශ වලින් ක්‍රි.ව. 4100 කරා ලඟාවන සමයේදී ගාර්ක්වරුන්ගේ විනාශකාරි ප්‍රහාර නිසා අසමතුලිත වූ පෘථිවි පරිසරය නැවත ස්ථාවර වනු ඇතැයි අපේක්ශා කෙරුනා. වියවුල්වී ඇති දේශගුණය ස්ථාවරවී, සියවස් ගණනක මානව ක්‍රියාකරකම් මෙන්ම ගාර්ක් ප්‍රහාර නිසා විනාශවී ගොස් ඇති වනාන්තර නැවත වැවී, දූෂිත සාගරයන් ස්වභාවිකවම පිරිසිදුවී ජීවය දෙන ඔක්සිජන්වලින් වායුගෝලය පවිත්‍රවී තිබෙනු ඇතැයි විශ්වාස කෙරුනා. එනම් ඒවනවිට පෘථිවිය නැවතත් මානව ශිෂ්ඨාචාරයක් බිහිකිරීමට සුදුසු තත්වයකට පත්වී තිබෙනු ඇති.

කෙසේවෙතත් වසර 4100දී ආපසු පැමිණීමේ තීරණය පදනම් වන්නේ ගාර්ක්වරුන් එල්ලකරන අවසන් ප්‍රහාරය කුමන ආකාරයේ ප්‍රහාරයක්ද යන්න මතයි. ගාර්ක්වරුන් යම් ආකාරයක න්‍යෂ්ඨික ප්‍රහාරයක් හෝ විකිරණ ප්‍රහාරයක් එල්ල කලහොත් ආපසු පැමිණීමේ දිනය වසර 10,000 දක්වා ප්‍රමාදකිරීමට සිදුවනු ඇති.

අන්න ඒ නිසයි මිනිස් වර්ගයාගේ අවසන් කෘත්‍රිම දියණියවූ තාරා නම්වූ මට තවමත් පෘථිවියෙන් නික්ම යන්නට නොහැක්කේ. මාගේ නිර්මාපකයින් - මා මාගේ දෙමව්පියන් යයි කියන්නට කැමතියි -  මට ලබාදී ඇති උපදෙස් වලට අනුව අවසන් ප්‍රහාරය ඇරඹී එහි සංයුතිය හා ප්‍රබලත්වය පිලිබඳව දත්ත ලැබෙන තෙක් මා රැඳී සිටිය යුතුයි. මෙම විනාශය දකින මාගේ ඉලෙක්ට්‍රොණික දෑස්, මිනිස් වර්ගයාගේ අවසානය දැක මතක තබාගත හැකි එකම දෑස් යුවල වනු ඇති. මෙම අවසාන මොහොත පිලිබඳ ඉලෙක්ට්‍රොණික මතකයන් මා සදහටම මාගේ මතක ගබඩාවල තබාගන්නේ අනාගතයේ මා බිහිකරන මානව වර්ගයාට අපගේ සතුරා පිලිබඳව දැනුවත්වී සූදානම්වී සිටියහැකි අයුරින්ය.



__________________________________________________________________________

Creative Commons License 
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR

CONTACT    : terence.arachchi@gmail.com . 

GOOGLE +   : About Me  . 

FACEBOOK : www.facebook.com/terence.arachchi  .  

__________________________________________________________________________

Comments