කන්ද උඩරට රග්බි අධිරාජ්‍යට අනපේක්ෂිත ගුවන් ප්‍රහාරයක්

5110
Dialog Rugby League 2016/17

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලි ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් ගුවන් හමුදා රග්බි කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද (11) සමත් විය. ඒ පසුගිය දෙවසරේදීම ශූරයන් වන මහනුවර කණ්ඩායම පරාජය කරමිනුයි. තම අපරාජිත වාර්තාව තවදුරටත් දීර්ඝ කර ගැනීමේ අරමුණ ඇතිව අගනුවරට පැමිණි කන්ද උඩරට ක්‍රීඩකයන් හට අමතක නොවන අත්දැකීමක් ලබා දෙමින් පළමු අර්ධය තුලදීම ලකුණු 14 – 07 ක් ලෙස පෙරමුණ ගත් ගුවන් භටයන් තම ආධිපත්‍ය ගිලිහී යා නොදී ලකුණු 24 – 21ක් ලෙස තියුණු තරගයකින් පසු ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් විය.

පසුගිය ලිපි: ඩයලොග් රග්බි ලීග් – පෙර විපරම – 2වන සතිය

ගුවන් හමුදාව වෙනුවෙන් චරිත් සෙනෙවිරත්න තරගය ආරම්භ කල අතර මුල සිටම මෙම කණ්ඩායම් දෙක ඉතා වේගවත් තරග රටාවක් පෙන්නුම් කලේ තරගය ඉදිරියට ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ පෙර ලකුණු ප්‍රකට කරමිනුයි. මහනුවර ක්‍රීඩකයන් මුල් භාගයේදී පන්දුවේ ග්‍රහණය වැඩි කාලයක් තමන් සතුව රඳවා ගන්නට සමත් වුවද, පන්දුව හැසිරවීමේ දෝෂ (Handling Errors) හේතුවෙන් ඔවුන් හට ලකුණු ලබා ගැනීමේ අවස්තාව අහිමි ව ගියේය.

කාංචන රාමනායක මහනුවර කණ්ඩායමේ චූදිතයා බවට පත් වූයේ ඔහුගේ අතින් ඉදිරියට යොමු වූ පන්දුවක් හේතුවෙන් ගුවන් හමුදා කණ්ඩායමට පිටියේ මැද ප්‍රදේශයේ ස්ක්‍රම් අවස්තාවක් හිමිවීමත් සමඟයි.

ගුවන් හමුදා අංක 8 ක්‍රීඩක සාරක වැරැල්ල එම ස්ථානයේ ක්‍රීඩකයෙකුට අයිති රාජකාරිය මනාව ඉටු කරමින් ගුවන් හමුදා කණ්ඩායමට මීටර් 20ක පමණ වාසියක් හිමිකර දෙන්නට සමත් විය. ඒ අතර මහනුවර ආරක්ෂක ක්‍රීඩකයන් ද විශ්මයට පත්වූ අයුරක් පෙනී යද්දී ක්‍රීඩක ගොමුව අතරින් පිටියේ එක් පසෙකට පන්දුව යොමු කල ගුවන් හමුදා ෆ්ලයි හාෆ් ක්‍රීඩක අශෝක් විජයකුමාර් මහනුවර ආරක්ෂක සංවිධානයේ සිදුරක් තුලින් පන්දුව රැගෙන යාමට අවකාශ සලසා දුනි. ඉෂාර මධුශාන් එම හිඩැස මනාව හඳුනාගෙන ඒ අතරින් දිවගොස් තරගයේ පළමු උත්සාහක දියුම වාර්තා කරන ලදී. තද සුළඟ මධ්‍යයේ වුවත් අපහසු ස්ථානයක සිට ප්‍රවර්තනයද සාර්ථක කරගන්නට චරිත් සෙනෙවිරත්න කටයුතු කලේය (00-07).

මහනුවර ක්‍රීඩකයන් ලකුණු සම කිරීමට විශාල උත්සහයක් ගත්තද, ඒ සඳහා ඔවුන්ට හිමි වූ අවස්ථා රැසක් ඔවුන් අතින් ගිලිහී යන ලදී. ක්‍රීඩාවේ මූලික පියවරයන් නිසි අයුරින් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ මහනුවර ක්‍රීඩකයන් බොහෝ අවස්ථා වලදී පන්දුව තම ග්‍රහණයෙන් මිදී ඉදිරියට යාමට අවස්තාව (Knock – on) ලබා දුන්නේ ගුවන් හමුදාවට තරගයේ පාලනයද භාර කරමිනුයි.

කෙසේ වෙතත් අවසානයේ මහනුවර ක්‍රීඩකයන් ලකුණු අතරට පිවිසියේ ”රෝලිං මෝල්” එකක් හරහා පන්දුව උත්සාහක දිනුම් රේඛාවෙන් පිටතට රැගෙන යමිනි. එහිදී මහනුවර ක්‍රීඩකයන්ගේ  වේගය සම කරන්නට ගුවන් හමුදාවට නොහැකි වූ අතර ධනුෂ දයාන් වාර්තා කල උත්සාහක දිනුමට ලකුණු 2ත් එකතු කරන්නට අර්ශාඩ් ජමාල්ඩීන් සමත් විය (07-07).

මේ අතර ක්‍රීඩකයන් ආබාධයන්ට ලක් වීම හේතුවෙන් තරගයට විටින් විට බාධා එල්ල වූ අතර මහනුවර කණ්ඩායමේ පන්දු පාලනය තවදුරටත් දෝෂ රැසකින් යුක්ත වීම ඔවුන්ගේ ආධාරකරුවන් අපේක්ෂා භංගත්වයට පත් කරවන සිදුවීමක් විය. කණ්ඩායම් දෙකම පන්දුව ඔවුන්ගේ ගෝල සීමාවන් වලින් ඉවතට පා පහර මඟින් එල්ල කරමින් සිටි අවස්තාවක, මහනුවර ක්‍රීඩා සමාජයේ අංක 8 ක්‍රීඩක ශෂික ජයවර්ධන වැරදි ස්ථානගතවීමක් හේතුවෙන් ලැබුණු නිදහස් පහරක් පිටියෙන් ඉවතට යොමු කල චරිත් සෙනෙවිරත්න ගුවන් හමුදා කණ්ඩායමට මහනුවර ගෝල සීමාව ආසන්නයේ රෝලිං මෝල්එකක් ගොඩනැගීමේ අවස්තාව සපයන ලදී. එවර ගුවන් හමුදා ක්‍රීඩකයන් නැවැත්වීමේ හැකියාව මහනුවර කණ්ඩායම සතුව නොතිබූ අතර ගුවන් හමුදා හුකර් ක්‍රීඩක ලහිරු උදයංග එම ක්‍රීඩක රංචුවේ පසුපස සිට උත්සාහක දිනුමට හිමිකම් කියද්දී මෙවර චරිත් සෙනෙවිරත්න හට හිමිවූයේ ඉතා පහසු ප්‍රවර්තනයකි (07-14).

මහනුවර ක්‍රීඩකයන් අභිබවා ගුවන් හමුදා ක්‍රීඩකයන්ගේ ආධිපත්‍ය සහ ආරක්ෂක පෙළ දක්ෂතා කැපී පෙනුණු අතර පළමු අර්ධය අවසන් වීමට පෙර ලකුණු සම කිරීමේ මහනුවර ක්‍රීඩකයන්ගේ උත්සාහය ව්‍යර්ථ කරන්නට ඔවුන් සමත් විය.

පළමු අර්ධය : ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 14 – 07 මහනුවර ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේ කණ්ඩායම් දෙක පිටියේ අන්ත හුවමාරු කර ගත්තද, මහනුවර කණ්ඩායම සතුව තිබූ දිනයේ අවාසනාව පහව ගොස් ඇති බවක් දක්නට නොලැබුණි. ගයන්ත ඉද්දමල්ගොඩ පන්දුව පා පහරක් මඟින් මහනුවර කණ්ඩායමේ ගෝල සීමාව වෙත යොමු කර එය හඹා යාමට තීරණය කරද්දී මහනුවර ක්‍රීඩකයන් ඒ පිලිබඳ අවධානයෙන් පසු නොවූ අතර එම අතපසු වීමෙන් මනාව ප්‍රයෝජන ගත් ගයන්ත පන්දුව කිහිපවරක්ම පා පහර මඟින් ඉදිරියට ගෙන යාමට සමත් විය. අවසානයේ රාම්දාස් රුමේෂ් මෙම පන්දුව උත්සාහක දිනුම් රේඛාව පසු කර පොළොවේ ස්පර්ශ කිරීමට සමත් විය. චරිත් තම පාදයේ සාර්ථකත්වය 100%ක් ලෙසම තබා ගනිමින් මෙම උත්සාහක දිනුමත් ප්‍රවර්තනය කරන ලදී (07-21).

මහනුවර කණ්ඩායමේ පුහුණුකරු ෂෝන් විජේසිංහ මෙම තරගයේ වැදගත්ම ක්‍රීඩක ආදේශනය සිදු කලේ අත්දැකීම් වලින් පරිපූර්ණ ෆාසිල් මරීජා පිටියට කැඳවමිනි. එම උත්සාහයට ඉක්මන් ප්‍රතිඵල ලැබුණු අතර ශෂික ජයවර්ධන ලකුණු පරතරය 7ක් දක්වා අඩු කරන්නට සමත් වූයේ තරග අවස්ථා 15ක් පමණ පුරාවට ඉවසිලිවන්තව ගොඩනැගූ උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. කාංචන රාමනායක ඊට අතිරේක ලකුණු එකතු කරන්නටද සමත් විය (14-21).

වරෙක ගුවන් හමුදා කණ්ඩායමට ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට සිදුවූයේ රුමේෂ් වසන්ත සහ සූර්යා ක්‍රිෂාන් යන දෙදෙනාම විනිසුරු අරුණ රන්කොත්ගේ විසින් කහ කාඩ්පත් පෙන්වා පිටියෙන් තාවකාලිකව ඉවත් කිරීම සමඟයි. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට තම සුපුරුදු දස්කම් අතරට පිවිසෙමින් සිටි මහනුවර කණ්ඩායමට හැකියාව ලැබුණි.

ෆාසීල් මරීජා තමන්ට සුපුරුදු පරිද්දෙන්ම ප්‍රතිවාදී ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් අතර හිඩැසක් සොයා ගන්නට සමත් වූ අතර ඔහුගේ උත්සාහක දිනුම ඔහු විසින්ම සාර්ථකව ප්‍රවර්තනය කලේ තරගයේ ලකුණු තත්වය සම කරමිනුයි (21-21).

ඉන් අනතුරුව එළඹුණේ ඉතා තියුණු තරගයක් පවතී කාල සීමාවකුයි. ගුවන් හමුදා ක්‍රීඩකයන් දඬුවම් පහරක් හෝ ප්‍රතිවාදීන් හට ලබා නොදීමට ත‍රම් ආරක්‍ෂිත වූ අතර එම වරද සිදු කල මහනුවර ක්‍රීඩකයන් දඩුවම් පහරක් සමඟින් තරගයේ වාසිය තහවුරු කර ගැනීමේ අවස්තාව ගුවන් හමුදා කණ්ඩායමට උරුම කර දුන්නේය (21-24).

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුල මහනුවර කණ්ඩායමට ලකුණු ලබා නොදී සිටීමට තරම් ගුවන් හමුදා ක්‍රීඩකයන් ආරක්‍ෂිත වූ අතර, අදහාගත නොහැකි තරමේ දුර්වල ක්‍රීඩා විලාශයක් සහ ලිස්සනසුලු ඇඟිලි හේතුවෙන් මහනුවර කණ්ඩායමට සිදුවූයේ අනපේක්ෂිත පරාජයක අමිහිරි අත්දැකීම විඳ ගන්නටයි. එමෙන්ම තවදුරටත් තමන් පහසු අභියෝගයක් ලෙස ලඝු කල හැකි කණ්ඩායමක් නොවන බවට පණිවුඩයක් සෙසු කණ්ඩායම් වෙත ලබා දෙන්නටද ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

සම්පූර්ණ ලකුණු : ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 24 – 21 මහනුවර ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: අශෝක් විජේකුමාර් (ගුවන් හමුදා ක්‍රී. ස.)

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

උත්සාහක දිනුම් |ඉෂාර මධුශාන්, ලහිරු උදයංග 1, රාම්දාස් රුමේෂ්
ප්‍රවර්තන | චරිත් සෙනෙවිරත්න (3)
දඬුවම් පහර  | චරිත් සෙනෙවිරත්න

මහනුවර ක්‍රීඩා සමාජය

උත්සාහක දිනුම් | ධනූෂ දයාන්, ශෂික ජයවර්ධන, ෆාසීල් මරීජා
ප්‍රවර්තන | අර්ශාඩ් ජමාල්ඩීන්, කාංචන රාමනායක, ෆාසීල් මරීජා

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට