වේල්ස් කුමර විදුහලට ඉණිමක ජයක්

323
Singer U19 Schools Cricket

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (11) තවත් තරඟ කිහිපයක්ම පැවති අතර, ඊයේ (10) ආරම්භ වූ වේල්ස් කුමර විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරඟයෙන් ඉණිමක හා ලකුණු 73ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් විය.

පසුගිය ලිපි: තර්ස්ටන් ජයගනිද්දී මහින්දයට අභියෝගයක්

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරඟය

ඊයේ (10) උදෑසනම ගාල්ල මහින්ද විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී මෙම තරගයේ පළමු දිනය ආරම්භ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල මහින්ද විද්‍යාලය පළමුව පන්දු යවන ලදි.

දිනය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 54ක් ලබා ගන්නට මහින්ද විද්‍යාලය සමත් විය. අවසානයේ එම ඉණිම ලකුණු 189කට ගෙන යාමට අශේන් කණ්ඩම්බි සමත් වූ අතර ඔහු ලකුණු 45ක් වාර්තා කරන ලදි. සවිදු පීරිස් හා තිලාන් ඉමේෂ් පිලිවෙලින් කඩුලු 5ක් හා කඩුලු 2ක් දවාගන්නා ලදි.

මහින්ද විද්‍යාලය පළමු ඉණිම– 189 (81.2): අශේන් කණ්ඩම්බි 45, සුමිත් හංසික 43, සංජුල ශෙහාන් 27, සවිදු පීරිස් 5/41, තිලාන් ඉමේෂ් 2/32

ලකුණු 178ක් ලබාගෙන ඉණිමක පරාජයෙන් ගැලවීමේ අරමුණෙන් පිටියට පිවිසි මහින්ද විද්‍යාලයේ ක්‍රීඩකයින්ට, තම දෙවන ඉණිම තුලද ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 105ක් පමණි. එහිදි ද සවිදු පීරිස් කඩුලු 4ක් දවාගනිමින් එම ඉණිම තුලද දස්කම් දැක්වීමට සමත් විය.

මහින්ද විද්‍යාලය දෙවන ඉණිම – 105/10 f/o (33.3): සවිදු පීරිස් 4/47, කවුමල් නානායක්කාර 3/28

තරගයේ සාරංශය,

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – 367/8 dec (59): විශ්ව චතුරංග 146, තිලාන් නිමේෂ් 61, දිලංක මදුරංග 48, අශේන් කණඩම්බි  2/33


මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරඟය

අද (11) උදෑසන මලියදේව විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

අද දිනය තුළ ලකුණු 300ක් ලබා ගනිමින් ප්‍රතිවාදී කණ්ඩායමට දැවැන්ත මානසික පීඩනයකට ලක් කිරීමට සාන්ත ජෝසප් විද්‍යාලයේ පිතිකරණයට හැකි වූ අතර, රීවන් කෙලී ලකුණු 91ක් ලබා ගනිමින් සුපිරි පිතිකරණයක නිරත විය.

ගයාන් චන්ද්‍රසේන ලකුණු 21ක් තුල කඩුලු 3ක් දවාලමින් යම් සහයක් තම කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නේය. අනතුරුව ලකුණු 300ක් ලබා සිටියදී තම ඉණිම අත්හිටුවීමට සාන්ත ජෝසප් විද්‍යාලය තීරණය කරන ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම – 300/09 dec (77): රීවන් කෙලී 91, දිනෙත් මදුරවෙල 40, ශෙවෝන් ෆොන්සේකා 34, දිනෙත් ජයකොඩි 31*, ගයාන් චන්ද්‍රසේන 3/21

අනතුරුව තම පළමු ඉණිම දියත් කල මලියදේව විද්‍යාලය දිනය අවසන් වන විට ලකුණු 62ක් ලබා ගැනීමට සමත් විය.

මලියදේව විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 62/01 (19): දිනංජය ප්‍රේමරත්න 35*


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරඟය

සාන්ත තෝමස් විද්‍යාලයේදී අදින් (11) ආරම්භ වූ මෙම තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ධර්මාශෝක කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තොරා ගන්නා ලදී.

ධර්මාශෝක විද්‍යාලයේ පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට සාන්ත තෝමස් විද්‍යාලයේ පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් නමුත් එම අභියෝග හමුවේ නොසැලුණු කවීෂ කුමාර ලකුණු 41ක් ලබාගෙන තම කණ්ඩායම ලකුණු 91ක් දක්වා ඔසවා තබන ලදි. එහිදී පවිත් රත්නායක කඩුලු 4ක් දවා ගැනීමට සමත්විය.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉණිම – 91/10 (31.3): කවීෂ කුමාර 41, පවිත් රත්නායක 4/36, ඩෙලෝන් පීරිස් 4/20

තම පිටියේ වාසිය ඇතිව වුවද සාන්ත තෝමස් විද්‍යාලයට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 146ක් වූ අතර එහිදී රවිදු කොඩිතුවක්කු ලකුණු 72ක් ලබා ගත් අතර, කවිදු නදීශාන් කඩුලු 6ක් දවාලමින් සුපිරි දස්කම් දක්වන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – 146/10 (43.4): රවිදු කොඩිතුවක්කු 72, කවිදු නදීශාන් 6/35

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 42/01 (19)


බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරඟය

අද බම්බලපිටිය සාන්ත පීතර පිටියේදී ආරම්භ වු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල නාලන්ද විද්‍යාලයේ ඇරයුමින්, පළමුව පිටියට පිවිසියේ පීතර ක්‍රීඩකයින් ය.

සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් නැවතත් ලකුණු අතරට පැමිණීමට සුපිරි පිතිකරු සන්තුෂ් ගුණතිලක සමත් වූ අතර, ඔහු සාන්ත පීතර ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 48ක් ලබා ගන්නා ලදි. අවසානයේ ඔවුන්ගේ ඉණිම ලකුණු 139කට සීමාවිය.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – 139/10 (38): සන්තුෂ් ගුණතිලක 48, මනෙල්කාර් ද සිල්වා 38, කලන පෙරේරා 5/44, උමේක්ෂ දිල්ශාන් 4/29

දිනය අවසන් වන විට නාලන්ද විද්‍යාලය ලකුණු 96ක් ලබා ගනිමින් කරට කර තරඟයක් ලබා දුන් අතර, මෙම තරඟය හෙට දිනය තුල වඩාත් උණුසුම්කාරීව අවසන් වන බවට දැනටමත් ඉඟි පහලවී ඇත.

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වනවිට) – 96/05 (43): සුහඟ විජේවර්ධන 47


මරදාන සහිරා විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරඟය

අද ආරම්භ වූ මෙම තරගයේ දි කාසියේ වාසිය හිමිකර ගත් බෙනඩික්ට් විද්‍යාලය තම පිටියේ වාසියද ඇතිව පළමුව පන්දු යවන ලදි.

සහිරා විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් සෑම තරඟයකම පාහේ ලකුණු අතරට පැමිණෙන සජිත් සමීර ලකුණු 39ක් ලබා ගත් අතර, කවීෂ ජයතිලක සහිරා විද්‍යාලයේ කඩුලු 4ක් ඉක්මනින්ම දවාගනිමින් ඔවුන්ගේ ඉණිම අඩපන කරන ලදි.

සහිරා විද්‍යාලය පළමු ඉණිම – 136/10 (47.5): සජිත් සමීර 39, මොහොමඩ් නජීඩ් 29, කවීෂ ජයතිලක 4/34, මහේෂ් තීක්ෂණ 2/34

පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම දියත් කරන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහිරා විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 58ක් පසුපසින් පසුවෙයි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේදී) – 78/03 (33): අශේන් සිල්වා 26

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට