Saturday, November 12, 2016

දුවන්න ලෝලා දුවන්න! (ජීවිත සිනමාව)

(රිවිර සිනමා කොලම- 8)

ලෝලාට සිය පෙම්වතා වන මන්නිගෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබේ. අපරාධයක් අවසානයේ ලැබුණු මාර්ක් ලක්ෂයක මුදල් බෑගය රැගෙන ඔහුගේ පාතාල නායකයා වෙත ඒ රැගෙන යන්නට ලෝලා නොපැමිණීම හේතුවෙන් උමං දුම්රියක ගමන් කරන්නට මන්නිට සිදුවූ බවත්, හදිසියේම ටිකට් පරීක්ෂකවරයා පැමිණීම නිසා ලහිලහියේ දුම්රියෙන් බැස ගනිද්දී ඔහු අතින් මුදල් බෑගය මගහැරුණු බවත්, දුම්රියේ ගිය හින්නෙකු අතට ඒ පත් වනු ඔහු යාන්තමින් දුටු බවත්, හරියටම මධ්‍යාහ්නය වන විට මුදල් යළි පාතාල නායකයා අතට පත් නොකළහොත් ඔහු මරා දැමෙනු ඇති බවත්, දැඩි ආතතියකින් ඔහු කියාගෙන යයි. මන්නි හා මුදල් බෑගය ගෙන එන්නට යාමට නොහැකි වූයේ ලෝලාට ය. ඒ ඇයගේ කුඩා මෝටර් බයිසිකලය කවරකු හෝ සොරකම් කිරීම හේතුවෙනි. මන්නිගේ අදහස ජීවිතය රැකගනු වස් මුදල මංකොල්ල කන්නට ය. ලෝලාගේ අදහස.... මධ්‍යහ්නයට ඇති විනාඩි විස්ස තුළ කෙසේ හෝ මුදල් සොයා ගනු පිණිස.... දුවන්නට ය!

ඇය දුවන්නට පටන් ගනියි!

1998 වර්ෂයේ එළි දුටු ‘රන් ලෝලා රන්‘ (Run Lola Run) ප්‍ර‍කට ජර්මානු සිනමාකරු ටොම් ටයික්වර් විසින් නිර්මාණය කෙරුණු, ලෝක සිනමා ප්‍රේක්ෂක ආකර්ෂණය දැඩිව හිමි කරගත්, සිනමා පටයකි. සම්මාන 41කට නාමකරණය ලැබ ඉන් 26ක් දිනූ ‘රන් ලෝලා රන්‘ ලෝක සිනමාවේ විශිෂ්ඨතම කෘති සියය අතර සිය නම සඳහන් කරගන්නට 2010 වසරේදී වරම් ලබා ගත් සිනමා පටයකි. සාමාන්‍ය සිනමා කෘතියක අවම ධාවන කාලයටත් වඩා බොහෝ අඩු ලෝලාගේ දිව යෑමේ කාලය වන මිනිත්තු විස්ස තත්‍ය කාලය හා සමානුපාතිකවම අවසන් වෙමින් මිනිත්තු විස්සක් තුළ එහි ආඛ්‍යානය කෙළවරට පැමිණිය ද, කෘතියේ ඇති සුවිශේෂ බව වන්නේ එය යළි එක් සැනෙකදී ආරම්භයට පිවිස යළි ලෝලා මුල් මිනිත්තුවේ සිට දුවන්නට පටන් ගැනීමයි. චිත්‍ර‍පටය පුරා ලෝලා අතිශය සමාන පසුබිම් මතින්, ඉතා කුඩා තත්පරයක දෙකක වෙනසක් මත ඇය මුහුණ දෙන විසල් වෙනස්කම් හා ගැටෙමින්, සිය පෙම්වතාගේ ජීවිතය රැක ගනු වස් දිව යනු අපට පෙනෙයි.

බොහෝ සිනමා ආඛ්‍යානවලින් වෙනස් වන ‘රන් ලෝලා රන්‘ යනු සිය පෙම්වතා වෙනුවෙන් මිනිත්තු විස්සක් තුළ මාර්ක් ලක්ෂයක් සොයාගන්නට පෙම්වතියක දරණ වෑයමක් පමණකදු නොවේ. එය ඉතා කුඩා නිමේෂයකින් අප ඉදිරියෙන් හෝ පසුපසින් අප වෙත හමු වී මැකී යන ක්ෂුද්‍ර‍ අංශු මාත්‍ර‍යකින් හෝ අප මතකයක නොරැඳ‍ෙන සුළු සිදුවීමක් හෝ හමුවන නන්නාඳුනන්නෙක් වුව කෙතරම් දුරට අපගේ ජීවිතයේ ඉදිරිය වෙනස් කරන්නට ඉඩ ඇති දැයි අපට පසක් කර දෙමින්, ජීවිතයේ අරුමය හා අසිරියත් තවත් ලෙසකින් නිස්සාරත්වයත් එකවර හෙළි කරන අපූරු සිනමා පටයකි.

ආසන්නයේම ඇති සුපිරි වෙළඳසැල මංකොල්ල කා සිය ජීවිතය රැකගනු පිණිස මාර්ක් ලක්ෂයක් සොයන්නට මන්නි ගෙන ඇති තීරණය වළක්වන්නට බැංකු නිලධාරියෙකු වන සිය පියා වෙත දුවන ලෝලාට ඒ දිවීම අතරතුර මුණගැහෙන අංශු මාත්‍ර‍ දේවල්, එනම් නිවාස සංකීර්ණයේ පඩි පෙළ මත හමුවන බල්ලකු කැටුව යන මිනිසා, ළදරු කරත්තයක් තල්ලු කරගෙන යන කාන්තාව, පාපැදිකරුවා, සිය මෝටර් රථය හප්පාගත් ඇය හඳුනන මෙයියර් මහතා, වීදුරු තහඩුවක් මග හරහා ඔසවාගෙන යන කම්කරුවන්, වේගයෙන් ඇදී යන ගිලන් රථය ආදී සියල්ල යළි යළිත් මුල සිට ඇරඹෙන කතාව තුළ නැගී ඒ වෙනස් කාල නිමේෂ තුළ දී, එක්කෝ ඇයගේ ගමන දැඩි ලෙස තීරණය කරයි; නැතිනම් ඇයට මග හැරී යයි.

‘රන් ලෝලා රන්‘ ඔබට අන්තර්ජාලය මගින් පහසුවෙන් සොයාගත හැකි සිනමා කෘතියකි. එහෙත් ඔබ එය නැරඹිය යුත්තේ, චිත්‍ර‍පටයේ වේගවත් බව හා සමානුපාත නොවෙමින්, එහි කිසිදු නිමේෂයක් අත් නොහැර, ඉතා සාවධානව ය. ඒ එය සිනමා කාලය හා සමපාත වන ජීවිතයේ යථා කාලයේ මිනිත්තු විස්සක් පමණක් නොවන හෙයිනි.

ලෝලා දිව යන්නේ මූලිකව සිය ජීවිතය මිනිත්තු විස්සකින් උඩු යටිකුරු කරන්නට ඉඩ ඇති අසීමිත අවදානම පරදන්නට ය. එනම් ජීවිතය දිනන්නටය. ජීවිතය යනු තත්පර දශමයක් තුළ දැඩිව වෙනස් විය හැකි අරුමැති දෙයක් බව ලෝලා දිවයමින්ම අපට පසක් කර දෙයි. ඇයගේ මිනිත්තු විස්ස තුළ ඇය යළිත් හැරී මුල සිට දුවන විට ජීවිතය දිවගොස් වැළඳ ගත යුතු, පරාජය හිමි කරගත නොයුතු දෙයකැයි අපට ද පසක් වෙයි.

‘දුවන්න ලෝලා දුවන්න!‘

අපට ද මුර දෙන්නට සිතෙයි. ඒ කුඩා තත්පරයක් තුළ වුවත් ජීවිතයේ අසිරිය සැඟව ඇති බව සිනමා රූපය අපට පවසන හෙයිනි.



-      ප්‍රියන්ත ෆොන්සේකා -  

No comments:

Post a Comment