මහනුවර පාසල්, කොළඹ පාසල් ඉදිරියේ දණින් වැටේ

2835
Colombo schools wreak havoc against lackluster Kandy

මැලේසියාවේදී පැවැත්වෙන 20න් පහල රග්බි ඒෂියාඩ් (ASIAD) තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම වෙනුවෙන්, කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේදී ඊයේ (9) පැවැත්වුණු කොළඹ පාසල් රග්බි කණ්ඩායම හා මහනුවර පාසල් රග්බි කණ්ඩායම අතර තරඟයේදී 72-11ක් ලෙස මහනුවර පාසල් කණ්ඩායම දණ ගස්වමින් ජයග්‍රහණය ලබා ගැනීමට කොළඹ පාසල් කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: යුද හමුදාවෙන් CR&FC සමාජයට දැවැන්ත අභියෝගයක්

අදාළ දිස්ත්‍රික්ක දෙකම  නියෝජනය කරමින් ජාතික තලයේ සහ අන්තර් සමාජ කරලියේ දස්කම් පෑ රග්බි ගැටවරයන් 50දෙනෙකුට අධික සංඛ්‍යාවක් තරඟය සඳහා සහභාගී කරවාගනු ලැබිණි. ඉන් 30 දෙනෙකුට රග්බි ඒශියාඩ් තරඟාවලිය නියෝජනය කිරීමේ ඉහල වරම් ලැබීමට නියමිතය.

තරඟ කාලය, මිනිත්තු 20 බැඟින් වූ කාර්තු 4කට බෙදා තරඟය ක්‍රීඩා කිරීමට මෙහිදී සංවිධායකන් විසින් තීරණය කරන ලද්දේ සියළු ක්‍රීඩකයන්ට සම අවස්ථාවක් ලබාදෙන අදහසිනි.

තරඟයේ අවසාන ලකුණු පුවරුව කෙසේ දිස්වූවත් ප්‍රථම වරට ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් වූයේ මහනුවර පාසල් කණ්ඩායමයි. සැමුඑල් මධුවන්ත විසින් මීටර 25ක පමණ දුරක සිට එල්ල කළ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් 3-0ක් ලෙසින් තම කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය.

පිළිතුරු වශයෙන් පෙලින් පෙල ඉදිරියට ඇදී ගිය කොළඹ පාසල් කණ්ඩායමේ ක්‍රීඩකයින් මහනුවර කණ්ඩායමට අභියෝග කරමින් උත්සාහක දිනුම් රේඛාව වෙත ළඟාවූ අතර නිඛිල ගුණධීර විසින් ධවල රේඛාව තරණය කරමින් 5-3ක් ලෙස කොළඹ කණ්ඩායමට ඉදිරියක් ලබා දුන්නේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් ගයාන් වික්‍රමරත්න කණ්ඩායමට තවත් ලකුණු 2ක් එක් කිරීමට සමත් විය (7-3).

අනතුරුව තමාට ලැබුණු තවත් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සැමුඑල් මධුවන්ත, මහනුවර ක්‍රීඩකයන් නොසැලුණු බවට පණිවුඩයක් ලබා දුන්නේය (7-6). නමුත් ඔහු පමණක් තනිකරමින් මහනුවර කණ්ඩායමේ අනෙකුත් සියළුම ක්‍රීඩකයන් කෙමෙන් සැලෙන්නට පටන් ගත්තේ ඒ මොහොතේ සිටයි.

මීළඟට කොළඹ කණ්ඩායමේ නවීන් හෙනකන්කානම්ගේ, පිටිය තමා සතු කරගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය ගයාන් වික්‍රමරත්න විසින් අසාර්ථක කරගත් අතර පළමු කාර්තුව නිමාවේදී ලකුණු පුවරුව 12-06ක් සේ සටහන් විය.

කොළඹ කණ්ඩායමේ අංක 10 ක්‍රීඩක සංදේශ් ජයවික්‍රමගෙන් ප්‍රදර්ශනය විය යුතුව තිබුණු දක්ෂතා ප්‍රමාණවත් බවට තේරීම් කමිටුව විසින් සන් කිරීමෙන් පසුව අශ්වන්ත හේරත් පිටියට කැඳවනු ලැබුවේ ය. ඉන්පසුව චතුර සෙනවිරත්න විසින් වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගන්නට අශ්වන්ත සමත් වූ අතර ඒ වන විට ලකුණු පුවරුව 36-06ක් ලෙස දිස්විය.

කොළඹ කණ්ඩායම වෙනුවෙන් හිටපු රාජකීය විද්‍යාලීය ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක අශෝක් විජේකුමාර්, රාජකීයයේම නිඛිල ගුණධීර, රමේෂ් ප්‍රනාන්දු, පීතර විදුහලේ සන්දේශ් ජයවික්‍රම කැපී පෙනෙන දක්ෂතා දක්වන අතරතුර තරඟය ඉදිරියට ඇදීගියේ මහනුවර කණ්ඩායමට පන්දුව අතපත ගෑමටවත් ඉඩ නොලැබෙන පසුබිමකය. තරඟය තුළ 80%ක් පමණ දුරකට පන්දුව අතැතිව ක්‍රීඩා කළේ කොළඹ පාසල් කණ්ඩායමයි. තරඟය තුළ ඔවුන්ගේ ආධිපත්‍ය එතරම් දැඩි විය.

තෙවන කාර්තුවේදී ආධිපත්‍ය පතුරවමින් තවත් ලකුණු 7කින් ඉදිරියට ගිය කොළඹ කණ්ඩායම විසින් මහනුවර කණ්ඩායමට පිට පිටම දඬුවම් පහර පහක් ලබා දුන්නද, මහනුවර කණ්ඩායම දිගින් දිගටම නවතාලීමට ‘කොළඹ කොල්ලන්’ සමත් විය. කෙසේ වෙතත් එක් අවස්ථාවකදී ශලින්ද්‍ර අලහකෝන් විසින් කොළඹ අර්ධය ආක්‍රමණය කොට උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එවිට ලකුණු පුවරුව 43-11ක් ලෙස දැක්විය.

හතරවන කාර්තුව වෙනුවෙන් තරඟයේ හොඳම ක්‍රීඩකයන් 15දෙනෙකු කොළඹ කණ්ඩායමෙන් තෝරාගත් තේරීම් කමිටුව, ඔවුනට කණ්ඩායමක් සේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දුන්නේය. එතැන් පටන් කොළඹ කණ්ඩායමේ පසුපෙල රේඛාවේ ක්‍රීඩා කළ කුෂාන් ඉඳුනිල්, රමේෂ් ප්‍රනාන්දු, ගයාන් වික්‍රමරත්න, නවීන් හෙනකන්කානම්ගේ, ප්‍රියංකර එක්ව, ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් නරඹන්නන්ට ලබා දුන් අතර නිසැක වශයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙල රේඛාවේ අයිතිය තමන් සතු බව තහවුරු කළේය. මහනුවර කණ්ඩායම වෙනුවෙන් නේදන් චෑන්, සැමුඑල් මධුවන්ත හුදකලා සටනක නිරත වන අතර අනෙකුත් සියළු ක්‍රීඩකයන්ට කරන්නට ඉතිරිව තිබුණේ පිටිය ආරක්ෂා කිරීමේ කාර්ය පමණි.

ඉඳුනිල්, ප්‍රියංකර, හෙනකන්කානම්ගේ විසින් ජාත්‍යන්තර මට්ටමේ උත්සාහක දිනුමක් වාර්තා කිරීමෙන් පසුව හතරවන අර්ධය තුළ පහසු උත්සාහක දිනුම් දෙකක් වාර්තා වූයේ සංදේශ් සහ නිරෝෂ් උදයංග අතිනි. පසුව වෙස්ලි විදුහලේ සයාන් සභා සහ අවන්ත ලී ද මහනුවර පාසල් අර්ධය තුළ අණසක පතුරමින් උත්සාහක දිනුම් වාර්තා කරන ලදී (72-11).

මහනුවර අන්තයෙන්  ආක්‍රමණයට දක්ෂ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු තෝරාගැනීම තේරීම් කමිටුව හමුවේ ප්‍රශ්නාර්ථයක් හැටියට ඉතිරි වූයේ, ඔවුන්ගෙන් කිසිසේත්ම බලවත් ආක්‍රමණයක් ප්‍රදර්ශනය නොවුණු බැවිනි. කෙසේ වෙතත් මහනුවර පාසල් රග්බි පිටිය තුළ සිටින දක්ෂ ධාවකයන්ට සහ ආක්‍රමණිකයන්ට ඉන් සිදුවූයේ අසාධාරණයකි. නමුත් ඊට වගකිව යුත්තෝද ඔවුන්ම ය.

නිලූෆර් ඊබ්‍රාහිම්ගේ පුහුණුකාරීත්වය යටතේ සතියක කාලයක් පුහුණුව ලද කොළඹ කණ්ඩායමට ටෙරන්ස් හෙන්රි වැනි ජාතික ක්‍රීඩකයන්ගේ සහයද හිමිව තිබිණි. මහනුවර කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරනු ලැබුවේ ප්‍රියන්ත ගුණවර්ධන යි.

ප්‍රතිඵලය කෙසේ වෙතත් නරඹන්නන්ට උසස් රග්බි දක්ෂතා නැරඹීමේ අවස්ථාව උදාකරමින් කොළඹ පාසල් කණ්ඩායමත් මහනුවර පාසල් කණ්ඩායමත් අතුරින් හොඳම දක්ෂයින් 30 දෙනෙකුට මැලේසියාවේදී ඒශියාඩ් තරඟාවලිය ජයගැනීමේ අවස්ථාව ලැබේවා යන්න ThePapare.com අපේ පැතුමයි.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට

තරගයේ විශේෂ අවස්තා