එක විට දෙතැනක ඉන්නට සාන්ත හෙන්රි ක්‍රීඩකයන්ට කැඳවීමක්

218
St.Henry’s forced to be present in two places at once

කොත්මලේ චොක්ස් වයස අවු:19න් පහල පාපන්දු තරඟාවලියත්, සමපෝෂ වයස අවු:15න් පහල පාපන්දු තරඟාවලියත් එකිනෙකට සමගාමීව පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සහ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලනය වෙන්කර දෙන ලද දිනයන්හිදී ය.

පසුගිය ලිපි: “අවසන් පුර්ව වටයට පැමිණීම අපේ ඉලක්කයයි” – ස්ටෙයින්වෝල්

19න් පහල තරඟාවලියට දින වෙන්කරන ලද්දේ නොවැම්බර් 3 සිට 5 දක්වා වන අතර 15න් පහල තරඟාවලියට දින වෙන්කර ඇත්තේ නොවැම්බර් 4 වැනි දින සිට 7 වැනි දින දක්වාය.

මේ තරඟාවලි දෙකම නියෝජනය කරන යාපනය සාන්ත හෙන්රි විද්‍යාලය අදාළ දින වෙන්කිරීම පිළිබඳ තම බලවත් නොසතුට පලකොට ඇත.

සැප්තැම්බර් 13 වනදා පැවති යාපනය දිස්ත්‍රික් 15න් පහල තරඟාවලියේදී උපන් බිමේ එදිරිවාදීන් පරාජය කරමින් විජයග්‍රහණය කරන්නට සාන්ත හෙන්රි විද්‍යාලය සමත් විය.

19න් පහල තරඟාවලියේ අවසන් පුර්ව තරඟ සඳහා කොළඹට පැමිණි සාන්ත හෙන්රි විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ පාපන්දු කණ්ඩායම එහිදී තනි අශ්වයකුගේ ධාවනයක් පෙන්වමින් මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට එරෙහිව පහසුවෙන් ජයගෙන තම පැරණි සතු‍රෙකු වන සහීරා විද්‍යාලයට එරෙහිව අවසන් තරඟයේ ඉඩ වෙන්කර ගත්තේය.

අර්ධ අවසන් පූර්ව තරඟ වටය අවසාන වූ ඔක්තෝබර් මස මැද භාගයේදී කොත්මලේ චොක්ස් 19න් පහල තරඟාවලියේ අවසන් තරඟ සඳහා දිනයන් සහ ස්ථානයන් වෙන් කරන ලද්දේය. කෙසේ වෙතත් 15න් පහල තරඟාවලියේ අවසන් තරඟ සඳහා දිනයන් වෙන්කෙරුණේ ඔක්තෝබර් මස අගභාගයේදීය.

නොවැම්බර් 3වනදා ඇරඹෙන සමපෝෂ 15න් පහල තරඟාවලියට ඇතුළත් සියළු කණ්ඩායම්වලට, එදින තරඟාවලිය සඳහා සත්කාරකත්වය දරන වෙන්නප්පුව නගරයට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇත. ඉන් නොනැවතී, තරඟාවලි දෙකේම අවසන් පූර්ව තරඟද එකම දිනක පැවැත්වීමට නියමිත වීමත් සමඟ ඒ පිළිබඳ දැඩි අප්‍රසාදයක් ජනිතව ඇති අතර පවතින තත්වය යටතේ සාන්ත හෙන්රි විදුහලට කිසිවක් කර කියාගත නොහැකි තත්වයක් උදාවී ඇත.

මතුව ඇති අර්බුදකාරී තත්වය ගැන ThePapare.com වෙත අදහස් දැක්වූ සාන්ත හෙන්රි විද්‍යාලීය පුහුණුකරු පැවසුවේ,

“කොත්මලේ ශූරතාවය සඳහා අපට දැනටමත් ලිඛිත ආරාධනා ලැබී තිබෙනවා. කෙසේ වෙතත් අවසන් මාසයේදී (ඔක්තෝබර්) තමයි අපට සමපෝෂ තරඟාවලිය ගැන දැන ගන්නට ලැබුණේ.” කියාය.

“එකම මොහොතක තරඟාවලි දෙකක පෙනී සිටීම කාර්යමණ්ඩලයට, ගුරු මණ්ඩලයට සහ ප්‍රේක්ෂකයන්ට කළ නොහැක්කක්. අපේ පැත්තෙන් අප එය අසාධාරණයක් ලෙසයි සලකන්නේ.”

“විශේෂයෙන්ම අවසන් තරඟ යාපනයේදී පැවැත්වෙන්නට තිබුණු පසුබිමක අපේ 15න් පහල කණ්ඩායමට ඒ තරඟය දැක බලාගෙන ඉන් අත්දැකීමක් ලබා ගන්නට තිබුණා. ඒත් දැන් තත්වය අනුව නම් එය සිදුවීමට කිසිසේත්ම ඉඩක් නැහැ.” ඔහු තවදුරටත් පැවසුවේය.

මේ පිළිබඳව ගත් ක්‍රියාමාර්ගයක් ඇති දැයි විමසීමේදී ඔහු සඳහන් කළේ,

“කොත්මලේ තරඟාවලියට දින නියම කෙරුණේ සමපෝෂ තරඟාවලිය පැවැත්වීමට ඒ දිනයන්ම නියම වී ඇතැයි දැන දැනමයි”

“කෙසේවෙතත් යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියාට අප මේ බව දැන්වූවා. ඔහුත් පැවසුවේ ඔහු අදාළ අධිකාරීන්ට මේ පිළිබඳව දැන්වූ බවත් දැන් ඒ වෙනුවෙන් කිසිවක් කළ නොහැකි බව බලධාරීන් පැවසූ බවත්.”

“ඒ හැරත් අපි ඔක්තෝබර් 31 වනදා ලිපිය ලැබුණු වහාමත් අපි අදාළ පාර්ශ්වයන්ට මේ බව ලිපියකින් දැන්වූවා.” යනුවෙනි.

මේ පිළිබඳ යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ,

“මෙය සාන්ත හෙන්රි විද්‍යාලයට දැඩි අවාසියක්. මෙසේ එක තරඟාවලියකට දින නියම කෙරුණේ අනෙක් තරඟාවලිය ගැන දැන දැනමයි.”

“අප පාසල් පාපන්දු සම්මේලනයට මේ ගැන පෙත්සමක් යොමු කළත් ඔවුන් කීවේ ප්‍රසිද්ධ කරන ලද දිනයන් වෙනස් කළ නොහැකි බවයි.” යනුවෙනි.

මතුවී ඇති තත්වයෙන් සාන්ත හෙන්රි විද්‍යාලීය 15න් පහල,19න් පහල කණ්ඩායම් ඇතුළුව ගුරුමණ්ඩලයත්, කාර්යමණ්ඩලයත් යන සියළු දෙනාම අර්බුදයකට මුහුණ පා ඇත.

කොත්මලේ පාපන්දු තරඟාවලිය යාපනය කලාපයට විශේෂ තරඟාවලියක් වන අතර පවතින තත්වය සලකා බැලීමේදී පෙනී යන්නේ 15න් පහල කනිෂ්ඨයන්ට අවසන් තරඟ කිහිපය නැරඹීමෙන් ලද හැකිව තිබූ අනර්ඝ අත්දැකීම මේ වසරේදී අහිමි වන බවය.

ThePapare.com විසින් පාසල් පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා වන නාලක දිසානායකගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මෙසේ පැවසීය.

“සමපෝෂ තරඟාවලිය ගැන අප දරන ස්ථාවරය වෙනස් වන්නේ නැහැ. ශ්‍රී ලංකා පාපන්දු සංගමය කොත්මලේ තරඟාවලියට දින තීරණය කිරීමේදී අපෙන් විමසීමක්වත් කළේ නැහැ.”

“තරඟාවලි දෙකේදී අවධානයට ලක්වන්නේ වයස් මට්ටම් දෙකක් (15න් පහල/19න් පහල). මා හිතන්නෙ නැහැ සාන්ත හෙන්රි විද්‍යාලයට එය එතරම් බලපෑමක් කරයි කියා.”

සාන්ත හෙන්රි විද්‍යාලය පසුගිය කාලයේදී පාපන්දු ලොවේ ඉහල දස්කම් දැක්වූ කණ්ඩායමක් බව සඳහන් කිරීම වටියි. ඔවුන් පාපන්දු පිටියේ දක්ෂතමයන් අතර ඉඩකඩ වෙන් කරවා ගත් කණ්ඩායමක් වන අතර මෙය එකිනෙකට වෙනස් වයස් මට්ටම් වල ජාතික ශූරතාවන් සඳහා එක විට තරඟ කිරීමට සිදුවූ දුර්ලභ අවස්ථාවකි.

ඉහත කරුණු සලකා බලද්දී නිගමනය කළ හැකි වන්නේ හෙන්රි විද්‍යාලය පැත්තෙන් බලන කල අදාළ ශූරතාවන් දෙකම එක විට ලබාගැනීමේ අපහසුතාවය පමණක් ඔවුනට ඇති බවයි.

ඉදිරියේදී පාසල් පාපන්දු සම්මේලනයත් ශ්‍රී ලංකා පාපන්දු සංගමයත් මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමෙන් සහභාගී වන පාර්ශ්වයන්ට අත්විඳීමට සිදුවන අකරතැබ්බයන්ගෙන් වැළකීමට හැකිවනු ඇත.

සිහි තබා ගත යුත්තේ මෙය, සංවිධායකයන්ගේ සන්නිවේදන දුර්වලතා මඟින් තරඟාවලිවල පාර්ශ්වකරුවන්ට අපහසුතාවයට පත්වීමට සිදුවූ බොහෝ අවස්ථාවලින් එකක් පමණක් බවයි.