සඳරුගේ මැජික් පන්දුව තර්ස්ටන් විදුහල ජයග්‍රහණයකින් සරසයි

342

සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැත්වුනු තරග අතුරින් පූර්ණ තරග ජයක් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ හිමිවුණු අතර ත්‍රිත්ව විද්‍යාලයට මුල් ඉනිමේ ජයකින් සෑහීමකට පත්වන්නට සිදුවිය. අනෙක් තරග ප්‍රථම දිනයට ක්‍රියාත්මක විය.

පසුගිය ලිපි: නිපුන් – ආකාෂ් ජෝසප් වාස් විදුහලට ජය මාවත විවර කරයි

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය

අද නිමාවට පත්වූ පළමු කාණ්ඩයේ තරගයක් වුනු මෙහිදී පරිපූර්ණ තරග ජයග්‍රහණක පහස විඳීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය වාසනාවන්ත විය. තරගය පැවැත්වුනේද තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේදීයි. මුලින් පන්දුවට පහර දුන් බණ්ඩාරනායක පිතිකරුවන් ලකුණු 82ක් තුල ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ තර්ස්ටන් ක්‍රීඩකයින් පිටියේ වාසියද රිසිසේ භාවිතා කරමින් මුල් ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 191ක් ලැබීය.

දෙවන වරටත් පන්දුවට පහර දුන් බණ්ඩාරනායක පිතිකරුවන් එහිදී රැස්කල ලකුණු සංඛ්‍යාව 137කි. ඒ අනුව තරග ජයග්‍රහණය සඳහා හිමිවුණු ලකුණු 29ක පහසු ඉලක්කය පන්දුවාර 5යි පන්දු 3ක් තුල ලබා ගත් තර්ස්ටන් ක්‍රීඩකයින් කඩුලු 10ක ජයක් තම විද්‍යාලය ඉදිරියෙන් සනිටුහන් කරගන්නා ලදී. තරගය පුරා සුපිරි පන්දු යැවීමක යෙදුනු සඳරු ඩයස් ලකුණු 55කට කඩුලු 9ක් දවාලමින් තර්ස්ටන් විද්‍යාලය ජයග්‍රහණයේ මංපෙතට කැටුව ආවේය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 82 (පන්දුවාර 33.2)

සඳරු ඩයස් 5/11, තුශාල් මධුශංක 2/19.

තර්ස්ටන් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 191 (පන්දුවාර 48.5)

චරණ නානායක්කාර 44, යෙශාන් වික්‍රමාරච්චි 37, නිමේෂ් ලක්ෂාන් 23, ජනිඳු ජයවර්ධන 3/41, පසිඳු බණ්ඩාර 2/18, සසිරි අධිකාරි 2/27.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 137 (පන්දුවාර 47.3)

ශහිරු රොෂේන් 32, හසිත තිමල් 32, අරෝෂ මදුෂාන් 23*, සඳරු ඩයස් 4/44, තුෂාල් මධුශංක 4/39, චරණ නානායක්කාර 2/06.

තර්ස්ටන් විද්‍යාලය (දෙවන ඉනිම) කිසිවෙකු නොදැවී ලකුණු 29 (පන්දුවාර 5.3)


වෙස්ලි විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය

ත්‍රිත්ව විද්‍යාලයට මුල් ඉනිමේ ජයග්‍රහණයක් හිමිවුණු මෙම තරගය දෙවැනි දිනය සඳහා අද උදෑසන ආරම්භ වූයේ අස්ගිරිය ක්‍රීඩාංගණයේදීයි. එහිදී වෙස්ලි මුල් ඉනිම හඹා ගිය ත්‍රිත්ව පිතිකරුවෝ වෙස්ලි ඉනිමට වඩා ලකුණු 2ක් වැඩිපුර ලබා ගනිමින් මුල් ඉනිමේ තියුණු ජයග්‍රහණයක් තමන් සතු කර ගත්හ. මෙම ජයග්‍රහණයට අඩිතාලම සැකසූ හසින්ත (59) සහ පූර්ණ (51) අර්ධ ශතක රැස් කිරීමට සමත් විය. තරගය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි වෙස්ලි විද්‍යාලය කඩුලු 6ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 122කි.

වෙස්ලි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 85.4)

මොවින් සුබසිංහ 86, ශමෝද් ඇතුලත්මුදලි 55, නරේන්ද්‍රනාත් 4/43, රෂ්මික ඩිල්ශාන් 3/32, සුසිල් ට්‍රෙවෝන් 2/11.

ත්‍රිත්ව විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 210 (පන්දුවාර 59.4)

හසින්ත ජයසූරිය 59, පූර්ණ නෙත්මාල් 51, ශමෝද් ඇතුලත්මුදලි 2/10.

වෙස්ලි විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 6ක් දැවී ලකුණු 122 (පන්දුවාර 41.1)

තිසුරක අක්මීමන 76, ශැනොගීත් ශම්මුගනාදන් 3/19, නරේන්ද්‍රනාත් අශෝකුමාර් 2/30.


ලුම්බිණි විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සත්කාරකත්වය දරන මෙම තරගයේ කාසියේ වාසියද, ප්‍රථම දිනයේ වැඩි වාසියද සත්කාරකයින් සතුවිය. ගෙවුණු මාස කිහිපය තුලදීම ප්‍රබල දක්ෂතා අතර සිටි ලුම්බිණි විද්‍යාලයෙන් අද දක්නට ලැබුනේ ඊට හාත්පසින්ම වෙනස් තරග රටාවකි.

මුලින් පන්දුවට පහරදුන් ලුම්බිණි විද්‍යාලය ලකුණු 94කට සීමා කරන්නට රෙෂාන් කවිශ්ක (7/60) ප්‍රමුඛ බෙනඩික්ට් පන්දු යවන්නෝ සමත් වූහ. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන බෙනඩික්ට් විද්‍යාලය දිනය නිමාවන විට කඩුලු 4ක් දැවී ලකුණු 161ක් ලබාගෙන ස්ථාවර තත්වයක පසුවෙයි.

ලුම්බිණි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 94 (පන්දුවාර 39.4)

කණිෂ්ක මධුවන්ත 27, රෙෂාන් කවිශ්ක 7/60, මහේෂ් තීක්ෂණ 2/05.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 161 (පන්දුවාර 53)

දුලන්ත ලෙවිස් 51*, දිනිත රත්නායක 53, මහේෂ් තීක්ෂණ 32*.


කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය අතර තරගය

තරගයේ සත්කාරකත්වය දරමින් කාසියේ වාසියද දිනාගෙන මුලින් පන්දු පහර දුන් සාන්ත පීතර විද්‍යාලය ප්‍රථම ඉනිමට ලකුණු 143ක් ලබා ගත්හ. මෙම ඉනිම ලකුණු 65ක් නොදැවී ලබාගත් සන්තුෂ් ගුණතිලක වටා ගොඩ නැංවිණි.

අද දිනයට තරගය නතර කරද්දී ඉනිම හඹා යන ද මැසිනෝද් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 94ක් ලබා සිටියි.

සාන්ත පීතර විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 143 (පන්දුවාර 54)

සන්තුෂ් ගුණතිලක 65*, අශේන් ප්‍රනාන්දු 3/28, සශේන් ප්‍රනාන්දු 2/13.

ද මැසිනෝද් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 94 (පන්දුවාර 39)

ශන්ගීත් දේශාන් 41, මොහොමඩ් අමීන් 2/17.


කොළඹ රාජකීය විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය

අද ප්‍රථම දිනය වෙනුවෙන් පවත්වන්නට යෙදුනු පළමු කාණ්ඩයේ අනෙක් තරගය වූ මෙයට කොළඹ රාජකීය විද්‍යාලය සත්කාරකත්වය දරයි. තරගයේ මුලින් පන්දුවට පහර දුන් රාජකීය විද්‍යාලය සියලු දෙනාම දැවී ලකුණු 227ක හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කල අතර පිලිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන සෙබස්තියන් පිතිකරුවෝ ලකුණු 70කට කඩුලු 6ක් බිඳ වැටී අසීරු තත්වයක පසුවෙයි. හෙට තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.

රාජකීය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 227 (පන්දුවාර 62.1)

ලකිඳු නානායක්කාර 50, කවිඳු මදරසිංහ 49, කවීන් විජේරත්න 46, ඉමේෂ් රාමනායක 26, සෝනුක ජයවර්ධන 22, ප්‍රවීන් ජයවික්‍රම 4/50, නිමේෂ් බණ්ඩාර 4/56.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 70 (පන්දුවාර 16)

අවිශ්ක ප්‍රනාන්දු 25, හෙලිත විතානගේ 3/23, හිමේෂ් රාමනායක 3/33.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිුටවට