කොදෙව්වන්ට යළිත් දැවැන්ත ජයක්

508

කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදි ශ්‍රී ලංකා A කණ්ඩායම හා කොදෙව් A කණ්ඩායම අතර අද (27) පැවති නිල නොවන දෙවන එක්දින තරඟය, ලකුණු 109කින් ජයග්‍රහණය කල කොදෙව්වන් තරගාවලිය 2-0ක් ලෙස තවත් තරඟයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කරන ලදි.

පසුගිය ලිපි: වර්ෂාවට කොදෙව්වන් අභියෝග කරයි

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර පළමුව පිටියට පිවිසි හෝප් හා වෝල්ටන් ලකුණු 111ක සුපිරි සබඳතාවයක් පළමු කඩුල්ල සඳහා ගොඩනංවමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූ අතර 4 පහර 11ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 70ක් ලබාගෙන සිටි වෝල්ටන් එහිදී පළමු කඩුල්ල ලෙස දැවීයන ලදි.

එම දැවීයාම පිරවීමට පිටියට පැමිණි ෆුඩාඩින් සමගින් එක්වූ හෝප්ස් දෙවන කඩුල්ල සඳහා ද පළමු කඩුල්ලට ගොඩනැංවූ සබඳතාවයට නොදෙවෙනි සබඳතාවයක් ගොඩනංවමින් ලකුණු 109ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි. දෙවන කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලකගේ පන්දුවකට පිටියෙන් ඉවත් වූ ශතකලාභී හෝප්, 4 පහර 10ක් හා 6 පහර 4ක් සමගින් ලකුණු107ක් තම කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා ලබා ගන්නා ලදි.

කොදෙව්වන් කඩුලු 3ක් දැවී ලකුණු 228ක් ලබාගෙන තිබියදී 4වන කඩුල්ල සඳහා යළිත් සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමේ අරමුණින් පිටියට පිවිසි රොවුමන් පවෙල් හා එක්වූ අසාද් ෆුඩාඩින් ලකුණු 66ක සබඳතාවයක් ගොඩනංවමින් ලකුණු 298ක් දක්වා ප්‍රබල තැනකට තම කණ්ඩායම ගෙන එන ලදි. රොවුමන් පවෙල් 4 පහර 2ක් හා දැවැන්ත 6 පහර 6ක් සමගින් ලකුණු 52ක් ද, අසාද් ෆුඩාඩින් එක් 4 පහරක් හා 6 පහර 2ක් සමඟ ලකුණු 57ක් ද තම කණ්ඩායම වෙනුවෙන් ලබා ගන්නා ලදි.

කොදෙව් A කණ්ඩායම – 347-09 (50): කයිල් හෝප් 107, චැඩ්වික් වෝල්ටන් 70,  අසාද් ෆුඩාඩින් 57, රොවුමන් පවෙල් 52, ශෙහාන් ජයසූරිය 4/54

අනතුරුව දැවැන්ත හා ප්‍රබල ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භ පිතිකරුවන් යුගල ම ලකුණු 10ක් තුල හරවා යැවීමට කොදෙව්වන්ට හැකිවිණි. අනතුරුව පිටියට පැමිණි ශෙහාන් ජයසූරිය හා චරිත් අසලංක 3වන කඩුල්ල සඳහා ලකුණු 88ක සබඳතාවයක් ගොඩනංවමින් පන්දුවාර 20ක් තුල සැලකිය යුතු ලකුණු මට්ටමකට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඔසවා තැබීමට සමත් විය. අසලංක ලකුණු 44ක් ලබාගෙන සිටියදී දුවද්දී දැවී යාමකට හසුවන ලදි.

ශෙහාන් ජයසූරිය පන්දු 113කදී ලකුණු 119ක් ලබා ගනිමින් තනිවම තරගය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ප්‍රශංසනීය වෑයමක් දැරූවද, එම වෑයම සාර්ථක නොවීය. නමුත් ඔහුගේ පිත්තෙන් 4 පහර 13කින් හා දැවැන්ත 6 පහර 2කින් කොදෙව් පන්දු යවන්නන්ට සංග්‍රහ කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 229ක් ලෙස පෙන්නුම් කරද්දී ශෙහාන් 7 වන කඩුල්ල ලෙස දැවී ගිය අතර ඉතිරි කඩුලු 3 ලකුණු 9ක් තුළ දවාලීමට කොදෙව් පන්දු යවන්නන් සමත් විය.

ශ්‍රී ලංකා A කණ්ඩායම – 238/10 (42.1): ශෙහාන් ජයසූරිය 119, චරිත් අසලංක 44, දසුන් ශානක 32, රොවුමන් පවෙල් 3/45

තරගාවලියේ තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදීම කොදෙව්වන් මෙම නිල නොවන එක්දින තරගාවලියේ ජය තරඟ 2 – 0ක් ලෙස තහවුරු කරගැනීමට සමත් වූ අතරම, පළමු තරඟය ලකුණු 165කින්ද, මෙම තරඟය ලකුණු 108ක්ද ලෙස විශාල ලකුණු පරතරයක් ඇතිව ජයග්‍රහණය කිරීම මගින් ඔවුන් දැවැන්ත ජයග්‍රහණයක් තරගාවලිය තුලදී අත්කර ගන්නා ලදි.

දෙරට අතර මීළඟ තරඟය ලබන 30 වැනිදා ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට