සමස්ත ලංකා ශූරතාවයන් සහිරා සහ මලියදේව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට

436
Zahira and Maliyadeva

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරන ලද 17න් පහල සමස්ත ලංකා පාපන්දු තරඟාවලිය වෙන්නප්පුව ඇල්බට්. එෆ්. පීරිස් ක්‍රීඩාංගනයේදී පැවති අතර එහිදී ගෝල 05 – 00ක් ලෙස මීගමුව සාන්ත මරියා විද්‍යාලීය ක්‍රීඩකයන් සුනුවිසුණු කළ මරදාන සහිරා ක්‍රීඩකයන්ටත්, ජයකොඩි මහා විද්‍යාලය ගෝල 02 – 01 වශයෙන් පරයා ගිය මලියදේව බාලිකාවන්ට ශූරතා කිරුළු රැගෙන යෑමට සමත් විය. තරඟාවලිය වෙන්නප්පුව ඇල්බට්. එෆ්. පීරිස් ක්‍රීඩාංගනයේදී හා කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී දින දෙකක් පුරා පැවැත්විය.

පසුගිය ලිපි: සාන්ත ජෝසප් සහ මෙගොඩවැව විද්‍යාල අනුරාධපුරයෙන් පෙරමුණ ගනී

17න් පහල කාන්තා තරඟාවලිය.

තරඟාවලිය ජය ගනිමින් මලියදේව බාලිකා කණ්ඩායම මෙරට පාපන්දු ශුරියන් තමන් බව නැවතත් පසක් කළේය.

තරඟාවලියේ අවධානය තමා වෙතට ඇදගත් අත්දැකීම් අඩු ගනේමුල්ල ජයකොඩි විද්‍යාලය හා මලියදේව බාලිකාවෝ තරඟ බිමට පිවිසියහ.

තරඟයේ ප්‍රථම ගෝල ලබා ගැනීමේ අවස්ථාව හිමිවු ජයකොඩි විදුහලේ සඳුනි තත්සරණි, ගෝල රකින්නිය පමණක් පසුකරන්නට තිබියදී ගෝල රකින ක්‍රීඩිකාවගේ අතටම පන්දුව තල්ලු කිරීමෙන් අවස්ථාව මඟහරවා ගත්තාය. 

මලියදේවයේ ගයාත්‍රි නානායක්කාර විසින් ලබා දුන් නිදහස් පහර හිසින් ගෝලය වෙත හරවා යැවූ අෂිනි ශෂිකලා 9වන මිනිත්තුවේදී මලියදේවයට ප්‍රථම ගෝලය ලබා දුන්නාය.

19වන මිනිත්තුවේදී ද ගයාත්‍රි ඉහළින් එල්ල කළ පන්දුව ගෝල රකින්නියගේ දෑත් අතරින් ගලාගොස් ගෝලයෙහි පතිත විය.

ජයකොඩි විදුහලේ ක්‍රීඩිකාවන් තර්ජනාත්මකව පන්දුව අනෙක් ගෝලය වෙත ගෙනයාමට සමත්වුවද, මලියදේව ආරක්ෂක පෙලේ දක්ෂ ක්‍රීඩා විලාශය නිසා ඔවුන්ගේ අවස්ථා මඟහැරී ගියේය.

සම්පූර්ණ කාලය: මලියදේව බාලිකා විදුහල 2 – 0 ජයකොඩි විදුහල.

  • ThePapare.com දක්ෂතම ක්‍රීඩිකාව – ගයාත්‍රි නානායක්කාර (මලියදේව බාලිකා විදුහල.)
  • තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – ගයාත්‍රි නානායක්කාර (මලියදේව බාලිකා විදුහල.)
  • හොඳම ගෝල රකින්නිය – කාවින්ද්‍යා නෙත්මිණි (ජයකොඩි විදුහල.)

ගෝල හිමිකාරිනියන්.

අෂිනි ශෂිකලා 9′, ගයාත්‍රි නානායක්කාර 19′. (මලියදේව බාලිකා විදුහල)

අවසන් පුර්ව සටනේදී තම සුපුරුදු ප්‍රතිවාදීන් වු කවිසිගමුව මහා විද්‍යාලය 01 – 00ක් ලෙස පරාජය කරමින් මලියදේව බාලිකාවන් අවසන් තරඟයට පිවිසියේය.

අර්ධ අවසන් පුර්ව වටයේදී යාපනය මහජන විද්‍යාලයත්, ඉන් පෙර වටයේදී නුවරඑළිය ඉතන්සයිඩ් විදුහලත් පරාජය කරන්නට ඔවුනට හැකිවිය.

මලියදේව පුහුණුකරු සත්‍යරාජ් මහතා ThePapare.com වෙත දැක්වූ අදහස්,

“ප්‍රතිවාදීන් හොඳ තරඟයක් ලබා දුන්නා. ඒත් අපි ඊට වඩා හොඳින් ක්‍රීඩා කළා. එනිසා ලැබූ ජයග්‍රහණය ගැන හරිම සතුටුයි.”

තරඟාවලියේ පෙරළිකාර ජයකොඩි විදුහල අවසන් පුර්ව තරඟයේදී කුරුණෑගල පරාක්‍රමබාහු විදුහලත්, ඉන් පෙර මාදම්පේ සාන්ත සෙබස්තියන් විදුහලත්, කිඹිස්ස මහා විද්‍යාලයත් පසුකර අවසන් තරඟයට එක්වූයේය.  

පළමු වටය.

  • මලියදේව බාලිකා 4 – 0 ඉතන්සයිඩ් නුවරඑළිය.
  • මහජන විදුහල යාපනය ( නිතරඟයෙන් ) – ජේසු අප ස්වාමිදරුවන්ගේ කන්‍යාරාමය.
  • සංඝබෝධි විදුහල 3 – 0 ප්‍රජාපති ගෝතමී බාලිකා විදුහල.
  • නන්නපුරාව විදුහල 0 – 4 කවිසිගමුව විදුහල.
  • කිඹිස්ස මහා විදුහල 0 – 2 ජයකොඩි මහා විදුහල. 
  • වේලපුර මහා විද්‍යාලය සහ පල්ලෙකලුගල කනිෂ්ඨ විද්‍යාලය.
  • තිස්මල්පොල කනිෂ්ඨ විදුහල 0 – 3 පරාක්‍රමබාහු මහා විදුහල.

අර්ධ අවසන් පුර්ව වටය.

  • මලියදේව බාලිකා 1 – 0 මහජන විදුහල යාපනය.
  • සංඝබෝධි විදුහල 0 – 2 කවිසිගමුව විදුහල.
  • ශා: සෙබස්තියන් විදුහල 0 – 3 ජයකොඩි මහා විදුහල. 
  • වේලපුර මහා විද්‍යාලය 0 (3) – 0 (4) පරාක්‍රමබාහු මහා විදුහල.

අවසන් පුර්ව තරඟ.

  • මලියදේව බාලිකා 1 – 0 කවිසිගමුව මහා විදුහල.
  • ජයකොඩි විදුහල 1 – 0 පරාක්‍රමබාහු මහා විදුහල.

තෙවන ස්ථානය.

  • කවිසිගමුව මහා විද්‍යාලය 0 – 1 පරාක්‍රමබාහු මහ විදුහල. 

අවසන් තරඟය.

  • මලියදේව බාලිකා 2 – 0 ජයකොඩි විදුහල.

17න් පහල බාලක ශුරතාවය

‘තරඟාවලියේ වාසනාවන්තයන්’ ලෙස නමක් දිනා ගෙන තරඟබිමට පිවිසි මීගමුව සාන්ත මරියා ක්‍රීඩකයන් හා මුහුණට මුහුණ ගැටුණු මරදාන සහිරා ක්‍රීඩකයන්ගේ තරඟය දර්ශනීය තරඟයක් වෙමින් ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තේය.

සාන්ත මරියා පසුපෙල ක්‍රීඩකයන්ගේ පාලනයෙන් මිදුණු පන්දුවක් දැල වෙත පා කර හරිමින් සහීරා විද්‍යාලයේ මොහමඩ් රෂීඩ් තරඟයේ හතර වන මිනිත්තුවේදී ලකුණු පුවරුව සක්‍රීය කළේය.

තරඟයේ නවවන මිනිත්තුවේදී පෙර ගෝලයේ දර්ශනයම නැවත සිහිගන්වමින් රෂීඩ් තම දෙවන ගෝලය වාර්තා කළේ පන්දුව දැලේ පහත කෙළවරින් ඇතුල්වීමත් සමඟය.

සහීරාවන්ගේ අභියෝගය නොනවතින එකක් බව පෙන්වමින් ඊට තවත් මිනිත්තු දෙකකට පසුව සාන්ත මරියා ක්‍රීඩකයෙකුගේ වැදුණු පන්දුව සහීරා ක්‍රීඩක මොහොමඩ් ආකිබ්ගේ පිටෙහි වැදී දැල වෙතට ගමන් කළේය.

පාසල් පිටියේ ‘පාපන්දු රජවරුන්’ ලෙස හැඳින්වෙන සහීරා බාලකයින් පිළිවෙලින් තරඟයේ 12වන සහ 17වන මිනිත්තුවලදී තවත් ගෝල දෙකක් රැස්කරනු ලැබුවේ ප්‍රථම අර්ධය අවසානයේදී  05 – 00ක් ලෙස අති දැවැන්ත පරතරයක් ඇති කර ගනිමිනි.

සාන්ත මරියා ක්‍රීඩකයන් දෙවන අර්ධයේදී ගෝල ල බානොදීමට තරම් සාර්ථක වුවද කිසිදු ගෝලයක් වාර්තා නොකළ ඔවුන්ගේ වාසනාව ගැන එහිදී මතුවුයේ ප්‍රශ්නාර්ථයකි. 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන් – මොහොමඩ් රෂීඩ් 4′,9′. මොහොමඩ් අක්තාර් 11′. මොහොමඩ් අකීබ් 12′ .මොහොමඩ් සාජිඩ් 17′.

සහීරා ක්‍රීඩකයන් අවසන් තරඟයට පියනැගුවේ අවසන් පුර්ව තරඟයේදී යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලයට එරෙහි තියුණු තරඟයේදී මොහොමඩ් සාජිඩ් ලබා ගත් එකම එක ගෝලයේ පිහිටෙනි. ආරක්‍ෂිත ක්‍රීඩා රටාවක නියැලුණු පැට්‍රික් විද්‍යාලීය ක්‍රීඩකයන්ට ආක්‍රමණයේදී එතරම් සාර්ථක විය නොහැකිවිය.

අර්ධ අවසන් පුර්ව තරඟයේදී සහීරා විද්‍යාලය විසින් කළුතර සිරිකුරුස විද්‍යාලය 01 – 00ක් ලෙස පරාජය කළ අතර ඉන් පෙර තරඟවලදී පිළියන්දල හර්මන් විද්‍යාලයත්, ගම්පොල සහිරා විද්‍යාලයත් ඔවුන් අතින් පරාජයට පත්විය. 

‘ThePapare.com’ හා අදහස් දැක්වීමේදී සහීරා විද්‍යාලීය පුහුණුකරු මොහොමඩ් රූමි සඳහන් කළේ,

“අපි හැකිතාක් පන්දුව අප වෙත තබාගෙන ක්‍රීඩා කරන්නට වෙහෙසෙනවා. අපි පහරට පහර එල්ල කරන කණ්ඩායමක්. තරඟයෙන් තරඟය ප්‍රතිවාදී කණ්ඩායම අධ්‍යනය කර තිබුනත් අවසන් තරඟයේදී අපට හිතූතරම් අභියෝගයක් එල්ලවුණේ නැහැ. අපි හොඳින් සුදානම් වුණු බවට අපේ ගෝල සංඛ්‍යාව සාක්ෂි දරනවා ඇති. ඒ සියල්ලම පෙර සැකසුමකට එල්ලකරන ලද ඒවා” ලෙසයි.

නිසැක වශයෙන්ම තරඟාවලියේ වාසනාවන්තම කණ්ඩායම වු සාන්ත මරියා කණ්ඩායම නිතරඟයෙන් ඉදිරියට යෑම සහ තීරණාත්මක දඬුවම් පහරවලින් ඉදිරියට යෑම් කිහිපයක් දැකිය හැකිවිය.

කටුනේරිය සාන්ත සෙබස්තියන් කණ්ඩායමට එරෙහි තරඟයේදී විනිසුරු තීරණයක් අභියෝගයට ලක්කරමින් ලබා ගත් මීළඟ දඬුවම් පහරත් අසාර්ථක වීමෙන් සෙබස්තියන් කණ්ඩායමේ පුහුණුකරුගේ හැසිරීම විනය විරෝධී ලෙස දිස්වීමත් සමඟ නැවත තරඟයකට එළබීමට කණ්ඩායම් දෙකට සිදුවිය. එහෙත් කණ්ඩායම් දෙක අතර ගැටුමක් හටගැනීමත් සමඟ එය වැඩිවෙලාවක් පවත්වාගෙන යන්නට නොහැකි වුයෙන් ජය සාන්ත මරියා විදුහලට හිමිවිය.

 අවසන් පුර්ව තරඟයේදී ප්‍රබල සාන්ත පීතර කණ්ඩායම අභිබවා ගිය සාන්ත මරියා ක්‍රීඩකයන් 02 – 00ක් ලෙස කිසිවෙකු නොපැතූ ජයක් ලද්දේය.

කින්නියා හි අල් අක්සා විද්‍යාලයටත්, තිහාරිය අල් අසාර් විද්‍යාලයටත් එරෙහි තරඟවලදී දෙපිලෙන්ම කිසිදු ගෝලයක් වාර්තා නොවූ අතර තීරණාත්මක දඬුවම් පහරවලින් සාන්ත මරියා විද්‍යාලයට ජය හිමිවිය.

පළමු වටයේ ප්‍රථිපල.

  • ශා: පැට්‍රික් විදුහල යාපනය – (නිතරඟයෙන්) – සීවලී මහා විද්‍යාලය රත්නපුර.
  • ශා: මරියා විදුහල කෑගල්ල 0 – 1 ශා: සේවියර් විදුහල මන්නාරම.
  • ශා: සෙබස්තියන් විදුහල කටුනේරිය 7 – 0 මැදගම ජාතික විදුහල බිබිල.
  • ශා: තෝමස්  විදුහල බණ්ඩාරවෙල 1 – 0 ධර්මාශෝක විදුහල.
  • සිරිකුරුස විදුහල කළුතර 3 – 0 බැප්ටිස්ට් විදුහල කැකිරාව.
  • සහිරා විදුහල මරදාන 5 – 0 හර්මන් මයිනර් විදුහල පිළියන්දල.
  • මදීනා විදුහල සියඹලාගස්කොටුව 1 – 0 ශා: තෝමස් විදුහල මාතර.
  • ද මැසනඩ් විදුහල කඳාන 0 (1) – 0 (4) සහීරා විද්‍යාලය පුත්තලම.
  • හමීඩ් අල් හුසේන් විදුහල කොළඹ 0 (2) – 0 (3) ශා: පීතර විදුහල කොළඹ.
  • කොට්ටාවට්ටෙයි විදුහල වැල්වැටිතුරෛ 0 (2) – 0 (5) අල් අසාර් විදුහල තිහාරිය.
  • ශා: මරියා විදුහල මීගමුව (තරඟය අත්හැර දැමුණු බැවින් ජය මරියා විදුහලට) ශා: සෙබස්තියන් විදුහල කටුනේරිය.
  • බදුරිය විදුහල මාවනැල්ල 3 – 0 සියළු සාන්තුවරුන්ගේ කන්‍යාරාමය ගාල්ල.

දෙවන වටයේ ප්‍රථිපල.

  • ශා: පැට්‍රික් විදුහල යාපනය 0 (3) – 0 (2) ජෝශප් වාස් විදුහල වෙන්නප්පුව.
  • ශා: සෙබස්තියන් විදුහල කටුනේරිය 0 (3) – 0 (1) ශා: සේවියර් විදුහල මන්නාරම.
  • ශා: තෝමස්  විදුහල බණ්ඩාරවෙල 0 – 6 සිරිකුරුස විදුහල කළුතර.
  • සහිරා විදුහල මරදාන 4 – 1 සහිරා විදුහල ගම්පොල.
  • පුලවර්මනි ශෙරිෆ්ඩීන් විදුහල කල්මුණේ 0 (3) – 0 (2) මදීනා විදුහල සියඹලාගස්කොටුව.
  • සහිරා විද්‍යාලය පුත්තලම 4 (1) – 4 (2) ශා: පීතර විදුහල කොළඹ.
  • අල් අසාර් විදුහල තිහාරිය 0 (4) – 0 (5) ශා: මරියා විදුහල මීගමුව.
  • අල් අක්සා විදුහල කින්නියා 2 – 0 බදුරිය විදුහල මාවනැල්ල.

අර්ධ අවසන් පුර්ව තරඟ ප්‍රථිපල.

  • ශා: පැට්‍රික් විදුහල යාපනය 1 – 0 ශා: සෙබස්තියන් විදුහල කටුනේරිය.
  • සහීරා විදුහල මරදාන 1 – 0 සිරිකුරුස විදුහල කළුතර.
  • ශා: පීතර විදුහල කොළඹ 4 – 0 පුලවර්මනි ශෙරිෆ්ඩීන් විදුහල කල්මුණේ.
  • අල් අක්සා විදුහල කින්නියා 0 (3) – 0 (4) ශා: මරියා විදුහල මීගමුව.

අවසන් පුර්ව තරංග ප්‍රථිපල.

  • ශා: පැට්‍රික් විදුහල යාපනය 0 – 1 සහීරා විදුහල මරදාන.
  • ශා: පීතර විදුහල කොළඹ 0 – 2 ශා: මරියා විදුහල මීගමුව.

අවසන් තරඟය.

  • සහීරා විදුහල මරදාන 5 – 0 ශා: මරියා විදුහල මීගමුව.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට