ඩෙලෝන්ගේ දඟ පන්දුව තෝමසුවන්ට මුල් ඉනිමේ ජයක් හිමිකර දෙයි

474
Singer U19 schools Cricket October 24th roundup

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය නියෝජනය කරමින් අද (24) තරග කිහිපයක් පැවැත්වුනු අතර ඉන් මුල් ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කරන්නට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. කෙසේ නමුත් අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අද ආරම්භ වීමට නියමිතව තිබූ ගම්පහ බණ්ඩාරනායක සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගයත්, කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර තරගයත් කල් දමන්නට සිදුවිය.

පසුගිය ලිපි: පන්දු යවන්නන්ගේ තරගයකින් ලුම්බිණි විද්‍යාලයට විශිෂ්ට ජයක්

මොරටු විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සත්කාරකත්වය දැරූ මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුවත් මුල් ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සත්කාරකයින් සමත්කම් දැක්වීය. මොරටු විද්‍යාලය මුල් ඉනිමේ දී ඉතාමත් දියාරු පිතිකරණ රටාවක නියැලෙමින් ලකුණු 61කට සියලුම කඩුලු අහිමි කරගත් අතර තෝමසුවන් සිය මුල් ඉනිම සඳහා ලකුණු 154ක් වාර්තා කරගන්නා ලදී.

අසාර්ථක ප්‍රථම ඉනිමෙන් පසු දෙවැනි ඉනිමේදී යම් පිබිදීමක් පෙන්නුම් කල මොරටු පිතිකරුවෝ එහිදී ලකුණු 177ක් වාර්තා කිරීමට සමත් වූහ. සමස්ථ තරගය පුරා කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ සාන්ත තෝමස් විද්‍යාලයේ වමත් පා දඟ පන්දු යවන ක්‍රීඩක ඩෙලෝන් පීරිස් මුල් ඉනිමේදී කඩුලු 6ක් ද, දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් ද වශයෙන් තරගය පුරාවට ලකුණු 89කට කඩුලු 11ක් බිඳ හෙලන ලදී. මොහු තවමත් වයස අවුරුදු 16ක් තරම් වන නව යොවුන් ක්‍රීඩකයෙකු වීම ද විශේෂත්වයකි.

අද සවස් භාගයේ තරගයේ නිමාව සනිටුහන් වනවිට තරග ජයග්‍රහණය සඳහා ලකුණු 85ක ඉලක්කයක් හඹා යමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 36ක් ලබා සිටියේය.

මොරටු විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 61 (පන්දුවාර 30.5)

ශෙහාද සොයිසා 17, ඩෙලෝන් පීරිස් 6/13, පවිත් රත්නායක 2/17.

සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 154 (පන්දුවාර 45.3)

මන්තිල විජේරත්න 43*, දිනුර ගුණවර්ධන 36, මොහොමඩ් ඉශාක් 24, නිර්මාල් විජේසිංහ 2/24.

මොරටු විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 177 (පන්දුවාර 68.1)

නිශාන් මධුශංක 43, ඉසුරු ජයරංග 35, ප්‍රියදර්ශන ප්‍රනාන්දු 27*, ඩිල්ශාන් දුලක්ෂණ 21, ඩෙලෝන් පීරිස් 5/76, පවිත් රත්නායක 4/38.

සාන්ත තෝමස් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 36 (පන්දුවාර 4.2)

රොමේෂ් නල්ලපෙරුම 19, ශෙහාද සොයිසා 2/11.


ලුම්බිණි විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර තරගය

පෙර තරගයෙන් ලද ජයග්‍රහණයේ උණුසුම නිවී යන්නටත් මත්තෙන් මෙවර ලුම්බිණි විද්‍යාලය සටනට පිවිසුනේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සමගයි. තරගය අද ප්‍රථම දිනයට කොළඹ කෝල්ට්ස් පිටියේදී ක්‍රියාත්මක විය. කාසියේ වාසිය දිනූ අනුරාධපුර විද්‍යාලය මුලින් පන්දුවට පහර දීම ලුම්බිණි පිතිකරුවන්ට භාරදුන් අතර එහිදී ඔවුන් රැස්කල ලකුණු සංඛ්‍යාව 186කි.

විනු හේමාල් ලකුණු 33ක් වාර්තා කරද්දී අනුරාධපුර විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෙන්වූ මදුරංග චන්ද්‍රරත්න කඩුලු 5ක් බිඳ හෙලන ලදී. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන අනුරාධපුර විද්‍යාලීය ක්‍රීඩකයින් දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 17 ලබා සිටියි.

ලුම්බිණි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 47.4)

විනු හේමාල් 33, ‍රවිඳු සංජීව 31, අමිත දාබරේ 29, මදුරංග චන්ද්‍රරත්න 5/50, සිතුම් බණ්ඩාර 2/30, ඩිල්ශාන් ලක්ෂිත 2/38, රවින්ත ප්‍රභාෂ්වර 1/22.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 17 (පන්දුවාර 9)


මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය

බ්ලූම්ෆීල්ඩ් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල විය. එබැවින් දිනය තුල යැවීමට හැකි වූයේ පන්දුවාර 28ක් පමණි. එහිදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් සිල්වෙස්ටර් පිතිකරුවෝ ප්‍රථම දිනයට තරගය නතර කරද්දී කඩුලු 5ක් දැවී ලකුණු 69ක් ලබා සිටියහ.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 69 (පන්දුවාර 28)

මනූජ පෙරේරා 42*, නිදුක වැලිකල 3/25, මහේල ද සිල්වා 2/13.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට