රාජකීය පිටියේ දී රිච්මන්ඩ් ක්‍රීඩකයින්ගෙන් වැඩි දස්කම්

1474
Singer U19 Schools Cricket

අද (20) දිනයට ක්‍රියාත්මක වූ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග අතුරින් රිච්මන්ඩ් – රාජකීය සටන තියුණු තරගයකින් අනතුරුව ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර තරගය පුරා වැඩි දස්කම් දැක්වීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය. එසේම අද ප්‍රථම දිනයට පැවැත්වුනු තවත් තරගයකදී කොළඹ ආනන්ද විද්‍යාලය අභිභවමින් දිනයේ වැඩි වාසිය අත්කර ගන්නට කුරුණෑගල මලියදේව විද්‍යාලය සමත් විය.

පසුගිය ලිපි: ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් වැඩි දස්කම්

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය

අද දෙවන සහ අවසන් දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගයට රාජකීය විද්‍යාලය සත්කාරකත්වය දැරීය. ඊයේ දිනයේ දී කාසියේ වාසිය දිනා ගත් රාජකීයයන්ගේ ඇරයුම අනුව පිටියට පිවිසි රිච්මන්ඩ් පිතිකරුවන් අද උදෑසන තරගය ආරම්භ කරන විට කඩුලු 3කට ලකුණු 189ක් ලබා සිටි අතර අද දහවල වන විට එය ලකුණු 266ක් දක්වා වර්ධනය කරගන්නට ඔවුන් සමත්ව තිබුණි. රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් (70) සහ ධනංජය ලක්ෂාන් (61) අර්ධ ශතක වාර්තා කල අතර රාජකීය විද්‍යාලයේ චාමික එදිරිසිංහ කඩුලු 4ක් බිඳ හෙලන ලදී.

පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාජකීය විද්‍යාලයට පිත්තෙන් එතරම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට නොහැකි වූ අතර ඔවුන්ගේ මුල් ඉනිම ලකුණු 119කට සීමා විය. රාජකීය පිතිකරුවන් අසරණ කල සඳුන් මෙන්ඩිස් (3/32) සහ රවිශ්ක විජේසිරි (3/15) කඩුලු 3 බැගින් දවාගන්නා ලදී. දෙවැනි ඉනිමේදී ද අසාර්ථක පිතිකරණයේ පුනරූපනයක් පෙන්නුම් කල රාජකීය විද්‍යාලය දිනය නිමාවන විට කඩුලු 8ක් දැවී ලකුණු 147ක් ලබා සිටියහ. කෙසේ නමුත් අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවූ අතර තරගයේ වැඩි ගෞරව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සතුවිය.

රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 266 (පන්දුවාර 60.5)

කමිඳු මෙන්ඩිස් 70, ධනංජය ලක්ෂාන් 61, අවිඳු තීක්ෂණ 34, චාමික හේවගේ 33, ආදිත්‍ය සිරිවර්ධන 33, චාමික එදිරිසිංහ 4/62, ගනිත් සන්දීප 3/70.

රාජකීය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 119 (පන්දුවාර 39.3)

චාමික එදිරිසිංහ 24, ගෞතම විශ්වජිත් 22, කවිඳු මදරසිංහ 20, සඳුන් මෙන්ඩිස් 3/32, රවිශ්ක විජේසිරි 3/15.

රාජකීය විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 8ක් දැවී ලකුණු 147 (පන්දුවාර 38)

හිමේෂ් රාමනායක 36, කවිඳු මදරසිංහ 30, ගනිත් සන්දීප 28, තිලංග උදයශාන් 3/22.


කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය

මලියදේව විදුහල් ක්‍රීඩා පිටියේදී ප්‍රථම දිනයට පැවැත්වුනු මෙම තරගයේ මේ වන විට වැඩි වාසිය හිමිව තිබෙන්නේ කුරුණෑගල මලියදේව විද්‍යාලයටයි. කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලයේ නායකයා ප්‍රථමයෙන්ම පන්දුවට පහරදීම තෝරාගත් අතර ඔවුන්ට පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 158ක් පමණි. කවිශ්ක අන්ජුල පමණක් පිත්තෙන් සාර්ථක වෙමින් ලකුණු 67ක් රැස් කරද්දී දිනය පුරා මලියදේව ආධිපත්‍යය පතුරවන්නට කැපවූ සජීවන් ප්‍රියදර්ශන ලකුණු 59ට කඩුලු 5ක් බිඳ හෙලුවේය. ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වුනු දමිත සිල්වා ලකුණු 50ක් ලබාදී දවාලූ කඩුලු ගණන 4කි.

ප්‍රථම දිනයේ නිමාව සනිටුහන් වනවිට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන මලියදේව ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 152කි. දුලාජ් රණතුංග මලියදේව විද්‍යාලය වෙනුවෙන් ලකුණු 51ක් රැස්කර ගනිමින් නොදැවී ක්‍රීඩා කරයි. හෙට තරගයේ අවසන් දිනයයි.

ආනන්ද විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 158 (පන්දුවාර 48.2)

කවිශ්ක අන්ජුල 67, ලහිරු හිරන්‍ය 27*, දමිත සිල්වා 4/50, සජීවන් ප්‍රියදර්ශන 5/59.

මලියදේව විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 152 (පන්දුවාර 51)

දුලාජ් රණතුංග 51*, සුපුන් සුමනරත්න 34, දිනජය ප්‍රේමරත්න 36, දිලීප ජයලත් 3/22.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවටCrawler